පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් සත්‍ය සෙවීමේ කොමිසමක් නොමැත්තේ ඇයි?

Share post:

දශක තුනක යුද්ධයේදී පවා නොදුටු ආකාරයේ මුළු රටම කම්පනයට හා භීතියකට ඇද දැමූ 2019 දෛවෝපගත පාස්කුවෙන් පසු පාස්කු හතරක් ගතව තිබේ. පල්ලි තුනකට සහ සුඛෝපභෝගී හෝටල් තුනකට මරාගෙන මැරෙන බෝම්බකරුවන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් එකවර එල්ල කරන ලද ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 272 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, තවත් 500 ක් හෝ ඊට වැඩි පිරිසක් තුවාල ලැබීය. මෙම ප්‍රහාරවලට ලක්වූවන් අතරට සමස්ත පවුලම, දරුවන් මෙන්ම මාපියන් සහ ශ්‍රී ලංකාවේ උණුසුම විඳීමට පැමිණි විදේශිකයන් ද ඇතුළත් විය. ප්‍රහාරය හේතුවෙන් රට මාස දෙකක් වසා දැමිණි. එම කාලය තුළ ජනතාව කටකතා මත ජීවත් වූ අතර, ජනාකීර්ණ ප්‍රදේශවලට යෑමට බිය වූහ. එක් සුළු ජාතික ආගමික කණ්ඩායමක් තවත් සුළු ජාතික ආගමික කණ්ඩායමක් ඉලක්ක කරගෙන  එල්ල කළ මෙම ප්‍රහාරයේ කිසිදු තර්කානුකූලභාවයක් නොතිබූ අතර, ඔවුන් අතර ගැටුම් සඳහා ඉතිහාසයක් නොපැවතිණි. මෙම පාස්කු බෝම්බ ප්‍රහාරය හේතුවෙන්, දශකයකට පෙර යුද්ධය අවසන් වූ දා සිට සිදු කර තිබූප්‍රතිසන්ධාන කටයුතු සියල්ලද අහෝසි වී ගියේය.

බෝම්බ ප්‍රහාරයෙන් පසු ඇති වූ අවුල් සහගත තත්ත්වයන් සහ අනුමාන කිරීම් මධ්‍යයේ, රටේ සෙසු ප්‍රදේශවල ඇති වූ බිය, ඇතැම් විපක්ෂ දේශපාලනඥයන් අතර නොපැවති බව දැකගත හැකි විය. එදා විපක්ෂයේ සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතන සිදුවූ ස්ථානයට පැමිණි පළමුවැන්නා විය. එවකට ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, වහාම විපක්ෂයෙන් තරග කිරීමට සුදුසුම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. ඊට දශකයකට පෙර එල්ටීටීඊය තුරන් කළ ආකාරයෙන්ම ජාතික ආරක්ෂාව යළි ස්ථාපිත කරන බවට පොරොන්දුවුණු ඔහු, විශාල බහුතරයකින් තමාට ජනාධිපති ධූරයට පත්වීමට ඡන්දය ලබාදුන්, ත්‍රස්තවාදයෙන් ත්‍රස්තවූ ජනතාව තුළ බලාපොරොත්තු සහගත ස්වරයක් අවදි කළේය.

කෙසේ වෙතත්, අනුප්‍රාප්තික ජනාධිපතිවරුන් තිදෙනකු යටතේ, ආණ්ඩු විසින් කරන ලද පරීක්ෂණවලින් පසුව පවා, මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ සත්‍යය හෙළිකර නොමැත. ඒ වෙනුවෙන් මෙතෙක් සිදු කර ඇති හොඳම දේ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. වින්දිතයන්ට නීතිමය සහන සැලසීම සඳහා රජය විසින් නිසි විමර්ශනයක් ආරම්භ නොකිරීම හේතුවෙන්, කතෝලික සභාව සහ තවත් පුරවැසියන් එක්ව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලදී. එහිදී, විමර්ශන වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනකු, තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියා නොකිරීමේ නොසැළකිලිමත්කම සම්බන්ධයෙන් වරදකරුවන් කරනු ලැබීය. ඔවුන් සියල්ලන්ටම දඩ නියම වූ අතර, විශේෂයෙන් නිලධාරීන්ට ගෙවීමට අපහසු රුපියල් මිලියන ගණනක දඩ මුදල් පනවා ඇත. එහෙත් බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න අධිකරණය හඳුනාගෙන නැත. එබැවින් සත්‍යය සෙවීමේ කාර්යය අඛණ්ඩව ක්‍රියාත්මක කළයුතුව ඇත.

