මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකි සිවරාම් ඝාතනය කළේ 2005 අප්‍රේල් 28 දින ය. එනම්, ඝාතකයෙකු නොමැති තවත් ඝාතනයක් සිදු කර අදට වසර 18කි.
පුද්ගලයන් සිව්දෙනෙකු විසින් බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී ඔහු ව පැහැරගැනිණි. පසුදින උදෑසන පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයේදී ඔහුගේ සිරුර සොයාගැනිණි. ඝාතකයන් විසින් සිවරාම්ට බරපතළ ලෙස පහරදීමෙන් පසු ඔහුගේ හිසට වෙඩි තබා තිබිණි.
මෙම ඝාතනයට වගකිවයුතු පාර්ශ්ව අනාවරණය කරගැනීම සඳහා යුක්තිය වෙනුවෙන් සටන් කරන පාර්ශ්ව රැසක් වෙහෙසුණද, අදටත් එය හිස් බලාපොරොත්තුවකි.
පහත පළවන්නේ වෛශ්නවී සිවරාම්, වෛතකී සිවරාම් හා ඇන්ඩෘ සේරලාදන් ධර්මරත්නම් යන ඔහුගේ දරුවන් විසින් 2020 වසරේදී ලියන ලද ලිපියකි.
අද දක්වාත් අපේ තාත්තාගේ මරණයට කිසිවකු වැරදිකරු ලෙස දඬුවම් ලබා නැත. මේ පිළිබඳව අපි විස්මයට පත් නොවෙමු. අපගේ පවුලේ පිරිස් ඒ පිළිබඳ යුක්තියක් නොසොයති. රාජ්‍ය ප්‍රචාරණයට ප්‍රතිවිරුද්ධ ආඛ්‍යානයක් ලිවීමෙහි නිරත මාධ්‍යවේදීන් දඩයම් කිරීම ශ්‍රී ලංකා රජය තවදුරටත් සිදුකරමින් තිබේ. ශ්‍රී ලංකාවේදී අතුරුදහන්වීමට, පහරදීමට හෝ මරා දැමීමට ලක් වූ වෙනත් මාධ්‍යවේදීන් බොහෝ දෙනා සම්බන්ධයෙන් ද වගඋත්තරදායක වීමක් අඛණ්ඩවම සිදුනොවේ. අප්පාගේ සිරුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය නුදුරු ස්ථානයක දමා තිබීම ම, රට තුළ පවතින මාධ්‍ය නිදහස පිළිබඳ යථා තත්ත්වය පිළිබඳවත්, තමන්ගේ කතිකාව හා එකඟ නොවන අය නිහඩ කිරීම සඳහා කෙතරම් දුරක් යාමට ශ්‍රී ලංකා රජය සූදානම් ද යන්න පිළිබඳවත් බරපතල සිහිකැඳවීමකි. සිවිල් යුද්ධය අතරතුර හා එයින් පසුවත් අතුරුදහන් වූ සිය ආදරණීයයන් පිළිබඳ තවමත් පිළිතුරු සොයන අති මහත් වූ ජනයාට වෙනස්ව, අපේ තාත්තාගේ සිරුර සොයාගැනීමටත්, ඒ මගින් යම් මානසික සමාප්තියක් ලබාගැනීමටත් හැකිවීම අපට අස්වැසිල්ලකි.
ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනයාගේ අරගලය පිළිබඳව සාකච්ඡා නොකොට අපේ තාත්තා පිළිබඳ කතා කිරීම දුෂ්කර වූද, කළ නොහැකි වූද දෙයකැයි අපට හැඟී යයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උගෙනුම ලබමින් සිටි තරුණයකු වශයෙන්, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව දියත් වූ වාර්ගික හිංසනයන් අපේ තාත්තා කෙරෙහි මහත් සේ බලපෑවේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ස්වකීය අධ්‍යාපනය අතරමග අත්හැර දමා, ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යුහාත්මක පීඩනයකට පාත්‍රව සිටි දෙමළ ජනයා ගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන්නට හෙතෙම කැපවිය. ස්වකීය ජීවිතයත්, ලේඛනයත් මෙකී අරමුණට කැපකරන්නට ඔහු ක්‍රියා කළේය.
