‘කුමාරතුංග තෙන්නකෝන් සහ දෙපැත්තක ගැටුම’- එස් ජී පුංචිහේවා

Share post:

නිස්සන් අමතක කරදැමීමත් පුස්සන් ඔසවා තැබීමත් අතින් අපට ඇත්තේ ස්වරණමය ඉතිහාසයකි. මේ ඉතිහාසය තුළ අද වන විට බොහෝ සේ යටපත් කර ඇති චරිත දෙකක් ලෙස කුමාරතුංග මුණිදාස සහ රැයිපියෙල් තෙන්නකෝන් හඳුන්වාදිය හැකිය. සිංහල යනු හුදෙක් විභාගය සමත්විය යුතු විෂයක් පමණක්ම වී ඇති යුගයක කවර භාෂාවක් වුව ඉගෙනීම සංස්කෘතික උරුමයක් අත්පත් කරගැනීමක් නොව පණම් හතරක් සොයා ගැනීමේ මගක්ව ඇති යුගයක මෙවන් චරිතයන්හී වටිනාකම යටපත්ව යාම පුදුමයක්ද නොවේ.

මගේ පාසල් දිවියෙහිද සිංහල යනු විෂයක්ම පමණි. ඒ විෂය අපට රසවත් අත්දැකීමක් කිරීම වෙනුවට අපේ යුගයේද බොහෝ ගුරුවරු උත්සාහ කළෝ එය විභාග කඩඉමක් කිරීමටමය. දැන් තත්වය ඊටත් වඩා දරුණුය. මගේ පියා සිංහල ගුරුවරයෙකු වීම නිසා ළමා වියෙහිදී හීන්සැරයෙන්, හත් පණෙන් කුමාරතුංග මුණිදාසයන් හඳුනා ගන්නට සහ පසුවන විට රැයිපියෙල් තෙන්නකෝනුන්ගේ වවුළුව, ගමායණය, පස්මංදොර අන්දරය, අමුණ, කෝපි අන්දරය ඇතුළු බොහෝ කෘති කියවන්නට උත්සාහ දරන්නට මට ඉඩ ලැබිණි. එකල ඒ කෘතිවල නොවැටහෙන තැන් පහදා දෙන්නට මට සිටියේ මගේ පියාය. ඔහුද අහිමිව ගිය පසුව මට මෙවන් දේ පහදා ගන්නට උපකාර කළේ එස් ජී පුංචිහේවා මහතාය. පසුගිය කාලය පුරාම මා නිතරම ඔහුට ඇවිටිලි කරමින් සිටියේ රැයිපියෙල් තෙන්නකෝනුන් ගැන කතා බහක් අරඹන ලෙසටය. ඔහුද ඊට කැමැත්තෙන් සිටියද පසුගිය කාලයේ ඊට අවසරයක් තිබුණේ නැති. එහෙත් ගෙවුනු කාලය තුළ ගාල්ලේ විරාජ් දැන හඳුනා ගන්නට ලැබීමත් ගනුෂ්ක රන්දුල වැනි තරුණ විද්වතකුගේ මැදිහත්වීම් දකින්නට ලැබීමත් සැබැවින්ම සිත පිනවන්නක්ම වී. බත් දුන්, ඇට දුන්, පුන්‍යාධාර දුන් පියවරුන් වෙනුවෙන් පිළිම අඹන්නට උත්සුක වන එහෙත් කුමරතුඟුවන් තෙන්නකෝනුන් වැනි දැවැන්තයන් අපේ සාහිත්‍ය සහ භාෂා කලාප වලින් බැහැර කරලීමත් සාමාන්‍ය දෙයක්ව පවතින විට මේ තරුණයන්ගේ මැදිහත්වීමද අසිරියකි.

මේ කරුණු සිතට ආවේ අහම්බෙන් දුටු සටහනක් අනුව පුංචිහේවා මහතා විසින් රචිත ‘කුමාරතුංග තෙන්නකෝන් සහ දෙපැත්තක ගැටුම‘ සොයා සරසවි පොත් හල වෙත යන අතරය. බොරැල්ල පොත් හලේ කළමණාකාර අනුර බණ්ඩාර රාජගුරු සහෝදරයා වට්ටමක්ද ලබා දුන්නෙන් එය අතට තවත් පහසුවක් විණි. පිටු 75ක කුඩා පොතක් වුවද ඉතා වටනා කරුණු සහ අදහස් වලින් පිරි ඒ කෘතිය සවස දුම්රියේ සිටගෙන යන අතර දිගටම කියවූවෙමි.

තමන් ගේ ගත වසනා සුදු ඇඳුමෙහි මෙන්ම තම අධ්‍යාත්මයෙහිද මඩ තවරා නොගත් පුංචිහේවා වැනි වැඩිහිටි ලේඛකයකු අතින් මේ සිදුව ඇති සේවය ඉතා වටී. විවිධ හේතු මත ලංකාවේ සංවාදයන්ගෙන් බැහැර කර ඇති, එමෙන්ම ඇ කාරය අල්ලාගෙන හෙල හවුලේ මැදිහත්වීම හෑල්ලුවට ලක් කරනා තත්වයන් යටතේ මේ විශිෂ්ඨ මිනිසුන් විසින් ලංකා ඉතිහාසයේ තීරණාත්මක කාලයක, අධිරාජ්‍යවාදයේ විය ගස යට නෙක අගතීන්ගෙන් පිරි සමාජයක් සමග පොර බදමින් කරන ලද අරගලය යනු කෘතවේදීව සැලකිය යුත්තකි. එසේම මේ විශිෂ්ඨයන් නැවත පාසල් වෙත ගැඹුරින් කැඳවාගෙන ඒමද ඉතාම අවශ්‍ය කටයුත්තකි. එහෙත් සමස්ත අධ්‍යාපන පද්ධතියම වියවුලක්ව ඇති සමයක ඒ සිහිනම පමණි. පුංචිහේවා වැනි වැඩිහිටියන් මෙන්ම විරාජ සහ රන්දුල වැනි තරුණයන්ගේද මැදිහත්වීම වටින්නේ එහෙයිනි.

පුංචිහේවා මහතා සිය කෘතියෙන් මේ විශිෂ්ඨයන් දෙනොගේ කෘතිවල ඇති සාහිත රසය මෙන්ම ඒ යටින් දිවෙනා දේශපාලන කියවීමද, සමස්තයක් ලෙස ඔවුන්ගේ බලපෑමෙහි ඇති වැදගත්කමද විමසන්නට කටයුතු කරයි. ලක්මිණි පහන් කතුවැකි කස්තුරි මෙන් දුලබව ඇති වර්තමානයක මේ දෙදෙනාගේ කෘති සහ අදහස් විමසමින් ඔවුන්ගේ කෘතිවලින් උදාහරණ ගනිමින් පුංචිහේවා මහතා කර ඇති මැදිහත්වීම යළි ඔවුන් සොයා යාමට උත්තේජනයක් සපයනු ඇතැයි සිතේ. එහෙයින් පුංචි නොවන මහා හේවායෙකු වන පුංචිහේවා මහතාගේ මේ ව්‍යායමය අපේ අවධානයට ලක්විය යුතුමය.

චූලානන්ද සමරනායක

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...