මැයි 01 : රැළිවලට ජනතාව අඩුකරන්න ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් රැසක් : අපි නිල වශයෙන් මොකුත් කියලා නෑ – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය

Share post:

මැයි 01 දාට යෙදී ඇති කම්කරු දිනය නිමිත්තෙන් පවත්වන රැළි සඳහා ජනතාව එක්වීම වැලැක්වීම සඳහා ජනාධිපති කාර්යාලයෙන් අවිධිමත් උපදෙස් රැසක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හරහා දැනුම් දී ඇතැයි වාර්තා වන්නේ එදිනට අවුරුදු උත්සව යොදාගන්නා ලෙසයි. මෙම අවුරුදු උත්සව සඳහා එම කාර්යාලවල සේවය කරන නිලධාරීන් සියල්ලන් පවුලේ සාමාජිකයන් සමග සහභාගී වීම අනිවාර්ය කිරීමට ද ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කර තිබේ. ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම් දී ඇත්තේ රජයේ නිවාඩු දිනයක් නිසා එය අනිවාර්ය නොකළද, ආයතනයෙන් පවත්වන පොදු උත්සවයක් නිසා සහභාගී වන්නේ නම් වඩාත් සුදුසු බවයි.

කෙසේ වෙතත් මෙම අවිධිමත් නියෝග ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසක් කටයුතු කර නැත.

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය, උතුර මැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කය, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කය සහ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයන් මෙම අවුරුදු උත්සව සංවිධානය කිරීම සඳහා සෘජු ව සම්බන්ධ වී තිබේ.

එසේ ඇතැම් අවුරුදු උත්සව සංවිධානය කිරීම සඳහා සම්බන්ධ වූ දේශපාලනඥයන් විසින් රාජ්‍ය සේවකයන්ට තර්ජනය කිරීමේ අවස්ථා කිහිපයක් ද වාර්තා වන අතර, මීට සහභාගී නොවන්නේ නම් විනය පරීක්ෂණ හෝ ස්ථාන මාරු බලාපොරොත්තු වන ලෙස ද ඔවුන්ට අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ ප්‍රතිභා මහානාම සඳහන් කරන්නේ කම්කරු දිනය සැමරීමට ඇති අයිතිය බලහත්කාරයෙන් අහිමි කිරීම නොකළ යුත්තක් බවයි. එසේ ම සිංහල – දෙමළ අවුරුද්ද සැමරීම සඳහා වෙනම කාලයක් ලැබෙන බවත්, එම කාලය වෙනුවට මෙම දිනය යොදාගැනීම ගැටළුවක් බවත් නීතිඥවරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙකු ම පැවසුවේ තමන් සංවිධානය කළ මැයි දින සැමරුම් සඳහා සහභාගී වීම ඒ අයුරින් ම සිදුකරන බවයි. එසේ සහභාගී වන රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත නොහැකි බවත් පෙන්වා දෙන ඔවුන්, වැඩිදුරටත් සඳහන් කරන්නේ අත්තනෝමතික ලෙස එම සේවකයන්ගෙන් පලිගැනීමට උත්සාහ කළහොත් ඊට එරෙහිව උපරිම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම ගැටලුව පිළිබඳව විමසීමට අප රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කේ.ඩි.එන්. රංජිත් අශෝක සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, එය අසාර්ථක විය.

එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ එවැනි කිසිදු නිල දැනුම්දීමක් අමාත්‍යංශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමුකර නැති බවයි.

මේ අතර සමෘද්ධිලාභීන් විවිධ හේතු දක්වමින් සමෘද්ධි බැංකු වෙත කැඳවීම, මෑතකදී පත්වීම් ලබාදුන් රාජ්‍ය සේවකයන් 100,000ක් බඳවාගැනීමේ ව්‍යාපෘතියට අදාළ සේවකයන්ට ඔවුන්ගේ සේවා ස්ථිර කිරීමට පෙර ඇති  පරිවාස කාලය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදු කිරීම වැනි ක්‍රියා මගින් ද මැයි දින රැළි සඳහා රාජ්‍ය සේවකයන් සහභාගී වීම වැලැක්වීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් වාර්තා වන ආකාරයට මෙම කිසිදු දැනුම්දීමක් නිල වශයෙන් නිකුත් කර නැත.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...