‘මහාධිකරණ විනිසුරුවරිය තමන්ව නොමග යවාගෙන’:
අභියාචනාධිකරණයෙන් තීන්දුවක් !

Share post:

මිනීමැරුම් චෝදනාවකට හලාවත මහාධිකරණයෙන් වරදකරුවන් කර මරණීය දණ්ඩනය නියම කළ නව දෙනෙකු, එම දඬුවම ඉවත් කර නිදහස් කිරීමට අභියාචනාධිකරණය ගත් තීන්දුවක් පිළිබඳ සම්පූර්ණ විවරණයකි, මේ.

විනිසුරුවරයෙකුගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳ මෙහිදී අභියාචනාධිකරණය වැදගත් පණිවුඩයක් ලබාදෙයි.

අභියාචනය

හලාවත මහාධිකරණය 2019 පෙබරවාරි අට වැනිදා නියම කළ එම දඬුවම ඉවත් කර විත්තිකරුවන් නිදහස් කිරීමට තීන්දු කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් බී. අබේකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි. විනිසුරු සම්පත් බී. අබේකෝන් මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර, සභාපති විනිසුරුවරයා ඊට එකඟත්වය පළකර තිබේ.
මහාධිකරණයේ තීන්දුවට එරෙහිව විත්තිකරුවන් පිරිස අභියාචනාධිකරණයට කර තිබූ අභියාචනයක් විභාගයට ගෙන තීන්දුව ලබාදෙමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය.

සිද්ධිය

එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු ඇතුළු නව දෙනකුට මරණ දඬුවම නියම කිරීමේ සිදුවීම 2019 පෙබරවාරි මාසයේදී ජනමාධ්‍යවල කතාබහට ලක්වූ පුවතක් විය.
නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් 2001 වසරේ ජුනි මස 24 දින හෝ ඊට ආසන්න දිනයකදී මාරවිල, මූදුකටුව, ලංසිගම ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය මහලේකම්ගේ ලයනල් ප්‍රනාන්දු මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියම වී තිබුණේ වර්ණකුලසූරිය නිමල් අජිත් ප්‍රනාන්දු, ඩබ්ලිව්. ජෙරාඩ් සුගත් ප්‍රනාන්දු, පී. පැට්‍රික් ඔස්වල්ඩ් ප්‍රනාන්දු, ඩබ්ලිව්. අජිත් ඇන්ටන් පීරිස්, එම්. ජෝෂප් ට්‍රෝනි විජේන්ද්‍ර ප්‍රනාන්දු, ඒ. එම්. ඩොනල්ඩ් සමන්ත පීරිස්, ඒ. එල්. කොන්රාජ් රනිල් පීරිස්, එම්. ලියනගේ චමින්ද ඩික්සන් ප්‍රනාන්දු සහ අයි. සනත් ප්‍රසන්න ප්‍රනාන්දු යන පිරිසට ය.

මේ විත්තිකරුවන් සියලුම චෝදනාවලින් නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (15) නියෝග කළේය. මහාධිකරණයේදී විත්තිකරුවන් 10 දෙනකුට අධිචෝදනා ගොනු කර තිබුණද, නඩු විභාගය අතරතුර දෙවැනි විත්තිකරු මියගොස් තිබිණි.

මහාධිකරණයේ ගැටළුව

මහාධිකරණ විනිසුරුවරිය පැමිණිල්ලේ සාක්කි නිවැරදිව විශ්ලේෂණය කිරීමට අපොහොසත් වීම, පැමිණිල්ල මෙහෙයවූ සාක්කිවලට වඩා විත්තියේ සාක්කි අනුව නඩුව තීරණය කිරීමෙන් අපරාධය ඔප්පු කිරීමේ භාරය පිළිබඳව තමන්වම නොමඟ යවා ගැනීම, අභියාචකයන් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම මත වැරදිකරුවන් කරනු ලැබුවද නඩු තීන්දුවේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම ගැන සාක්කි සලකා බලා විශ්ලේෂණය කර නොතිබීම ආදී කරුණු 10ක් මෙම අභියාචනය යොමු කිරීමට පදනම් වී ඇත.