පසුගියදා පැවැති ජනමාධ්‍ය සාකච්ඡාවකදී මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරන ලද්දේ, මෙතෙක් රජය සිදුකර ඇති පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්නොවන අතර, ඒවා පිළිගත නොහැකි බවයි. එතුමන් පැවසුවේ “යුක්තිය පිළිබඳ නිල මාර්ග ඔස්සේ අපට මෙතෙක් සාධාරණයක් ඉටුවී නැත. පාස්කු ප්‍රහාරය, එයට හේතු, ඊට සහභාගීවූවන්, එහි සැලසුම්කරුවන් සහ වෙනත් කිසිදු බලවේගයක් පිළිබඳව, කිසි විටෙක බැරෑරුම්, කැපවූ පරීක්ෂණයක් සිදු කර නොමැත” යනුවෙනි. දැනට මුක්තිය භුක්ති විඳිමින් සිටින නමුත්, ධූරයෙන් ඉවත් වූ පසු, වත්මන් ජනාධිපතිවරයාට එරෙහිවද ඉදිරියේදී එවැනිම පෙත්සමක් අධිකරණයේ ගොනු කරන බවටද ඔහු අනතුරු ඇඟවීය. ජනාධිපතිවරයා සදාකාලිකව එම ධූරය දරන්නේ නැති නමුත් කතෝලික සභාව දිගටම පවතිනු ඇති බවත්, තමාගෙන් පසුව පැමිණෙන පිරිසද ඒ සඳහා කටයුතු කරන බවත් කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන්හ.

සත්‍ය සෙවීමේ කොමිසම

සත්‍යය නොමැති විට සැකයන් වඩාත් ගැඹුරු වේ. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මෑතකාලීන ප්‍රකාශයන් තුළ, එතුමන් වඩ වඩාත් විවෘතව කතා කර ඇති බව දැකගන්නට තිබේ. කොළඹ පැවති පාස්කු මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව අතරතුර කාදිනල්තුමා පැවසුවේ, “දැන් පාස්කු ප්‍රහාරය සිදුවී වසර කීයක්ද? වසර හතරක්. තවම සාධාරණයක් ඉටුවී නැහැ. තවමත්, සිදුවූයේ කුමක්දැයි කිසිවකු දන්නේ නැහැ. මිනිස්සු නොයෙකුත් දේවල් කියනවා. සත්‍යය සඳහා, යුක්තිය සඳහා අරගල කිරීම වැදගත්. එය ක්‍රිස්තියානි ධර්මයයි”. යුක්තිය ලබා ගැනීම සඳහා පල්ලියේ නොසැලෙන අධිෂ්ඨානය ප්‍රදර්ශනය කිරීමට අමතරව, අපයෝජන විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් ක්‍රියාත්මක විය හැකි, ඉතා විශාල ප්‍රතිපාදන තිබියදීත්, 1979 සිට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට පාස්කු බෝම්බ ප්‍රහාරය වැළැක්වීමේ හැකියාවක් ලැබී නැත. වත්මන් ආණ්ඩුව මෙම පාඩම නොසළකා හැර, දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වඩාත් නරක විකල්පයක් යෝජනා කරමින් සිටීම ඛේදවාචකයකි.

දශක තුනක සිවිල් යුද්ධය අතරතුර සිදුවූයේ කුමක්ද යන්න සොයා බලා ජාතික සංහිඳියාව ඇති කිරීමට සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවන බවට රජය විසින් කරන ලද නිවේදනය පාස්කු ප්‍රහාරයට අදාළ වන්නේ නැත. ඒ වෙනුවට, සත්‍ය සෙවීමේ කොමිසම සොයා බලනු ඇත්තේ, “ගැටුම යනු 1983 ජූලි 24 හෝ ඊට පසුව ඇති වූ ගැටුම සහ 2009 මැයි 18ට පෙර ඇති වූ ගැටුමයි. මෙය විමුක්ති කොටි සංවිධානයේ බෙදුම්වාදී කැරැල්ලේ කාලයයි. දෙමළ ඊළාම් (එල්ටීටීඊ) සහ අනෙකුත් සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායම් ගරිල්ලා යුද්ධයක් දියත් කළ කාලයයි. කොමිසමේ වරම වනුයේ, පුද්ගලයන්ට හෝ දේපළවලට (ගැටුම්වලදී) සිදුවී ඇතැයි කියන හානිය සහ/හෝ හානි පිළිබඳ අපක්ෂපාතී, සම්පූර්ණ වාර්තාවක් ලබාදෙමින් සත්‍යවාදී, නිවැරැදි ස්ථාවරයක් ඇති කිරීම මගින්, ශ්‍රී ලංකාවේ ජනතාව අතර ජාතික සමගිය, සාමය, නීතියේ ආධිපත්‍යය, සහජීවනය, ඉවසීම සහ විවිධත්වයට ගරු කිරීම සමග සමානාත්මතාවය සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීමයි.“ යන්න පිලිබඳවය.

