අක්කර ලක්ෂ 12ක හෙවත් හෙක්ටයාර ලක්ෂ 5ක වනාන්තර බේරන තීරණාත්මක අධිකරණ තීන්දුවක් පසුගියදා අභියාචනාධිකරණය ලබාදුන්නේය.
ඒ, 1/2020 අත්තනෝමතික චක්‍රලේඛය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක තීන්දුව ලබාදෙමිනි.
මාධ්‍ය වාර්තා
ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරන ලද බවයි. එය අර්ධ සත්‍යයකි.
පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණේ අදාළ චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි.
එහෙත් අදාළ චක්‍රලේඛය සංශෝධනය කරමින් වනාන්තර භූමි අක්කර ලක්ෂ 12ක් සුරක්ෂිත වන ආකාරයේ තීන්දුවක් ලබාදීමට අධිකරණය කටයුතු කර තිබේ.
සිදු වූයේ කුමක්ද?
දැනට අවශේෂ වනාන්තර යනුවෙන් හඳුන්වනු ලබන රජයේ වෙනත් වනාන්තර ලෙස නම්කර ඇති භූමි පමණක් නොව, වනාන්තරමය වටිනාකමක් සහිත භූමි, ජෛව විවිධත්වයෙන් පොහොසත් භූමි සහ ජලාධාර භූමි ද සුරක්ෂිත වන ආකාරයට නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද වනජීවී සහ වන සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අධිකරණයෙන් නියෝග කරන ලදි.
ගෝඨා යළිත් පරාදයි!
එම නිසා පලවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මගින් නිකුත් කරන ලද 1/2020 චක්‍රලේඛය හරහා බරපතළ අවදානමක තිබූ වනාන්තර භූමි, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ වෙනත් රජයේ ඉඩම් කළමනාකරණය කරනු ලබන ආයතනවලට අවශ්‍ය පරිදි ආයෝජන ව්‍යාපෘති සඳහා නිදහස් කිරීමට සකස් කරන ලද සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.
CA/Writ/502/2021 අංක යටතේ මෙය විභාග කෙරිණි. විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව පෙත්සම්කරුවන් 06 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.
පෙත්සම්කරුවන්
- පරිසර යුක්ති කේන්ද්‍රය
- එහි අධ්‍යක්ෂ හේමන්ත විතානගේ
- එහි විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ
- සමස්ත ලංකා බීට්ටු වන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එඩ්වින් එඩ්වඩ් රාගල්
- සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඉමේෂ් ගුණතිලක බණ්ඩාර
- මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් රණවක
විත්තිකරුවන්
- ඉඩම් කොමසාරිස් ජනරාල්
- ඉඩම් ඇමති
- එම අමාත්‍යංශයේ ලේකම්
- වනජීවී සහ වන සංරක්ෂණ ඇමති
- එම අමාත්‍යංශයේ ලේකම්
- වන සංරක්ෂක
- පරිසර අමාත්‍යංශයේ ලේකම්
- ජනාධිපති ලේකම්
- පොලිස්පති
- නීතිපති
අධිකරණ අපහාස
අදාළ ඉඩම් සම්බන්ධ තීරණ ගැනීමේ බලය ඉඩම් කොමසාරිස්වරයාට, ප්‍රාදේශීය ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට පවරා තිබූ 1/2020 චක්‍රලේඛයේ තුන් වන වගන්තියට මීට පෙර අභියාචනාධිකරණයෙන් තහනමක් පනවා තිබිණි.
එසේ තිබියදී ස්ථාන ගණනාවක එවැනි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මීට පෙර Black ෆේස්බුක් පිටුවෙන් අනාවරණය කෙරිණි.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
105(3)
‘ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන එක් එක් අධිකරණය ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණයක් වන්නේය. අධිකරණයේදී ම නැතහොත් අන් ස්ථානයකදී ඒ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය සුදුසු යැයි සලකන පරිදි බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ දෙකෙන්ම දඬුවම් කිරීමේ බලය ….’
නීතිපති කියපු දේ
වෙනත් රජයේ වනාන්තර (Other State Forests) ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතට ලබානොදෙන බව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් මීට පෙර අභියාචනාධිකරණයට තහවුරු කරන ලදි.
ඒ, පෙත්සම් විභාගයේදී ය.
තහනම් නියෝගයක්
01/2020 චක්‍රලේඛය මගින් සිදුකිරීමට අපේක්ෂිත දැවැන්ත පරිසර විනාශයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරන ලද මෙම නඩුවේදී අදාළ චක්‍රලේඛයේ 03 වගන්තියට තහනම් නියෝගයක් නිකුත් කිරීමට ද මීට පෙර අභියාචනාධිකරණය තීන්දු කළේය.
