නිරෝගී දැරියක සදාකාලික රෝගියෙකු කිරීම : සම්පූර්ණ තීන්දුව සහ ඔබේ අයිතිය !

Share post:

2012 වසරේදී උපත ලද දැරියකට කතා කිරීමට නොහැකි වීම, අතපය සෙලවීමට හෝ ඇවිදීමට නොහැකි වීම, නිතර වලිප්පුව නම් රෝග තත්ත්වයෙන් පෙළීම සහ ජීවිතාන්තය දක්වා ම සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස කටයුතු කළ නොහැකි තත්ත්වයකට පත්වීම යන කරුණු සඳහා ගම්පහ මහා රෝහලේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වගකිවයුතු බව කොළඹ දිසා අධිකරණය තීන්දු කර තිබේ.

එම අධිකරණයේ අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ නියෝග කළේ මේ හේතුවෙන් දැරියට රුපියල් මිලියන 30ක වන්දි මුදලක් ගෙවීමටයි.

සාධාරණ වන්දි මුදලක්

දැරියට මුළු ජීවිත කාලය ම තවත් කෙනෙකු මත යැපීමට සිදු වන බවත්, විශේෂිත කිරිපිටි සතියකට එක පැකට්ටුව බැගින් අවශ්‍ය වීම, දැරියට අශූචි සහ මුත්‍රා නිතර පහවන බැවින් නිතර පැම්පස් අන්දවා තිබිය යුතු වීම, නිරන්තරයෙන් ඇති වන ආබාධවලට ප්‍රතිකාර කළ යුතු වීම සහ පොදු ප්‍රවාහන සේවාවල ඒ සඳහා යෑමට නොහැකි වීම නිසා වෙනත් පෞද්ගලික වාහනවලට වියදම් දැරීමට සිදු වීම යන කරුණු විශේෂයෙන් සලකා බැලිය යුතු බවත් එම තීන්දුවේ පැහැදිලිව සඳහන් කර ඇත.

මේ නිසා ආසන්න වශයෙන් දැරියගේ මාසික වියදම් සඳහා රුපියල් 50,000ක් අවශ්‍ය බවට සහ දරුවා අවුරුදු 50ක් ජීවත් වන බවට උපකල්පනය කර, දැරියට සාධාරණ වන්දි මුදලක් ලෙස රුපියල් මිලියන 30ක් ගෙවිය යුතු යැයි නියෝගයේ දැක්වේ.

අවදානම් අවස්ථාවකදී

‘එසේ ම මෙම දෙමව්පියන්ගේ මරණයෙන් පසුව ද, මෙවැනි ආබාධිත තැනැත්තන් සම්බන්ධයෙන් රැකවරණය, පෝෂණය, සාත්තුව හා ප්‍රතිකාර සඳහා රජය විසින් සකසා ඇති වැඩපිළිවෙලක් නැත. එහිදී ද ඇය වෙනුවෙන් වැයකිරීම සඳහා යම් මුදලක් ද පැවතිය යුතු බවත්…’

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ නීතිපතිවරයාට එරෙහිව DMR/581/14 අංක දරන මෙම නඩුව පවරා තිබිණි.

අවධානීය යුතුකම

අදාළ දැරිය ගම්පහ දිස්ත්‍රික් රෝහලේ දී 2012 මැයි 15 දින උපත ලබා ඇත. දැරියගේ මව එම මාසයේ 14 දින හෝ ඊට ආසන්න දිනක සිට 15 දින හෝ ඊට ආසන්න දිනයක් දක්වා ගම්පහ දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ වෛද්‍ය සිසිර කොස්තා බාරයේ ඇති වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ. රෝහලේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝගියා සම්බන්ධයෙන් වන අවධානීය යුතුකම කඩ කර ඇති බව ද මෙම තීන්දුවේ පැහැදිලිව දැක්වේ.

වෛද්‍යමය නොසැලකිල්ල

‘මෙම නඩුව වෛද්‍යමය නොසැලකිල්ල සම්බන්ධ නඩුවක් වන අතර, වෛද්‍යමය නොසැලකිල්ල සම්බන්ධයෙන් වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ට රෝගියෙකු සම්බන්ධයෙන් අවධානීය යුතුකමක් ඇති බවත්, ඔවුන්ගේ ක්‍රියාකාරකමක් හෝ යම්කිසි නොකර හැරීමක් සම්බන්ධයෙන් රෝගියාට සිදු වන අලාභයක් සම්බන්ධයෙන් ඔවුන්ට වගකීමක් ඇති බවත්…’

ලේකම්ගේ වගකීම

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව නඩුව පැවරීම සහ ඔහුගේ පදිංචිය අදාළ රෝහල පිහිටි ප්‍රදේශයේ නොවීම පිළිබඳව ද නඩුවේදී විත්ති පාර්ශ්වයෙන් විරෝධතා මතුකර තිබිණි.