මෙම සිදුවීමේදී මියගිය පුද්ගලයාට බරපතළ කැපුම් තුවාල සිදු කිරීම පිළිබඳව ඇසින් දුටු ප්‍රධාන සාක්කිකරුවෝ තිදෙනෙක් වූහ. රවීන්ද්‍ර ප්‍රනාන්දු, මියුරින් කැලිස්ටා සහ ලසන්ත ප්‍රනාන්දු යන එම තිදෙනාගෙන් පළමු දෙදෙනා රටින් පිටවී ගොස් ඇතැයි කියමින් ඔවුන්ගෙන් මහාධිකරණයේදී සාක්කි කැඳවා නැත. ඔවුන් දෙදෙනා මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයේදී කළ ප්‍රකාශ සාක්ෂි ආඥා පනතේ 33 වගන්තිය යටතේ මෙම නඩුවේ සාක්කි ලෙස යොමු කර තිබිණි. ලසන්ත ප්‍රනාන්දු පමණක් මහාධිකරණයේ නඩු විභාගයේදී සාක්කි ලබාදී ඇත.

ලසන්ත ප්‍රනාන්දු යනු මිය ගිය ලයනල් ප්‍රනාන්දුගේ සහෝදරයා වන අතර, ඔවුහු මාරවිල, මූදුකටුව, සිංහගිරි මාවතේ ජීවත් වූහ. 2021 ජුනි 24 වැනිදා සවස 3.30ට පමණ තමන් නිවසින් පිටතට පැමිණි බවත්, රවීන්ද්‍ර ප්‍රනාන්දු සමඟ තම සහෝදරයා ලසන්ත නිවසින් පිටව යනු දුටු බවත්, 10-12ක පිරිසක් ඔහු ලුහුබඳිනු දුටු බවත් ලසන්ත ප්‍රනාන්දු තම සාක්කියේදී ප්‍රකාශ කර තිබේ.

හඳුනාගැනීමේ ගැටළුව

පළමු, තෙවැනි, පස්වැනි, හත්වැනි, නවවැනි සහ 10 වැනි අභියාචකයන් (මහාධිකරණ නඩුවේ විත්තිකරුවන්) තම සහෝදරයා පසුපස කඩු, තුවක්කු සහ පිහි අතැතිව ලුහුබඳිනු හඳුනා ගත් බව සාක්කිකාර ලසන්ත කියා තිබුණද, ඒ කුමන සැකකරු අත කුමන ආයුධයක් තිබුණේදැයි නිශ්චිතව සඳහන් කර නොතිබිණි. ඔහු නඩු විභාගයේදී හඳුනා ගනු ලැබුවේ පළමුවැනි වගඋත්තරකාර අජිත් සහ තෙවැනි වගඋත්තරකාර ජෙයරාජ් පමණි. කෙසේ වෙතත් නඩු විභාගයේදී සාක්කි මෙහෙයවූ රජයේ නීතිඥවරයා සාක්කිකරුගෙන් ප්‍රශ්න කරමින් හතරවැනි, හය වැනි සහ අටවැනි වගඋත්තරකරුවන් ප්‍රහාරය එල්ල කිරීමට කුමන ආයුධ රැගෙන ගියේදැයි ප්‍රශ්න කර තිබේ.
අජිත්, චමින්ද, පැට්‍රික් සහ උසාවියට නොපැමිණි තවත් අයකු තම සොහොයුරාට පහර දුන් අය ලෙස ඔහු නම් කර ඇතත්, විත්ති කූඩුවේ සිටි කිසිදු චූදිතයකු ඔහු විසින් නම් කරන ලද පුද්ගලයන් ලෙස හඳුනාගෙන නැත. සිද්ධිය වන අවස්ථාවේ බෝම්බයක් සහ පිස්තෝලයක් අතැතිව සිටි පුද්ගලයා ලෙස සාක්කිකරු හඳුනාගෙන ඇත්තේ ජෙරාඩ් නම් පුද්ගලයා ය. මිය ගිය පුද්ගලයාට පහරදීමට පෙර ඔහුට පහර දුන් පිරිස නිවසට පැමිණ ජනෙල්වලට පහර දී ඇති බවත්, සිද්ධියෙන් පසු තුවාල ලැබූ පුද්ගලයා (සහෝදරයා) රෝහල් ගත කළ බවත්, ඉන් මිනිත්තු කිහිපයකට පසු ඔහු මිය ගිය බවත්, මෙලෙස පහරදීමට හේතුව සිතාගත නොහැකි බවත් සාක්කිකරු වැඩිදුරටත් මහාධිකරණයේදී ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් හරස් ප්‍රශ්න ඇසීමේදී මහාධිකරණයේ සිටි පළමු, දෙවැනි, තුන්වැනි සහ සිව්වැනි විත්තිකරුවන් නිවසට පැමිණි පුද්ගලයන් ලෙසත්, පස්වැනි, හයවැනි, හත්වැනි, අටවැනි, නවවැනි සහ 10 වැනි විත්තිකරුවන් ගේට්ටුවෙන් පිට සිට නිවසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ලෙසත් සාක්කිකරු ප්‍රකාශ කර ඇත.