01/2020
2020 නොවැම්බර් 04 දින වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ එවකට ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර විසින් MWFC/01/2020 අංක දරන මෙම චක්‍රලේඛය නිකුත් කරන ලදි.
එහි 03 වගන්තියේ මෙසේ සඳහන් වේ.
03 වගන්තිය
‘මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක වීමත් සමග ම මෙම අවශේෂ කැලෑ ඉඩම් වෙනුවෙන් වඩාත් සුදුසු ප්‍රයෝගික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස්, මගපෙන්වීම ඇතුළත් චක්‍රලේඛයක් ඉඩම් අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට / පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ට / ඉඩම් කොමසාරිස්වරුන් සහ අන්තර් පළාත් සහකාර ඉඩම් කොමසාරිස්වරුන්ට නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.’
05/2001
රජයට අයත් සියලුම කැලෑ කළමනාකරණය සහ පාලනය සඳහා 2001 වසරේදී නිකුත් කරන ලද 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම මෙමගින් සිදු විය. 2001 වසරේ චක්‍රලේඛයට අනුව රජයේ කැලෑ ඉඩමක් ආයෝජන ව්‍යාපෘතියක් සඳහා පවරන්නේ නම්, ඒ සඳහා වන සංරක්ෂණ, පරිසර, වන ජීවි, ඉඩම් ඇතුළු ආයතන ගණනාවකින් විධිමත් අනුමැතියක් ලබාගැනීම අනිවාර්ය විය.
බලය කාටද?
එහෙත් 2020 ජූලි 01 දින කැබිනට් මණ්ඩලය මගින් අනුමත කරන ලද උපදෙස් මත නිකුත් කෙරුණු 01/2020 චක්‍රලේඛයට අනුව එසේ අදාළ ඉඩම් පැවරීමේදී ආයතන ගණනාවකින් අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බව සඳහන් වේ. එය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට තනි ව කළ හැකි කරුණක් ලෙස දක්වා තිබේ.
‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, යෝජිත රක්ෂිත වනාන්තර හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන ජාතික රක්ෂිත භූමි, අභය භූමි, වන අලි කළමනාකරණ රක්ෂිත හා ……. අවශේෂ කැලෑවල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් …….. හානියක් නොවන පරිදි ආර්ථිකමය හා වෙනත් ඵලදායී කටයුතු සඳහා භාවිතා කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට හැකිවන පරිදි කටයුතු කිරීමට මෙමගින් ඉඩ ලැබේ.’
හෙක්ටයාර ලක්ෂ ගණනක්
මෙම චක්‍රලේඛය ඉදිරිපත් කිරීමත් සමග අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, මොණරාගල, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක හෙක්ටයාර ලක්ෂ ගණනක වන සංරක්ෂණ ඉඩම් ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීම ඇරඹිණි.
පරිසර වාර්තා අදාළ නැත !
වාණිජ බෝග වගා කිරීම සඳහා ඉඩම් ලබාදෙන බව පවසමින් ජනතාවට අක්කර 4-5 කොටස් ද, සමාගම්වලට අක්කර 3,000 සිට 5,000 දක්වා කොටස් ද බදු පදනම මත ලබාදෙන ලදි. මේවා අදාළ ව්‍යාපෘති සඳහා යොදාගැනීමට පෙර කිසිදු පරිසර තක්සේරු වාර්තාවක් සකස් කිරීමක් සිදු නොවූ අතර, එහි භූමියේ වැදගත්කම හෝ ජෛවවිවිධත්වය වැනි සාධක අදාළ වූයේ නැත.
වනාන්තරයක වටිනාකම
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර ක්ෂේත්‍රයේ ප්‍රකට නීතිඥවරයෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන මෙසේ පැවසීය.
‘මේවා එකින් එක සිද්ධි විදිහට හුදෙකලාව අපි බලනවද, නැත්නම් සම්ප්‍රයුක්තයක් විදිහට බලනවද කියන එකයි වැදගත් කාරණය.
හුදෙකලාව බලන කොට අපිට පේනවා, වන විනාශයට තුඩු දෙන තීරණ රැසක් බලධාරීන් මෑතකදී ගත්තා කියලා. සම්ප්‍රයුක්ත වශයෙන් බැලුවම මට තේරෙන්නෙ වනාන්තරයක තියෙන වටිනාකම සම්බන්ධයෙන් තියෙන නොදැනුවත්කම හෝ අනවශ්‍යකම තමයි මේ තීරණවලට හේතුවෙලා තියෙන්නෙ. රටක භූමි පරිභෝජනය පිළිබඳ සැලැස්මක් ඇති කරනවා වෙනුවට වෙලාවෙන් වෙලාවට එන අභියෝගවලට අදාළව, ඒවා තාවකාලිකව මැඩපවත්වාගන්න තීරණ ගැනීමේ ප්‍රවණතාවක් තමයි දකින්න පුළුවන්.
