“1990 – ඒක ඩොංකි කට් කපපු, ටයිටැනික් ගවුම් ඇඳපු කෙල්ලො හිටපු කාලයක්!” – තනූජා ලුම්බිණි

Share post:

නූතන පරපුරේ කැපී පෙනෙන කිවිඳියක් වන තනූජා ලුම්බිණි මෑතක සිට ටෙලි නාට්‍යය තිර රචිකාවියක් ලෙස ද අපට සම්මුඛ වන්නීය. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ දිගහැරෙන ‘1990’ ටෙලි නාට්‍යයේ රචිකාවිය ඇයයි. මතු දැක්වෙන්නේ ඒ නිමිති කරගෙන අප ඇය හා සිදු කළ සංක්‍ෂිප්ත සංවාදයකි.

පත්තරෙන් ගුවන් විදුලියට. ඒ වගේම කවිය. ඊළඟට නවකතාව. දැන් අපට ඔබ හමුවෙනව ටෙලි නාට්‍ය රචිකාවියක් විදියට. මේ සකලවිධ මාධ්‍ය පරිහරණය කරමින් ආපු ගමන දිහා දැන් ආපහු හැරිල බලද්දි මොකද හිතෙන්නෙ?

පොඩි කාලෙ ඉඳලම මට මොනවහරි ලිවීමේ ආසාවක් තිබුණා. කවි ලියන්නත් කලින් මම ම හදලා ගොතලා කතන්දර හදපු එක තමා කළේ. ඒත් පස්සෙ පස්සෙ කවි ලියන්න පුලුවන් කියලා හිතෙන්න ගත්ත එකත් එක්ක මගෙ ලිවීමේ හැකියාවෙ ලොකු වපසරියක් ගත්තෙ කවිය. පස්සෙ එක නවකතාවක් ලිව්වා. නවකතා ගොඩකට ෆ්ලොට් ඔළුවෙ කැරකි කැරකි තියෙද්දි මට ටෙලි ලියන්නත් ආසාවක් ආවා. මුලින්ම මම ලිව්වේ පෝය ටෙලිනාට්‍ය. ඊටපස්සෙ ඒකාංගික ටෙලිනාට්‍ය. ඒවට ලැබෙන ප්‍රතිචාරත් එක්කම මට ලොකු ආසාවක් ආවෙ ටෙලිනාට්‍ය පැත්තට. සාමාන්‍යයෙන් අපි ගුවන්විදුලි නාට්‍යක් රචනා කරනකොට අපිට දේවල් ඇහෙනවා විතරනෙ. ඒත් ටෙලිනාට්‍ය රචනයේදි අපි දකින දේ අපිට හිතෙන දේ පෙන්නන්න පුළුවන්නෙ. ඒක වෙනම අත්දැකීමක්. පත්තරවලට ලියනෙක කවි නවකතා ලියනෙකට වඩා මේකෙ වෙනස තියෙන්නෙ කැමරා කෝණයකට ලියනෙක. ආපහු හැරිලා මගෙ ලිවීම ගැන බලනකොට මට හිතෙනවා මම අන්තිමට නැවතුනේ මම ගොඩක් ආසම තැනකින් කියලා.

කොහොමද මේ අවස්ථාව ලැබුණෙ සහ වැඩේ කරගෙන යද්දි ඒක මොන වගේ අද්දැකීමක්, අභියෝගයක් වුණාද?

