“ ‘සංසාරෙ පතාගෙන ආව විදිහට තමයි හැමදේම ලැබෙන්නෙ.’
‘සංසාරෙ? අපිට කොහෙන් ද මිනිහො සංසාරයක්. විනිශ්චෙ දවස එනකල් සෙත්තපෝච්චි වෙච්ච විදිහට ම ඉන්න ඕනි.’ ”
අහස්ගෙන් රහස් (කියවන පොතක නොකියවෙන කතාවක්) #186
මුන්නක්කරේ සංසාරේ / නවකතා / මංජුල වෙඩිවර්ධන
නුදුරු අතීතයක මීගමුවේ මුන්නක්කරයට පාඨකයාව ගෙනයන මේ කෘතිය, පුළුල් හා ගැඹුරු කතිකාමය වපසරියක විහිදෙමින් ලියවුණ එකක්.
මේ සටහනෙන් කෙරෙන්නේ ඒ ගැන මතුපිට ස්පර්ශයක් විතරයි.
මං මේ කෘතිය රසවින්දේ, අවියෝජනීය ලෙස එකිනෙක බැඳුණු ස්තර ගණනාවකින් කියවෙන කතාන්දරයක් විදියටයි.
මුලින් ම, මුන්නක්කරේ වැසියන්ගේ එදිනෙදා දිවිපෙවෙත්, ඔවුන්ගේ බස්වහර හා ආහාරපාන රටා, ඔවුනතර කැපී පෙණෙන ඇතැම් චරිතවල සුවිශේෂී හැසිරීම් හා අතීත පසුබිම් කතා ආදී උපසංස්කෘතික පැතිකඩක් ඔස්සේ කතාව විකසනය වෙනවා.
ඊළඟට, මේ සාම්ප්‍රදායික සමාජයේ මුල් බැහැගෙන පවතින අසාධාරණකම් වගේ ම වල්බිහිවීම් හඳුනාගත්ත තවත් එක් තරුණ පිරිසක් ඊට එරෙහිව සංවිධානය වීමත්, ක්‍රියාකාරී වීමත්, ඔවුන්ට එදිරිව පැනනඟින බලවේගයන් ගැනත් කතාව ගෙතෙනවා.
මේත් එක්ක ම, ජේසු ක්‍රිස්තු ශාස්තෘවරයාණන්ගේ ඉගැන්වීම් යළි අරුත් ගන්වමින්, ඔහුගේ දේශනයන් ඔස්සේ පීඩිතයන්ව ප්‍රේමයෙන් වැළඳගන්නා අතර පීඩකයන්ට එරෙහිව සටන් වදිමින් ගමන් කළ යුතු නූතන විමුක්ති ක්‍රිස්තියානි මාවත ගැන පැහැදිලි කෙරෙනවා.
“සබත් දිනකි. මුහුදු රස්සා නො කරන දෙවියන්ට කැප කළ දිනය යි. ඉරුදින වතුරට නො දමන ඔරු ද බෝට්ටු ද, ඒ වනවිටත් කළපුව පුරා ය. පරිසරය වනාහි ක්‍රිස්තු දර්ශනයේ පදනමේ පවතින්නකි. කුණු පුරවා ගත් මුහුදු යාත්‍රා කුරුසි පල්ලිය දෙසට පැදවේ. කිහිපදෙනෙක් කළපු දියේ බැස ඔරු බෝට්ටු අසලට ගොස් සියලු කසළ කුණු දෝතින් ම ඔසවා ගෙනැවිත් කුණු කන්ද උස්මහත් කරමින් සිටිති. කුණු මුක්ත ධීවර යාත්‍රාවෝ යළි කුණු මෙහෙයුමට කළපු දියට ඇදෙති. ඔරු මත ද, කළපු ඉවුරෙහි ද වෘද්ධ වූත් තරුණ වූත් ගැටවර වූත් ළපැටි වූත් දීවර ආත්මයන් ය.”
කතුවරයාට සුපුරුදු මනරම් සාහිත්‍යමය බස්වහරත්, ඔහුට ම අනන්‍ය විසිතුරු කතා ගොඩනැංවීම් ශෛලියත්, මේ කෘතිය තුළ දීත් අත්විඳින්න පුළුවන්.
කුඩා කතාංග හරහා මේ කතාවේ මුන්නක්කර පසුබිම ඔහු නිර්මාණය කරන අයුරු හරි අපූරුයි.
ගැඹුරු හරයාත්මක මතවාදයන් පවා නීරස නොවෙන විදියකට, ඒ වටා සංවාදාත්මක ලෙසින් ගෙතෙන ප්‍රබන්ධය, වෙහෙසකර නොවෙන කියවීම් අත්දැකීමක් ජනිත කරවනවා.
කතුවරයාගේ මා කියවා ඇති කෘති අතරින් රසවත් ම නිර්මාණය හැටියට හඳුන්වන්න කැමතියි.
“දරු සම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්නා ලෙසත්, මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද පොළොවේ සැරිසරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වා ගන්නා ලෙසත්, මැවුම්කරුවාණන් කියනු ලැබ ඇති කරුණු දාර්ශනික ප්‍රවේශයකින් අල්ලා ගත යුතු ය. නමුත් මෙසේ ශුද්ධ වූ භූමිය අවභාවිත කරන්නට සභාගත නිල ක්‍රිස්තියානිය අනුබල දීම කවර දේව නීතියකට යටත් ව දකින්න ද? සමකාලීන සමාජය යනු, බයිබලීය වචන පමණත් නොව, දෛනික ජීවිතයේ වචනවල පවා බලය අහිමි කර ගත් සමාජයක් නො වේ දැයි දිවැසිවරයා සිතී ය. වචනවල අර්ථය නැඟෙන්නේ අදාළ සමාජය තුළ එය වර නැඟූ විට ය… බලපැවත්වීම වූ කලී රැක බලා ගැනීමට පර්යාය වචනයක් බව දිවැසි වරයාට පරම විශ්වාසය වන්නේ ය.”