නිදහසේ වැළලෙමු ! එක තැන පල්වුණු එකට නිදහස කියල කියන්නෙ කවුද?

Share post:

නිදහස් දිනේ ගැන මගේ සත දෙක මෙහෙමයි.
නිදහස කියන්නේ සංකේතාත්මක දෙයක්. ඒ නිසා ඒක සමරන්න ඕනි කියන එකට වලංගු බවක් තියනවා. හැබැයි ඇත්තටම ලාංකික නිදහසෙන් සංකේතවත් වෙන්නේ මොකක්ද මේ වෙද්දි?

ඔය නිදහස ගත්ත කියලනේ කියන්නේ. ලැබුණ කියලත් කියනවා. ඉතිං ඔය ”ගත්ත නිදහස” හෝ ”ලැබුණ නිදහස” ගැන හෝ කොහොමත් කවදත් ලොකු අදහසක් අපට තිබුණේ නැහැ. ගන්නේ කුමන නිදහසක් ද කියලවත් ඒ ගන්නා එකත් එක්ක මොකද කරන්නේ කියලවත් අපිට මාර්ග සිතියමක් තිබුණේ නැහැ (roadmap). කොහොමත් අපි දිව්වේ එදාවේල හොයාගන්න දතකන රටක් හැටියට.

එහෙම එදාවේල ටුවර් ගහගහ දිගුකාලීන යුද්දෙක පැටලුණා. ඔහොම පණනල ගැට ගහගෙන ඉන්නකොට තමයි කොරෝනයි, ආර්ථික අර්බුදෙයි, හොරු රැළයි එකට (අ )සම්බන්දවෙලා රට බිංදුවටම වැටුණේ.

දැන් සමරන්න යනවා. මොකක්ද සමරන්න තියෙන්නේ? නොහැකියාව, එදාවේලත් නැතිකම, රෝඩ්මැප් එකක් නැති කම, හොරුරැළ, උං ඔක්කොම යාළුවො කියන එක, පුළුවන් ඔක්කොම මේකෙන් චුතවෙනවා කියන එක, යන්න හදන එවුන්ටත් එයාපෝට් එකේදී බදුගහනවා කියන එක.

අපි දැන් නිදහසේ වැළලෙමින් පවත්න්නේ…

නිදහස කියන්නේ තමන්ගේම තීරණ ගන්න පුළුවන් අවකාශයක් හදාගන්න එකට. ලෝකය ගෝලයක් වුනාට අපි කවුරුත් දිහා බලාන ඉන්නෙත් නැතුව අපි දිහා කවුරුත් බලාන ඉන්නවා කියල හිතන්නෙත් නැතුව මින්පෙර කිසිදා නොසිතුව ගමනාන්තයක් කරා නිර්භීතව යන්න පුළුවන් එකට. ඒ තමයි මගේ නිර්වචනය.

අපි කළේ හිටපු තැන වළක් කපාගෙන වැළලුනා මිසක් අලුත් කිසිවෙක් නොගිය පාරක් හොයාගත්ත එකවත්, ඒ පාරේ ලස්සන ගමනක් ගිය එකවත් නෙවෙයි. වළේම වැළලුනා. වැළලුණ වළේ ලස්සන ගැන කවි ලිව්ව.

ඔය සමරනවා කියන්නේ වැළලුන වළ ගැන කවි කියන එකට. ඒ කවි අහන්න තමයි ස්ටේජ් ගහගෙන මිළියන ගණන් වෙන්කරගෙන ඔය සැරසෙන්නේ.

එකතැන පල්වුන එකට නිදහස කියල කියන්නේ කවුද?

ගමනක් යන්න නිර්භීත මිනිස්සු ඉන්න ඕනි. පාලකයෝ විතරක් නෙවෙයි මිනිස්සුත් නිර්භීත වෙන්න ඕනි. අවදානමක් ගන්න ඕනි.

මොනවා කරන්නත් සිහින තියෙන්න ඕනි….ඒ සිහින ඔස්සේ මනෝරාජික අත්පත් කරගන්න එකට (pursuit of utopia). ඒ සිහින ඔස්සේ මනෝරාජික අත්පත් කරගන්න කොන්දේසි විරහිත වෙන එකට.

රැඩිකල් කියන්නේ සිහිනයක අවසානය දක්වා යන එකට. අවසානය කියන්නේ අපි කවුරුවත් නොදන්නා තැනකට.
ටෙරී ඊගල්ටන් කියන්නේ නිදහසේ ‘ස්වයං සිද්ධ’ බවක් තියනවා කියල. ඒක සිදුවෙන්න ඕනි. සිදුවෙන්න නම් සිහින දකින්නන් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙන්න ඕනි.

එහෙම නැතුව ගෝල්ෆේස් එකේ කාලතුවක්කු පත්තු කළාට නිදහස් වෙන්නේ නැහැ සද්දෙට කපුටෝ ඉගිලෙනවා ඇරෙන්න.

මහේෂ් හපුගොඩ

Image@ Cast Away (2000)

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...