මම පෞද්ගලික ගුවන්විදුලි ආයතනයක නාට්‍ය රචිකාවියක් විදිහට අවුරුදු දහතුනක් රැකියාව කරලා ඒකෙන් ඉවත් වෙලා තවත් ගුවන්විදුලි නාලිකාවක දීර්ඝ නාට්‍යක් ලිව්වා.ඒක නවත්තනවා කියලා දැනුම් දුන්නට පස්සේ ඊගාවට මම මොකක්ද ලියන්නෙ කියන ප්‍රශ්නෙ තමා මට ආවේ.ඒ කියන්නෙ මගෙ ජීවිතේ ලිවීමෙන් තමා මම මුදල් ඉපැයූවේ.වෙන රැකියාවක් ගැන කවදාවත් මම හිතල තිබුණෙ නෑ.නාට්‍ය ගිය අවුරුද්දේ ජුනි මාසයේ ඉවර උනා. ඒක ඉවර වෙච්ච ගමන්ම මම ටෙලිනාට්‍යවලට සිනොප්සි ලිව්වා. එහෙම ලියල ලංකාවෙ ඩිරෙක්ටස්ල ප්‍රඩියුසස්ලා සිය ගානකට කතා කළා. සමහරු මුණගැහෙන්න එන්න කිව්වා. සමහරු එක වචනෙන්ම ප්‍රතික්ෂේප කළා. සමහරු සිනොප්සිය බලල කරමු කියලා පස්සෙ බෑ කිව්වා.සමහරු මේව හරියන්නෙ නෑ කියලා මූණටම කිව්වා. මාස දෙකක් වගේ මම සෑහෙන කට්ටක් කෑවා ලියපු එකකට ඩිරෙක්ට කෙනෙක්ව කැමති කරගන්න. තිලක් සමරසිංහ කියන නිෂ්පාදකතුමාවත් මට එහෙම කතා කරල තමා දැනගන්න ලැබුණෙ.ඔහු හරහා රනිල් කුලසිංහ මහත්මයට කතා කරන්න ලැබෙනවා. මම ලියපු පළවෙනිම කතා සාරාංශයට ඔහු කැමති වෙනවා. සාකච්ඡා වට කීපෙකින් ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසෙ නාට්‍ය රූගත කරනවා. ඒක හරියට හීනයක් වගේ. ඩයලොග් සහ සීන්ස් ලියන්න පුලුවන් උනාට මම තාක්ෂණික කාරණා දැනගෙන හිටියෙ ගොඩක් අඩුවෙන්.ටෙලිනාට්‍යක් අනික් නාට්‍යවලින් වෙනස් වෙන්නෙ ඒ තාක්ෂණික කාරණා එක්ක. ඒකට මට රනිල් කුලසිංහ අයිය වගේම සහය අධ්‍යක්ෂක සසික හේරතුත් ගොඩක් උදව් කළා. කොහොමහරි මම තිර පිටපත ලිව්වා

කැසට් පට, පොකට් රේඩියෝ, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, අනූහයේ ක්‍රිකට් ලෝක කුසලානය, අර්ජුන, අරවින්ද, රොෂාන් මහානාම, චන්ද්‍රිකා කුමාරතුංග! ඔය 90 කිව්වම මට මතක් වෙන පුද්ගලයන් සහ දේවල් කීපයක්. ඔබේ 90 මතක කොහොමද සහ ඒවා ටෙලි නාට්‍ය ඇතුළට ආයෝජනය කළේ කොහොමද?

90 දශකය කියන්නෙ මගෙ යොවුන් කාලෙ.ඒ කාලෙ කැසට්පීස් ඇහුවා වගේම රේඩියෝවලට කවි ලියලත් තියෙනවා මම.මට කවි ලියන්න පුලුවන් නිසා මට හිතුනා ඒ හැකියාවත් අරගෙන අනූව දශකයේ වෙච්ච කතන්දරයක් ලියන්න. මොකද එහෙම කතාවක් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ඇවිත් තිබුණෙ නැති නිසා. ඒ කාලෙ අපි ආදරේ කරපු අයට කතා කරන්න ලැබුණෙත් අහම්බෙන් වගේනෙ. මොබයිල් ෆෝන්ස් නෑ. ලියුම්වලින් ගනුදෙනු කළේ. සිංදු පොත් හදාගෙන තිබුණා. පත්තරවල අපි කැමති නලු නිළියන්ගේ ෆොටෝ අපි ඒ පොත්වල අලවල තිබුණා. නාමල් උඩුගමට පිස්සුවෙන් වගේ ආදරේ කරපු තරුණ අයව මම දැක්කා. ඩොංකි කට් කපපු, ටයිටැනික් ගවුම් ඇඳපු කෙල්ලො හිටපු කාලයක් මම මේ ඩ්‍රාම එකට අරගත්තා.

ටෙලි නාට්‍යයක් කියන්නෙ කවියකට, නවකතාවකට වඩා සාමූහික ප්‍රයත්නයක්. ඒ වෙනස ඔබට දැනුණෙ කොහොමද?

