ජීවන වියදමෙන් කප් ගහන ලංකාවේ මීළඟ බලාපොරොත්තුව!

Share post:

ජීවන වියදම අධිකම දකුණු ආසියානු රටවල් අතරේ දෙවැනි තැන ඉන්නේ ශ්‍රී ලංකාව කියලා Numbeo වෙබ් අඩවියේ වාර්තාවක් පහුගිය දවස්වල ලංකාවේ මාධ්‍යවල සංසරණය වුණා. ඒ වාර්තාවට අනුව ලංකාවේ පුරවැසියෙක්ට මාසයක කාලයක් හොඳින් ජීවත් වෙන්න දළ වශයෙන් අමෙරිකානු ඩොලර් 506 හෙවත්, ආසන්න වශයෙන් රුපියල් 153,999 ක් අවශ්‍යය වෙනවා. මේ අගයට නිවාස කුලී ගාස්තු ඇතුලත්වෙන්නේ නෑ.

දකුණු ආසියාවේ වැඩිම ජීවන වියදමක් වාර්තා වෙන්නේ මාලදිවයිනෙන්. ඒ මාසිකව ඩොලර් 804ක්. ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ ජීවත්වෙන පවුලකට සුවදායී ජීවිතයක් ගතකරන්න දළ වශයෙන් මාසිකව රුපියල් 570,997 ක් අවශ්‍ය වෙනවා කියලා වෙබ් අඩවිය සඳහන් කරනවා. 

2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සහ දිගින් දිගටම සිදුවුණු ආර්ථික බිඳවැටීම් එක්ක ලංකාවේ ජීවන වියදම අහස උසට ගියේ එක පැත්තකින් සමස්ත ජන ජීවිතය අර්බුදයකට අරගෙන. 2019 දි 3.5% තිබුණ උද්ධමනය 2022 දී ඉතිහාසයේ වාර්තාවුණ වැඩිම අගය 67.4% දක්වා ඉහළ ගියා. රුපියල අවප්‍රමාණය වීමත් එක්ක ආනයනික භාණ්ඩ හා සේවාවල මිළ ඉහළ යාම ට සමගාමීව දේශීය නිෂ්පාදනත් ඉහළ ගිහින් අන්තිමේදී ජනාධීපතිවරයාට සහ ආන්ඩුවට ගෙදර යන්න වෙන තැනට පත්වුණා. 

ලංකාවේ ජීවන වියදම කලින් සඳහන් කරපු විදිහට පුද්ගලයෙක්ට ඩොලර් 506 අගයක් ගනිද්දි නිකන් ලංකාව සුඛෝපබෝගී රටක් වගේ හැඟීමක් මේ අංක වලින් පෙන්නුම් කරන්න පුළුවන්. ඒ කියන්නේ දළ වශයෙන් පුද්ගලයෙක්ට වර්ෂයකට ඩොලර් 6,072ක ජීවන වියදමක් තියනවා. ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය 2024 දි වාර්තා වෙන්නේ ඩොලර් 4,515ක් විදිහට. 

මේ විදිහටම දකුණු ආසියාවේ ජීවන වියදම වැඩිම මාලදිවයින සලකලා බැලුවොත්, මාලදිවයිනේ පුද්ගලයේකට වර්ෂයක් සුවදායීව ජීවත්වෙන්න ඩොලර් 9,648ක් අවශ්‍ය වෙනවා. හැබැයි මාලදිවයිනේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 13,215ක්. මෙහෙම බැලුවම පැහැදිලිවම පෙනෛන්නේ මාලදිවයින් පුද්ගලයෙක්ට දරන්න වෙන ජීවන වියදම ඉහළ වුණත්, ඒ වෙනුවෙන් ලැබෙන ආදායම ඉහළ අගයක් ගන්නවා කියන එකයි. මාලදිවයිනේ රැකියාවලට ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පිරිසක් යොමුවන්නේත් මේකේ ප්‍රතිඵලයක් විදිහටයි.

