මහින්ද රාජපක්ෂ නායකත්වයට සමුදුන්නේ ජනතාව සමග බවත්, නැවත ඔහු නායකත්වයට පත්වන්නේ නම් ඒ ජනතා මනාපයෙන් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
හිටපු ජනාධිපතිවරයා යළිත් අගමති ධුරයට පත්කිරීමේ සූදානමක් ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආරක්ෂක අංශවල බලය යොදාගනිමින් අගමැති ධුරයට පත්වීමට සිය පියාගේ කිසිදු අදහසක් නැති බවයි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ද සඳහන් කළේ මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නැති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් එවැනි කිසිදු ඉල්ලීමක් කර නැති බව ද ලේකම්වරයා පැවසීය.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොදුජන පෙරමුණ නියෝජනය කරන කොටසක් එවැනි ඉල්ලීමක් කර ඇති බවයි. ඒ සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.
‘රට වෙනුවෙන්’
මීට පෙර 2018 ඔක්තෝබර් 26 හදිසියේ ම නීති විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් විය. එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම පත්කිරීම සිදුකළේය.
‘සමහර කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි, ඡන්දයකට තව මාස දහ අටක් වගේ කාලයක් තියෙද්දී ඇයි ආණ්ඩුව බාරගත්තේ කියලා. මට ඇහිලා තියෙනවා එජාපයේ අයත් කියනවා මම ඉක්මන් වුණා වැඩියි කියලා. තව මාස 18කට අඩු කාලයක් ඉවසගෙන හිටිය නම් තුනෙන් දෙකේ බලයක් ඇතුව දිනන්න පුළුවන් වෙනවයි කියලා. මෙතන අපි ආණ්ඩුවක් පිහිටෙවුවෙ දිගටම ඒ ආණ්ඩුවෙන් රට පාලනය කරන්න නෙමෙයි, මහ මැතිවරණයක් පවත්වන්න. ජනාධිපතිතුමා ජාතිය අමතලා කිවුවනෙ එතුමා මට රට බාරදුන්නේ බැරිම තැනට ආවට පස්සෙයි කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ මට රට බාර දෙනකොට ඒ වගකීම් බාරනොගෙන ඉන්න පුළුවන් ද? මේක ආණ්ඩු බලය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි, මේක අපේ රටේ ජාතියේ, අපේ මතු පරම්පරාවේ ඉරණම පිළිබඳ ප්‍රශ්නයක්.’
මහින්ද රාජපක්ෂ එවකට නීති විරෝධී අගමැතිවරයා එසේ පැවසුවේ 2018 ඔක්තෝබර් 26දා සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසුව ය.
2015 තත්ත්වය
2015 ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණයෙන් පසු අගමැති වූයේ රනිල් වික්‍රමසිංහ ය. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාර්ශ්වය මේ ගැන කිව්වේය. එක්සත් ජාතික පක්ෂය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කිරීමට ඡන්දය දුන්නේ ඒ නිසා ය. කියූ ලෙසට ම වැඩ සිද්ධ විය. ඒ වන විට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී නොතිබිණි. ඒ නිසා ජනාධිපතිවරයාගේ තීරණය ව්‍යවස්ථානුකූල විය. එහෙත් එය සදාචාර සම්පන්න ද යන්න සම්බන්ධයෙන් තර්කයක් ගොඩ නැගිණි.
2018 ඔක්තෝබර් 26 දා මෛත්‍රිපාල සිරිසේන කළේ ද එය ම ය. එහෙත් ඒ වන විට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ හිතූ මනාපයේ බලතල කප්පාදුවකට ලක් කර තිබිණි. 2015 මැයි මාසයේදී 19 වැනි සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කිව්වේ තමන්ගේ බලය අඩු කර ගත් ලෝකයේ පළමුවැන්නා තමන් බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේදී 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තමන්ගේ බලතල වැඩි කර ගැනීමටත්, ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන සීමාරහිත කර ගැනීමටත් කටයුතු කිරීම එහිදී මෛත්‍රිපාල සිරිසේනගේ දැඩි පිළිකුලට ද ලක් විය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
2018 ඔක්තෝබර් 26දා මහින්ද රාජපක්ෂ නීතිවිරෝධී ලෙස අගමැති ධුරයට පත්කිරීම ජනාධිපතිවරයාට අහිමි කළ බලතල, ව්‍යවස්ථා විරෝධී ලෙස යළි සක්‍රීය කර ගැනීමේ උත්සාහයකි. මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේය. අපේ රටේ ජනාධිපතිවරයා යනු රාජකීය බලයක් හිමි ඒකාධිපතියකු නොවන බව එහි පැහැදිලිව සඳහන් කෙරිණි. එහෙත් ශිරාණි බණ්ඩාරනායක අත්තනෝමතික ලෙස අග විනිසුරු ධුරයෙන් පළවා හැරියා මෙන්ම, මෙහිදී ද අධිකරණයේ තීන්දුව පවා පිළිගැනීමට මහින්ද රාජපක්ෂලා එකඟ නොවීය. කතානායක කරු ජයසූරියට මිරිස් කුඩුවලින් ගැහුවේ ඒ නිසා ය. එළියේ තිබූ ජනතා විරෝධය නොවන්නට, ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ද ගල්-මුල්වලින් ප්‍රතිචාර දැක්වීම අනිවාර්ය ව තිබිණි.