ලඝු නොවන නඩු විභාගය

මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයේදී සාක්කි ලබාදී ඇති රවීන්ද්‍ර ප්‍රනාන්දු නම් පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ කර ඇත්තේ එවකට සැකකරුවන් ලෙස නම් කර සිටි 11 දෙනාම තමා හඳුනන බවයි. ඒ වන විට සැකකරුවන් 11 දෙනකු නම් කර තිබුණත් හයවැනි සැකකරු ජූස් මාරියා ප්‍රනාන්දු මහේස්ත්‍රාත් විසින් මුදා හරිනු ලැබීය.

රවීන්ද්‍ර ප්‍රනාන්දු නම් සාක්කිකරු මිය ගිය පුද්ගලයාගේ නිවසේ ජීවත්වූ අයෙකි. ඔහු මහේස්ත්‍රාත් උසාවියේ ලඝු නොවන නඩු විභාගයේදී දුන් සාක්කියට අනුව සවස 3.45ට පමණ මිය ගිය පුද්ගලයා තම සහෝදරයකු වූ තුෂාර ප්‍රමාද වීම ගැන සොයා බැලීමට සාක්කිකාර රවීන්ද්‍ර ද ඔහු සමඟ ගොස් ඇත. සිංහගිරි මාවතේ කෙළවරට පැමිණීමටත් පෙරම 10-15ත් අතර පිරිසක් ලයනල්ට බනිමින් මරණ තර්ජන කරමින් පැමිණ ඇත. සාක්කිකරු ඔවුන්ගේ නම් වශයෙන්ම හඳුනාගෙන තිබේ. පසුව මිය ගිය පුද්ගලයා සහ තමා ඔවුන්ගෙන් බේරීම සඳහා යළි නිවසට පැමිණි බවත්, අසල්වාසී සුදු අක්කා ගේට්ටුව වැසීමට උත්සාහ කරද්දී මෙම පිරිස ඇයටද පහර දී ඇති බවත්, පළමු, දෙවැනි, තුන්වැනි, හතරවැනි සහ නවවැනි විත්තිකරුවන් එම පරිශ්‍රයට පැමිණ මිය ගිය පුද්ගලයාට පහර දුන් බවත් සාක්කිකාර රවීන්ද්‍ර ප්‍රනාන්දු කියා ඇත.

එම සාක්කිකරු විසින් සුදු අක්කා යැයි කී කාන්තාව දෙවැනි සාක්කිකාරිය වූ අතර, ඇය ලඝු නොවන නඩු විභාගයේදී ප්‍රකාශ කර ඇත්තේ මියගිය ලයනල් ගේට්ටුවෙන් ඇතුළු වූ පසු තමා ගේට්ටුව වැසීමට උත්සාහ කළ බවයි. පළමු, තුන්වැනි සහ හතරවැනි විත්තිකරුවන් නිවස පිටුපසට ලයනල් මරා දැමීමට ගිය පුද්ගලයන් බවට ඇය මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ හඳුනාගෙන ඇත. පළමු සහ තුන්වැනි විත්තිකරුවන් තවත් පිරිසක් සමඟ කඩු රැගෙන ගේට්ටුවෙන් පිටත රැඳී සිටිනු දුටු බව ඇය කියා තිබේ.

රවීන්ද්‍ර සහ සුදු අක්කා නම් සාක්කිකාරිය විදේශගතවී ඇති බව කියමින් මහාධිකරණයේ නඩු විභාගයේදී සාක්කි ලබාගෙන නැත.

ඇසින් දුටු සාක්කිකරුවන්ට අමතරව තවත් සාක්කිකරුවන් කිහිප දෙනකුද, විමර්ශනය කළ පොලිස් නිලධාරීන් සහ මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා ද නඩු විභාගයේදී සාක්කි ලබා දී ඇත.
මිය ගිය පුද්ගලයාගේ සිරුරේ තුවාල 12ක් අධිකරණ වෛද්‍යවරයා නිරීක්ෂණය කර තිබුණු අතර, එයින් පළමු, දෙවැනි, හතරවැනි සහ හත්වැනි තුවාල ලෙස හඳුනාගෙන ඇති තුවාල කැපුම් තුවාල බවත්, පළමු, දෙවැනි, හතරවැනි, පස්වැනි සහ අටවැනි තුවාල සිදුවී ඇත්තේ ප්‍රහාරවලින් බේරීමට උත්සාහ කරද්දී බවත්, හත් වැනි තුවාලය හිසෙහි සහ බෙල්ලේ කොටසකට සිදුවූ මාරාන්තික තුවාලයක් බවත් අධිකරණ වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