අධිකරණය මෙහිදී නීතිපති එදිරිව ස්මිත් (1907/10/NLR/263) නඩුවේ තීන්දුව උපුටා දක්වමින් අවධාරණය කර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන්ට හෝ එකී කාර්ය මණ්ඩලයට විරුද්ධව පමණක් නඩුව පැවරීමෙන් තොරව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට එරෙහිව නඩුව පැවරීමට බාධාවක් නොමැති බවයි. අදාළ නීතිපති එදිරිව ස්මිත් නඩු තීන්දුවේ සඳහන් වන්නේ කොළඹ ජාතික රෝහලේ සිදු කළ ශල්‍යකර්මයකදී හෙදියකගේ ක්‍රියාකාරකමක් හේතුවෙන් සිදු වූ හානියක් සම්බන්ධයෙන් රජයට එරෙහිව නඩු පවරා අලාබ අයකර ගැනීමක් සම්බන්ධවයි.

බදු මුදලින් වැටුප්

මෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගීන් විසින් ගෙවීමක් නොකරන්නේය යනුවෙන් මතුකරන ලද තර්කයක් පිළිබඳව ද අධිකරණය තීන්දුවේ පැහැදිලිව සඳහන් කර තිබේ.

‘මෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගීන් විසින් ගෙවීමක් නොකරන්නේය යන කරුණ ‘මෙම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගීන් විසින් ගෙවීමක් නොකරන්නේය යන කරුණ අදාළ නොවන අතර, මෙම කාර්ය මණ්ඩලය රජයෙන් වැටුප් ලබන හෙයින් ද, එහිදී රජය විසින් ලබාදෙන වැටුප සෘජු ව හෝ වක්‍රව හෝ බදු ගෙවන ජනරජයේ පුරවැසියන්ගෙන් ලැබෙන මුදලක් වන හෙයින් ජනරජයේ ජනතාව අතරින් යමෙකු යම් රජයේ රෝහලකට ඇතුළු වූ අවස්ථාවේදී එකී රෝහලේ වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ට එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අවධානීය යුතුකම ඇති වනු ලැබේ.’

අවිධිමත් ප්‍රතිකාර

පැමිණිලිකාරියගේ සාක්ෂිවලින් සහ විශේෂඥ වෛද්‍ය සිසිර කොස්තාගේ සාක්ෂිවලින් තහවුරු වී ඇත්තේ පැමිණිලිකාරිය දිගින්-දිගටම තමන්ට අමාරු බව පැවසුවද, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එය නොසලකා කටයුතු කර ඇති බවත්, අදාළ වෛද්‍ය පරීක්ෂණ විධිමත්ව සිදු කර නැති බවත් ය.

‘එසේ ම මෙහිදී මෙම දරුවාගේ ගෙලෙහි පෙකනිවැල එතී තිබූ බවත්, එය තද වී තිබූ බවත්, එය අතිශයින් තද වී තිබූ බවත්, එම නිසා මොළයට ඔක්සිජන් පැමිණීම දුර්වල වී ඇති බවත්, ඒ අනුව මිකෝනියම් පහවී ඇති බවත්, එකී මිකෝනියම් හිරවීම ද සිදු වී ඇති බවත්, මේ අනුව එකී ඔක්සිජන් අඩු වීම මත ඇයට දැනට ඇති මස්තිෂ්ක ආබාධ තත්ත්වය ඇති වී තිබෙන බවත්….’
මේ බව විශේෂඥ වෛද්‍ය සිසිර කොස්තා ද විවෘත අධිකරණයේ දී පිළිගෙන තිබේ.

වගකීමේ තරම

මේ පිළිබඳව නිවැරදි ස්කෑන් පරීක්ෂාවකින් පසු සිසේරියන් සැත්කමක් කිරීමට හැකියාව තිබියදී, එසේ කොට නැති බව ද අධිකරණයේ දී තහවුරු වී තිබේ.

Related articles

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි !

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන...

දුර්ගා යන්නම ගිහින්! Uma Dasgupta (1940-2024)

සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ Pather Panchali චිත්‍රපටයේ අපට හමුවන සුවිශේෂී ස්ත්‍රී චරිතයක් දුර්ගා. දුර්ගා යනු මෙහි ප්‍රධාන චරිතය...