මුල්ලිවයික්කාල්හිදී නිමා වූ දෙමළ ජනයාගේ විමුක්තිය සඳහා වූ සන්නද්ධ අරගලයේ අවසානය දකින්නට ජීවත්වී නම් ඔහු කෙතරම් කම්පාවට පත්වනු ඇතිදැයි ඔහුගේ දරුවන් වශයෙන් අපි නිරන්තරයෙන් කල්පනා කරමුු. දහස් සංඛ්‍යාත දෙමළ ජනයාට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් සිදුකළා වූ ඝෝර සැහැසිකම් විසින් ඔහු බිඳලන්නට ඉඩ තිබිණ.
අපේ තාත්තාට ප්‍රණාමය පළකිරීමෙන් නොනැවතී, විශේෂයෙන්ම මුල්ලිවයික්කාල් යුද්ධයේදී සංහාරය කරන ලද දහස් සංඛ්‍යාත දෙමළ ජනයා ඇතුළු යුද සමයේ මරණයට පත් සියළුම දෙනා ස්මරණය කිරීම අත්‍යවශ්‍ය වෙතැයි අපට හැඟෙන්නේ ඒ නිසා ය. මුල්ලිවයික්කාල් සංහාරයේදී සිදුකළ යුද අපරාධ පිළිබඳව ශ්‍රී ලංකා රජය වගඋත්තරදායක කිරීම වනාහී මේ යුගයේදී අපේ තාත්තාට යුක්තිය ඉටු කිරීමකි. සන්නද්ධ ගැටුමේ අවසාන අදියරේදී හමුදාවන්ට යටත්වීමෙන් පසු තවදුරටත් අතුරුදහන්ව සිටින සිය ආදරණීයයන් අහිමි වූ දෙමළ පවුල් වෙනුවෙන් යුක්තිය සහ වගඋත්තරදායකත්වය අවශ්‍යව තිබේ. තවදුරටත් අවතැන්ව දිවි ගෙවන පවුල් සහ උතුරු – නැගෙනහිර පළාත්වල රාජ්‍ය පීඩනය යටතේ දිවි ගෙවන්නා සියල්ලන්ට යුක්තිය අවශ්‍යව තිබේ.
ඔහුගේ දරුවන් වන අපි, අප ආරක්ෂා කරමින්, අපට රැකවරණ සහිත වරප්‍රසාදිත දිවියක් සපයා දුන් ඉතාමත් ප්‍රේමණීය පියකු ලෙස අප්පා සිහිපත් කරමු. ඔහුට හඳුනාගැනීමට ලැබුණු ආර්ථික දුෂ්කරතා විඳි සිසුන් වෙනුවෙන් මූල්‍යමය වශයෙන් හේ ආධාර කළේය. කෙසේ නමුත්, සිය පවුල සහ පිළිසරණක් ඇවැසි අයට වඩා, ඔහුගේ පරම නිෂ්ඨාව වූයේ ස්වකීය ජනයාගේ ස්වෛරීභාවය සිය ලේඛන කාර්යය මගින් සුරක්ෂා කිරීම ය. බහුවිධ මරණ තර්ජනයන්ට පාත්‍ර වීමෙන් පසුත් විදෙස්ගත වීම ඔහු විසින් ප්‍රතික්‍ෂේප කරන ලද අතර, තමන්ගේ කාර්යය ඇත්තේ ශ්‍රී ලංකාවේ බවට හෙතෙම තර්ක කළේය.
අප්පා වඩාත් පෙම්කළ කාර්යයෙහි යෙදෙමින් සිටින අතරතුරදීම ඔහු මියයාම ගැන ප්‍රත්‍යාවලෝකනාත්මකව අප සතුටු වන අතර දෙමළ ජනයාගේ ස්වාධිපත්‍යය වෙනුවෙන් ඔහු කළ සටන යම් දිනක ප්‍රත්‍යක්ෂ කරගනු හැකි වෙතැයි අපි අපේක්ෂා කරමු.
(සිංහල පරිවර්තනය උපුටා ගැනීම www.jdslanka.org)