12 වැනි සාක්කිකරු පොලිස් නිලධාරියකු වන අතර, අපරාධය සඳහා යොදා ගත් කඩුව ගැන සාක්කි ලබාදී ඇත්තේ ඔහු ය. එවකට දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට පළමු වැනි වගඋත්තරකරු (මෙම නඩුවේ පළමුවැනි අභියාචක) ප්‍රකාශයක් ලබා දී ඇති බවත්, ඒ අනුව අපරාධයට භාවිත කළ කඩුව ගැන තොරතුරක් ලැබී ඇති බවත්, එවකට දංකොටුව පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් පෙරේරා දැන් කැනඩාවේ පදිංචිව සිටින බවත් 12වැනි සාක්කිකරු මහාධිකරණයේදී සාක්කි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත. එම සාක්කිකරුගෙන් රහස් ප්‍රශ්න විමසීමෙන් පසු සාක්කිකරුගේ මතකයේ ගැටළුවක් නිසා සාක්ෂි ආඥා පනතේ 159(2) යටතේ විමර්ශන සටහන් බැලීමට සාක්කිකරුට අවස්ථාව ඉල්ලා සිටි අතර මහාධිකරණය ඊට අවසර ලබා දී ඇත. ඉන් පසු නැවත සාක්කි මෙහෙයවා ඇති අතර ලංකාවේ නොසිටි එවකට පොලිස් ස්ථානාධිපතිගේ සටහන් ආශ්‍රයෙන් සාක්කිකරු පළමු වගඋත්තරකරු සම්බන්ධයෙන් සාක්කි ලබා දී ඇත.

පැමිණිල්ලේ ක්‍රියා පටිපාටිය

මෙවැනි අවස්ථාවක අනුගමනය කළ යුතු නිසි ක්‍රියා පටිපාටිය මෙය නොවන බැවින් මේ සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් අනුගමනය කරන ලද ක්‍රියා පටිපාටිය සමඟ එකඟ වීමට හැකියාවක් නැති බව අභියාචනාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇත.

පැමිණිල්ලේ සාක්කි අවසානයේ මහාධිකරණය පැමිණිල්ලෙන් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර ඇති බව සඳහන් කරමින් විත්තියේ සාක්කි කැඳවීමට තීරණය කර තිබේ.

විත්තිකරුවන් වෙනුවෙන් පළමු, පස්වැනි, හයවැනි, හත්වැනි, නව වැනි සහ 10 වැනි මෙම නඩුවේ අභියාචකයන් (මහාධිකරණ නඩුවේ විත්තිකරුවන්) ප්‍රකාශ ලබාදී ඇති අතර, මෙම නඩුවේ තුන්වැනි, හතරවැනි සහ අට වැනි අභියාචකයන් මහාධිකරණයේදී දිවුරුම් පිට සාක්ෂි ලබා දී තිබේ.
විත්තිය වෙනුවෙන් ජූස් මාරියා ප්‍රනාන්දු සහ ලීලාවතී නම් කාන්තාවක් සාක්කි ලබා දී ඇති බවත්, ජූස් මාරියා සියලුම විත්තිකරුවන් වෙනුවෙන් සාක්කි ලබාදී ඇතිබවත්, ලීලාවතී පළමු විත්තිකරු වෙනුවෙන් සාක්කි ලබාදී ඇති බව පෙනී යන බවත් අභියාචනාධිකරණය සඳහන් කර තිබේ. විත්තියේ සාක්කිකරුවකු වූ ජූස් මාරියා මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයේදී සැකකරුවකු ලෙස නම් කර සිටි අතර පසුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස ලැබීය.
මාරවිල රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ සෙනඟක් සිටි බවත්, ඔවුන් අතර මියගිය පුද්ගලයා හා ඔහුගේ සහෝදරයා ද සිටි බවත් ජූස් මාරියා කියා ඇත. ජූස් මාරියාට අනුව ඔවුන් ආයුධ රැගෙන යන අයුරුද ඔහු දැක තිබේ. ඔවුන් අසල වාහනය නවත්වා ඔවුන් සමාදානයෙන් ඔහු ඔවුන්ගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවත්, ඔහු තම වාහනයට නැගීමට සූදානම් වන විට තවත් කලබල ශබ්දයක් ඇසී හැරල්ඩ් හේරත් මාවතේ පිහිටි ස්ථානයට පැමිණි විට තුවාල ලබා සිටි පුද්ගලයා දුටු බවත්, මියගිය පුද්ගලයා රෝහලට රැගෙන ගොස් ඇත්තේ ඔහුගේ වාහනයේ බවත්, ඔහු කලබලය දෙසට යන විට කලින් සඳහන් කළ තුන්වැනි සාක්කිකරු පැමිණ “මගේ අයියා කවුරුන් හෝ කපලා. වාහනයක් අරගෙන එන්න” යැයි දැනුම් දුන් බවත් අභියාචකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාගේ ප්‍රධාන තර්කයක් විය.