ඒ වෙනස ගොඩක් දැනුණා කියන්නෙ, මට ඒ හැමෝගෙන්ම ලොකු සහයක් ලැබුණා. අපිට හිතුනම කවියක් ලියල ඒක පත්තරේකට යවල බලන් ඉන්න පුලුවන්. නවකතාවක් නම් ලියල ඉවර කරල පොත අච්චු ගහල ඉන්න පුලුවන්.ඒක ලියල ඉවරයි. ඒත් ටෙලිනාට්‍යක් කියන්නෙ සජීවිව රඟපාන දෙයක්නෙ. අපි කෙනෙක්ගෙ චරිතය ලියාගෙන යනකොට ඒ චරිතයට මොනවහරි අනතුරක් සිද්ද උනොත් අපි ඒ කෙනාට නාට්‍ය ඇතුළෙ සාධාරණයක් කරන්න ඕනෙ. එයා නෑ කියලා එයාගෙ චරිතෙ හලල ඉතුරු ටික ඉස්සරහට අරන් යන්න බෑ. ඒ කෙනා කතා කරන දේවල් හැසිරෙන විදිහ පළවෙනි කොටසෙ ඉඳල අවසාන කොටස වෙනකල් තියෙන්න ඕනෙ. ඉතිං ඒකට නාට්‍යට සහභාගි වෙන හැම කෙනාගෙම සහය අපිට ලැබෙන්න ඕනෙ. නාට්‍යක තේ හදන කෙනත් ඒ නාට්‍ය ඇතුළෙ ලොකු චරිතයක්.

අපේ රටේ වර්තමාන ටෙලි නාට්‍යය කර්මාන්තය ගැන ඔබේ අදහස මොකද්ද?

මේ වෙනකොට ඉස්සරට වඩා ටෙලිනාට්‍ය කලාවේ ලොකු දියුණුවක් තියෙනවා. හැබැයි ඉස්සර අපි බලපු දූ දරුවෝ, සෙනෙහෙවන්තයෝ. දියසුළිය, කීටයා වගේ මතකෙ ඉන්න නාට්‍ය දැන් ගොඩක් අඩුයි. ඉස්සර නාට්‍යක් යන්නෙ සතියට දවසයි . අපි සතියක් එනකල් මාර ආසාවෙන් බලන් ඉන්නේ. දැන් එහෙම තත්වයක් නෑනෙ. මෙගා නාට්‍ය නිසා නාට්‍යවල තියෙන ගුණාත්මක බව අඩුවෙලා තියෙනවා.හැබැයි හොඳ නාට්‍ය ලියවෙනවා ඒවා විකාශනය වෙනවා. අලුත් මුහුණු, අලුත් අධ්‍යක්ෂකවරු විශේෂයෙන්ම තරුණ දක්ෂ අධ්‍යක්ෂකවරුන්ගෙන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය පිරෙනවා. ඒක යහපත් දෙයක්.

අවසාන වශයෙන් 1990 පස්සෙ, ඉස්සරහට වෙන්න නියමිත මොනවද?

1990 නාට්‍ය තවමත් ලියමින් පවතින්නේ.ඊට අමතරව ඒකාංගික නාට්‍ය ලියනවා.තව නාට්‍ය දෙකක් ලියන්න ආරාධනා ලැබිල තියෙනවා. යූ ටියුබ් නාලිකාවකට මම ජාතක කතාවක් ඇසුරින් නාට්‍යක් ලියනවා. ඔය අතරේ කවි පොතක්, කෙටිකතා පොතක්, නවකතාවක් ලියන්න ඕනෙ කියලා ඔලුවෙ සෑහෙන අස්සක තියෙනවා. ඒවා නම් කවදා කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ. මේ යන තත්වෙ එක්ක නිර්මාණශිලී වැඩකට යොමු වෙන්න තරම් මට කාලෙ නැති එක තමා ප්‍රශ්නෙ. ඒත් දවසකට මොනවාහරි ලියන ලාලසාව මට ජීවිතේ පහසු කරනවා.

සංවාදය – කසුන් සමරතුංග

Related articles

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...

‘මන්දාකිනියක කීපදෙනෙක්’ – කසුන් සමරතුංග

මේක මේ මන්දාකිනියෙ ජීවත්වෙන බහුතරයක් නියෝජනය කරන්නට සමත් නියැඳියක කතාවක්.කවරයේ කළුපාටින් පේන ගැහැණු රූපයයත් පාට තුනකින් තියෙන පිරිමි...