විමර්ශන කාලය 1983 ජූලි 24 සිට 2009 මැයි 18 දක්වා සීමා වී තිබීම සත්‍ය කොමිසමේ වරම  සීමාසහිත එකක් වනු ඇති බවට ඇඟවීමකි. එය එල්ටීටීඊය විසින් දෙමළ සටන්කාමී ව්‍යාපාරය මෙහෙයවන ලද කාලසීමාව ගැන පමණක් සොයා බලනු ඇත. කෙසේ වෙතත්, යුද්ධය අවසන් වීමෙන් පසු දැවැන්ත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අඛණ්ඩව සිදු විය. එල්ටීටීඊ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් යුද්ධයෙන් දින කිහිපයකට පසු විශාල ලෙස අතුරුදහන් විය. 300,000 කට අධික සිවිල් වැසියන් සංඛ්‍යාවක් මාස හයකට වැඩි කාලයක් කටු කම්බි සහිත කඳවුරුවල සිරකර තබන ලද අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අතුරුදහන් වූ අතර, ඇතැම්හු අල්ලස් ලබාදී පිටතට පැමිණීමට සමත් වූහ. තවත් අය ආරක්ෂක අංශ විසින් රැගෙන ගොස් තිබිණි. වාර්ගික ගැටුම, කොමිසමේ බලසීමාව ආරම්භවන දිනට පෙරද පැවති අතර, එය බල සිමාව අවසන් වන දිනට පසුවද අඛණ්ඩව පවතී. එමගින් සත්‍ය සෙවීමේ කොමිසමට ලබාදෙන වරම ප්‍රමාණවත් නොවන එකක් බවට පත්කර ඇත.

සත්‍ය කොමිසමෙන් විමර්ශනය කරනු ලබන්නේ ජනවාර්ගික යුද්ධය පැවැති කාලසීමාව පිළිබඳව පමණක්ද, නැතිනම් එම කාල සීමාව තුළ (1987 සහ 1989 අතර) ඇති වූ ජවිපෙ කැරැල්ල ගැනද  යන ප්‍රශ්නයද මෙහිදී මතුවේ. ජනවාර්ගික ගැටුමෙන් පිටස්තර වූ ජවිපෙ කැරැල්ලේදීද ඉතා විශාල පිරිසකට ජීවිත අහිමි විය. මෙම සැකය පැනනගින්නේ සත්‍ය කොමිසමේ නියමයන් සැකසීම ප්‍රසිද්ධ ක්‍රියාවලියක් නොවීම සහ රජය සහාය පතන රට වන දකුණු අප්‍රිකාවේ සිදු වූ දෙයට වඩා හාත්පසින්ම වෙනස්ව, ඉතා රහසිගත ක්‍රියාවලියක් ඔස්සේ මෙය සිදුකිරීම නිසාය. දැන් මෙම ක්‍රියාවලිය සමග ඉදිරියට යෑමට තීරණය කර ඇති බව පෙනෙන්නට තිබෙන බැවින්, ඉදිරි දිනවලදී ආණ්ඩුවේ අභිප්‍රාය කුමක්ද යන්න හඳුනාගත හැකිය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිඥාව

පාස්කු ප්‍රහාරය සහ ඉන් පසුව ඇතිවූ බිඳවැටීම යෝජිත සත්‍ය සෙවීමේ කොමිසමේ වරමෙහි කොටසක් නොවන බව පැහැදිලිය. සත්‍ය සෙවීමේ කොමිසමේ ජනවරම දීර්ඝ වන්නේ යුද්ධයේ අවසන් දිනය වන 2009 මැයි 18 දක්වා පමණි. පාස්කු බෝම්බ ප්‍රහාරය සත්‍ය කොමිසමේ ජනවරමින් බැහැර කිරීම සාධාරණීකරණය කළ හැක්කේ, එය යුද්ධය අවසන් වී දශකයකට පසුව සිදු වූවක්ය යන පදනම මතය. එය ද ඉතා දිගු කාලයක් පුරා පැවති යුද්ධය මෙන් නොව, තනි සිදුවීමක් පමණි. එහෙත් සිදු වූ දෙයෙහි සත්‍යය වසන් කිරීම සහ සැඟවීම දිගින් දිගටම සිදුවන බැවින්, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට සත්‍යය සෙවීමේ කොමිසමක අවශ්‍යතාවය නොසළකා හැරිය නොහැකිය. එදා සහ අද දක්වාම පවතින ප්‍රහේලිකාව වන්නේ, ප්‍රහාර සඳහා පෙළඹවීම සහ ඒවා පිටුපස සිටියේ කවුරුන්ද යන්නයි.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සත්‍යය සොයා ගැනීම සහතික කිරීමට ඇති අධිෂ්ඨානයෙහි මූලාරම්භය වූයේ, කිතුනු බැතිමතුන් විකෘති දේශපාලන න්‍යාය පත්‍රයක ගොදුරු කළ බවට ඇති විශ්වාසය විය හැකිය. මළවුන්ට යුක්තිය ඉල්ලා හඬක් නැගිය නොහැකිය. එබැවින් සත්‍යය සෙවීම ජීවත්ව සිටින අයගේ යුතුකමකි. අතීතයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම් විමර්ශනය කිරීම සඳහා, සත්‍යය සෙවීමේ කොමිසම්වලට ලොව පුරා ලබා දී ඇති වැදගත්කමට මෙය එක් හේතුවකි. වගවීම සහ යුක්තිය වෙනුවෙන් එක්ව ක්‍රියා කරන අතරතුර, පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ගේ වගවීම සහතික කළ යුතුව ඇත. එහෙත්, මෙතෙක් ආණ්‌ඩුවේ නායකයන් ඒ සඳහා එතරම් උනන්දුවක්‌ දක්‌වා නැත. අවාසනාවකට, වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණය වන්නේද එවැනිම ක්‍රියාවලියක් හේතුවෙනි. ආර්ථිකය විනාශ කළ හා තවදුරටත් බලයේ අසුන්වල රැඳී සිටින අයගේ වගකීම පිළිබඳ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව අපොහොසත් බව සහ අර්බුදය ඇති කිරීම පිළිබඳව සොයාබැලීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පාස්කු දින පණිවුඩයේ සඳහන් කර ඇත්තේ, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ හැඟීම් පිළිබඳව දැනුවත්ව සහ සංවේදීව කටයුතු කරන බවය. “පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා ඇති වූ අධික වේදනාව තවමත් ඔබේ සිත්වල එලෙසින්ම පවතින බව මම හොඳින් දනිමි. මම එම වේදනාව බෙදා ගනිමි. මෙම ඛේදනීය සිදුවීමට අදාළ නීතිමය කටයුතු ස්වාධීනව සහ අපක්ෂපාතීව, කිසිදු බලපෑමකින් තොරව සිදු කෙරෙන බව ඔබට සහතික වීමට කැමැත්තෙමි. මේ සඳහා අවශ්‍ය මූලික අඩිතාලම දමා ඇත්තේ, වින්දිතයන් සියලුදෙනාට සාධාරණය ඉටු කිරීම සඳහාය. මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා නැවත සිදු නොවීමටත්, අපගේ රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමටත් මගේ නොසැලෙන කැපවීම පිළිබඳ ප්‍රතිඥාව ලබාදෙමි”. මෙහිදී තම කැපවීම නැවත ප්‍රකාශ කිරීමට අමතරව, අතීතයට යමින්, මූල්‍ය හෝ වෙනත් අපරාධ සිදුකළ අය ඉක්මණින්ම ඔවුන් දරන ඉහළ තනතුරුවලින් ඉවත් කිරීම සහතික කිරීම සඳහා, ජනාධිපතිවරයාට තම විශ්වසනීයත්වය ශක්තිමත් කිරීමේ හැකියාව පවතී.

  • ජෙහාන් පෙරේරා

Related articles

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...