එහෙත් ඒ වන විට එළියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක් පෙරමුණක් නිර්මාණය වී තිබූ අතර, මහින්ද රාජපක්ෂ හිතවාදීන් පවා ඊට එක් විය. අවසානයට වූයේ සියල්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පිටින් යෑම ය. මෛත්‍රිපාල සිරිසේන මෙහි මූලික වැරදිකරුවා බවත්, ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ යුතුව තිබූ බවත් ඇත්ත ය. එහෙත් නීති විරෝධී බව දැන – දැනම ඒ අගමැති ධුරය බාර ගත් මහින්ද රාජපක්ෂ නොදරුවෙක් ද යන්න ප්‍රශ්න කෙරිණි.
2019 මහින්ද !
2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී මහින්ද රාජපක්ෂ කිව්වේ 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන්, පසු දින ම අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය වෙනස් කරන බවයි. එහෙත් මාධ්‍ය හමුවේ සිටි කිසිදු මාධ්‍යවේදියකු 2018 ඔක්තෝබර් 26දා ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් හෝ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක ව තිබෙන තත්ත්වයක් තුළ එසේ කරන්නේ කෙසේදැයි ඇසුවේ නැත. එය එසේ ම සිදු විය.
ජවිපෙ උත්සාහය
ජනතා විමුක්ති පෙරමුණ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කළේ මේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයෙන් පසුව ය. එයින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කෙරිණි. ඔක්තෝබර් 26දා විධායක ජනාධිපති ක්‍රමයේ ඇති ඒකාධිපති ස්වරූපයේ තත්ත්වය අත්විඳ තිබියදීත්, ඊට සහාය දීමට එජාපය ආවේ නැත. ජනතා විමුක්ති පෙරමුණ මේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුවද, ඔවුන් පවා ඊට ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු කළේද යන්න සම්බන්ධයෙන් කිසිවකුට ප්‍රශ්න කළ හැකිය.
කුමන්ත්‍රණයෙන් පසු කළ හැකි නිවැරදිම දේ ඔවුහු නිවැරදි මොහොතේ කළද, එය වඩා සාර්ථක කර ගැනීමේ භූමිකාව ඔවුන් රඟදැක්වූයේ නැත. ඔවුන්ගේ සංවිධාන ව්‍යුහය තුළ මීට වඩා සමාජ කරුණු සම්බන්ධයෙන් මැදිහත් වනු අප දැක තිබේ. එහෙත් සාපේක්ෂව ඔවුන් සිටියේ වඩාත් ඉදිරියෙන් ය. ඊට හේතුව ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසු සියල්ල අමතක කොට, පරණ පුරුදු පාරේ යන්නට කටයුතු කළ එජාපය, අඩු තරමේ ජවිපෙ ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පවා ඇඟ බේරා ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ය.
හොඳ ම විහිළුව
හොඳ ම විහිළුව ආවේ ඉන්පසුව ය. මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රිපාල සිරිසේන ද එක්ව විසි වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ උත්සාහයකට අත ගැසුවේය. එතෙක් කලක් ප්‍රජාතන්ත්‍රවාදය අමතක කර සිටි මේ තුන් කට්ටුවට හදිසියේ විස්ස අවශ්‍ය වූයේ ඇයි?
මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය වූයේ තමන්ගේ ජනාධිපති ධුරය තවත් දිනක් හෝ දික්කර ගන්නට ය. රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වූයේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා නොකර සිටින්නට ය. මහින්ද රාජපක්ෂට අවශ්‍ය වූයේ නාමල් රාජපක්ෂට ඉඩ හැදෙන තෙක් ෂේප් න්‍යායෙන් මේ කරුණු බැලන්ස් කරගන්නට ය. මේ යෝජනාවට මාරාන්තික ලෙස විරෝධය දැක්වූයේ සජිත් ප්‍රේමදාස ය. එහෙත් සජිත්ට අවශ්‍ය වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවා වීමට නොව, තමන්ගේ අපේක්ෂක සිහිනය සැබෑ කරගන්නට ය.
2018 මාර්තු කුමන්ත්‍රණය
මේ අතර 2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට පෙර ද මහින්ද රාජපක්ෂ නීති විරෝධී ලෙස අගමැති වීමේ උත්සාහයක නිරත විය. ඒ, 2018 පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව ය. 2018 මාර්තු මුල් සතියේ සිදු කළ මහනුවර, දිගන අන්තවාදී ප්‍රහාරවලින් පසු සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු කණ්ඩායමක් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග දිගින්-දිගටම සාකච්ඡා කළේ මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට ය. ඊට මෛත්‍රිපාල සිරිසේන ද යම් එකඟතාවක සිටියේය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන සමග සමීප ව කටයුතු කළ නීති විශාරදයන් රැසක් එහිදී පෙන්වා දී තිබුණේ එවැන්නක් සිදුකිරීම ව්‍යවස්ථා විරෝධී බවයි. මෙම පිරිස අතර එවකට ජනාධිපති ලේකම් ධුරය දැරූ ඔස්ටින් ප්‍රනාන්දු ද විය. එම නිසා තීරණය කල්දැමිණි. ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර යැවිණි.
බලය වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුකරන මහත්වරුන්ගේ ලෝකයක මාධ්‍ය වෙත කරන ප්‍රකාශ යනු විහිළු පමණි.