මෙම සිද්ධිය වූ දිනය වන විට පළමුවන අභියාචක (මහාධිකරණ නඩුවේ පළමු විත්තිකරු) රිය අනතුරකින් තුවාල ලබා සුවවෙමින් සිටි බවත්, ඔහු සිටියේ තමාගේ නිවසේ බවත් ලීලාවතී නම් විත්තියේ සාක්ෂිකාරිය කියා ඇත.

මෙම අපරාධය සිදුවූ අවස්ථාවේ තමන් එම ස්ථානයේ නොසිටි බව සියලුම විත්තිකරුවන් (මෙම නඩුවේ අභියාචකයන්) ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ ඔවුන් වෙනත් ස්ථානවල සිටි බවත්, මියගිය පුද්ගලයාට මාරාන්තික තුවාල සිදුවූයේ කෙසේදැයි නොදන්නා බවත් ඔවුන් ප්‍රකාශ කර තිබේ.

වැරදි මගපෙන්වීමක්

මහාධිකරණ විනිසුරුවරිය ඔප්පු කිරීමේ භාරය විත්තිකරුවන් (මෙම නඩුවේ අභියාචකයන්) වෙත පැවරීම ‍පැහැදිලිවම වැරදි මගපෙන්වීමක් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥවරයා අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කරද්දී පිළිගත්තේය. 27 වැනි වගන්තිය යටතේ සාක්කි සම්බන්ධ ක්‍රියාපටිපාටිය වැරදි බව ද ඔහු පිළිගත්තේය.

අපරාධය වන අවස්ථාවේ තමන් එම ස්ථානයේ නොසිටි බව හා වෙනත් ස්ථානයක සිටි බව විත්තිකරුවන් සියලු දෙනා මහාධිකරණයේදී ප්‍රකාශ කර ඇතත්, පළමු විත්තිකරුගේ එම ප්‍රකාශය පමණක් පිළිගත හැකි බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා කියා තිබේ. අනෙක් සියලුම අභියාචකයන් (මහාධිකරණ නඩුවේ විත්තිකරුවන්) සිද්ධිය වූ ආසන්නයේ සිට ඊට යම් තරමකින් දායක වී ඇතැයි රජයේ නීතිඥවරයාගේ අදහස වී තිබේ.

අභියාචක අයිතිවාසිකම්

Related articles

කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක”

ජීවිත කාලයම කොළඹ නගර සීමාවෙ ජීවත් වුන කුමුදු ඇගේ ජීවිත මතක මේ පොතට අපූරුවට හකුළුවනවා. කොළඹ මතක පාඨකයාට...

‘ඇදුරාභරණ’ – නිමල් විජේසිරි

උසස් අධ්‍යාපනය සඳහා විදේගත වීම වර්තමානයේ විශේෂයක් නොව සාමාන්‍යයකි. එමෙන්ම මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබ ආචාර්ය උපාධිය සඳහා...

කලාගාරය තුළ Boney M සංගීතය ඇසීමට සලස්වමින් පැවති උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය

උපාලි ආනන්දගේ “කැළල” (SCAR) චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ මැයි මස 14, 15 සහ 16 තෙදින තුළ පවත්වන...

තිළිණා වීරසිංහගේ ‘මධු සමය අහිමි මංගල්‍ය’යෙන් දශක දෙකකට පසු

ඊයේ (17) තිළිණගෙ හවස, තිළිණා වීරසිංහ සහෝදරීගෙ මධු සමය අහිමි මංගල්‍ය කෘතිය පාදක කරගෙන ඇගේ නිර්මාණාවලිය ගැනම කෙරෙන...