භයානක අවදානමක්
ඊළඟට තියෙන තවත් බරපතළ තත්ත්වයක් තමයි, පාරිසරික සැලසුම් මෙවලම් නොතකා කටයුතු කිරීම. ඒ කියන්නෙ පාරිසරික ඇගයීම් වාර්තා වගේ ඒවා. ඒවා තමයි තීරක මෙවලම්. ඒ කියන්නෙ තීරණගන්නෙ ඒවා මත පදනම්වෙලා. මේවා නිසා සම්ප්‍රයුක්ත වශයෙන්, නැත්නම් සමස්තයක් ලෙස බලන කොට අපිට භයානක අවදානමක පෙර නිමිති පේනවා. ඒත් ඒ භයානක අවදානම පේන්න ඕනෙ, ඒ අවදානම දකින්න ඕනෙ අයට තවම එහෙම එකක් පේන බවක් දකින්න නෑ.
25 වෙනුවට 17යි
ලංකාවෙ තියෙන්න ඕනෙ අවම වනගහනය සියයට 25 යි. දැන් තියෙන්නෙ සියයට 17 යි. වනාන්තරයක් කියන්නෙ ගස් ගොඩක් විතරක් නෙමෙයි. වනාන්තරයක් කියන්නෙ ශාක සහ සතුන් අතර තියෙන සංකීර්ණ සබඳතා ජාලයක්. ඒ පද්ධතිය විනාශ කරන්න පුළුවන් වුණාට, ඒ පද්ධතිය ඒ විදිහටම යළි ගොඩනංවන්න බැහැ. ගස් වැව්වම ඒක පද්ධතියක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.
ලෝකයේ කොතැනකවත් මිනිස්සුන්ට තවම බැරිවෙලා තියෙනවා, විනාශ කරපු පරිසර පද්ධතියක් ඒ ආකාරයෙන්ම හදන්න. ඒකට හේතුව අර සංකීර්ණ සබඳතා කියන ඒවා ආපහු හදන්න බැහැ. ඒවා අපි දන්නෙත් නැහැ. අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙලත් නැහැ. ස්වභාවික වනාන්තරයට ආදේශක නැහැ. පැළ සිටුවීම වන ආවරණයක් විදිහට උත්තරයක්. ඒත් ඒකෙන් තිබුණු විදිහට වනාන්තරයක් හදන්න බැහැ.
ගෝඨාගේ අලුත් නම
වෙනත් රජයේ වනාන්තරවලට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අලුතින් දාගත්තු නමක් තමයි, අවශේෂ කැලෑ කියන්නෙ. ඒක භාවිතයෙ තිබුණෙ නැති වචනයක්. 2020 තමයි අවශේෂ වනාන්තර කියලා වැරදි වචනයක් හදාගෙන ආවෙ. රජයේ නියෝගයකින් ප්‍රකාශයට පත්කරලා නැති වනාන්තර සියල්ලටම අපි එදා ඉඳලම කිව්වෙ වෙනත් රජයේ වනාන්තර කියලා. මේවා අතරෙ යෝජිත රක්ෂිතත් තියෙනවා. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තියෙන සමහර යෝජිත රක්ෂිත පනස්ගණන්වල ඉඳලා නම් කරලා තියෙන ඒවා. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයෙන් ඉඩම් එළිපෙහෙළි කරන කොට ඒවා ඉතුරු කරලා තියෙනවා. විවිධ හේතු නිසා ඒවා රක්ෂිත විදිහට ගැසට් කරන එක දවසින් දවස කල්ගිහින් තියෙනවා.
වන සංරක්ෂණ ආඥා පනතෙන් මේ වෙනත් රජයේ වනාන්තරවලට නීතිමය ආවරණයක් තියෙනවා. ඕඑස්එෆ් කියලා තමයි මේවා හඳුන්වන්නෙ. (OSF – Other State Forests) ඒක තමයි පරිපාලනයේ, නීතියේ තිබුණු වචනය. නීතිමය වශයෙන් හෝ පරිපාලන වශයෙන් හෝ සමාජයීය වශයෙන් හෝ මෙහෙම අවශේෂ වනාන්තර කියලා වචනයක් මෙතෙක් තිබුණෙ නෑ.’
මෙවැනි තත්ත්වයක් යටතේ මෙම තීන්දුව අතිශය වැදගත් වන අතර, එය ක්‍රියාත්මක කරවාගැනීම වෙනුවෙන් කඩිනමින් මැදිහත් වීම බලධාරීන්ගේ වගකීමකි.’