නමුත් ලංකාවේ තියෙන්නේ මේකේ අනිත් පැත්ත, ඒ කියන්නේ ජීවන වියදම ඉතාම ඉහළ ගියාට ආදායම තියෙන්නේ ඉතාම පහළ මට්ටමක. පහුගිය අවුරුදු 5 ඇතුළත ජීවන වියදම ඉතාම ඉහළ යාමක් වුණත්, දළ වැටුප් වැඩිවීම ඉතාම අඩුවෙන් තමයි සිදුවුණේ. 

අනිත් පැත්තෙන් අයි.එම්.එෆ් වැඩසටහන එක්ක රජය විසින් ජනතාවගෙන් අයකරන සෘජු සහ වක්‍ර බදු ඉතා ඉහළ අගයක් ගන්න නිසා ජනතාවට උපයන මුදලෙන් වැඩි ප්‍රමාණයක් බදු ගෙවීම එක්ක ඔවුන් ‘ක්‍රය ශක්තිය’ හෙවත් මිළට ගැනීමේ හැකියාව තවත් පහත වැටිලා. භයානකම තත්ත්වය වෙන්නේ මේ වගේ තැනකදි ජනතාවට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය, නිවාස, අධ්‍යාපනය වගේ දේවල් වෙනුවෙන් වැයකරන්න ඇති හැකියාව අඩුවීම නිසා සෞඛ්‍ය ගැටළු, පවුල් ආරවුල්, දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීම වගේ දීර්ඝකාලීන අයහපත් ප්‍රතිඵල ඇති ගැටළුවලට ජනතාවට මුහුණදෙන්න සිදුවීමයි.

2025 දී පුරෝකථනය කරන විදිහට ලංකාවේ බදු ඉලක්කය ඉක්මවා යන්න හැකියාවක් තියනවා. මේ බදු ඉලක්කය ඉක්මවා ගියොත් ලබන වසරේ ඉඳන් ජනතාවට අවම බදු සහනයක් හරි ලැබෙන්නේ නැතිනම් ජනතාවගේ ජීවන තත්ත්වය වගේම ව්‍යාපාර වලටත් අයහපත් ආකාරයට බලපාන්න පුළුවන්.

විශේෂයෙන්ම මේ වගේ ඉහල ජීවන වියදමක් යටතේ තව තව බදු බරට යටවීම නිසා ජනතාව කබලෙන් ලිපට වැටෙන තැනකට යන්න ඉඩ තියනවා. ජනතාව බලාපොරොත්තුවුණ සහ තවමත් බලාපොරාත්තු වන ‘පෙහොසත් රට’ ඒක නෙවෙයි නිසා ලබන වසර වෙනුවෙන් කෙටුම්පත් වන අයවැය දිහා බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්න සිද්ධවෙනවා.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

Related articles

අපරාධ මර්දනය අධ්‍යාපනයෙන් පටන්ගමු

ඉතිහාසයේ ඉඳන්ම ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකියයුතු උනන්දුවක් වගේම ප්‍රමුඛතාවක් තිබුණා කියන එක අවශ්‍ය තරම් සාක්ෂි පොත්පත්වල වගේම කතා...

ඩිල්ශානි චතුරිකා දාබරේගේ – ‘මව්වත් හදවත්’

මිග්‍රේන් කඳු පුපුරලා ඔළුව පුරා වේදනාවෙ කියත් ඒ මේ අතට හැරෙද්දි පැනඩෝල් පෙත්තකට එහා ගිය සහනයක් ගෙනල්ලා දෙන්න...

බානුගේ කතා ආවෙ කොතැනින්ද? – Heart Lamp ගැන නිරීක්ෂණ කිහිපයක්

බානු මුෂ්ටාක් කර්නාටක වැසි, කන්නඩ සුහුරු ලේඛිකාවක්. බානුගේ දෙපා තිබුණේ, භූගෝලීය වශයෙනුත් සාහිත්‍යයික වශයෙනුත් විචිත්‍ර බිමක වුණත් ඇය...

රසිකා, මායාකාර කිවිඳියක්

කවියෙ හි ජීවය ලෙස සලකන්නේ එහි උපයුක්ත බස. කවිය ඍජු ලෙස නැගී සිටින්නාවූ සැකිල්ල වන්නේ එහි ආකෘතිය. නමුත්...