මහේස්ත්‍රාත්ට නීතිපති බලපෑම් කිරීම : නීතිඥ විරෝධතාවට එරෙහිව පොලිසිය උසාවියට කරුණු වාර්තා කරයි : හේතුව තීරණාත්මක නියෝග දෙක ද ?

Share post:

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමට එරෙහිව අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අසල පැවති සාමකාමී විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

නඩු අංක B/84532/01/23 යටතේ මෙසේ අදාළ විරෝධතාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එමගින් මහජන පීඩාවක් සහ මාර්ගය අවහිර කිරීමක් සිදුව ඇති බවයි. එසේ ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව ද එහි සඳහන් වෙතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. නුවන් බෝපෙගේ, ගුණරත්න වන්නිනායක සහ සේනක පෙරේරා යන නීතිඥවරුන් මෙහි වගකිවයුතු පාර්ශ්ව ලෙස දක්වා තිබේ. මාස කිහිපයක සිට ම විදේශගතව සිටින නීතිඥ සේනක පෙරේරාගේ නම ද මෙහි ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

‘කොන්දේසි විරහිතව පෙනීසිටිනවා’

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය අවධාරණය කරන්නේ සාමකාමී විරෝධතාවල යෙදීමේ අයිතිය අහිමි කිරීමට පොලිසියට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ ඉඩනොදිය යුතු බවයි. එසේ ම මෙමගින් නීතිඥවරුන් බියවැද්දීමේ නිර්ලජ්ජිත උත්සහයක් ගෙන ඇති බවත්, එම උත්සාහය පරාජය කිරීමට කොන්දේසි විරහිතව පෙනීසිටින බවත් එම සංගමයේ විධායක කමිටුව නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

පසුගිය 18දා කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව මගින් කළ බලපෑමකට එරෙහිව 19දා නීතිඥ සාමූහිකය මගින් මෙම විරෝධතාව පවත්වන ලදි.

නීතිපති බලපෑම

එදින අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත ඉදිරියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව කැඳවන ලදි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට බලපෑම් කරමින් ඉල්ලා සිටියේ මෙම නඩුව කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට මාරුකරන ලෙසයි.

ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ මීට පෙර නඩු වාරයේදී මහේස්ත්‍රාත්වරිය විසින් නඩුවේ සැකකරුවෙකු වන ගල්වැව සිරිධම්ම හිමියන්ට වැළඳී තිබූ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් විමසීමයි.

පක්ෂපාතී හැසිරීමක් ?

ඊට අදාළ ව මහේස්ත්‍රාත්වරියගේ හැසිරීම පක්ෂපාතී බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකු දිවුරුම් ප්‍රකාශ ලබාදී ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම ඉටුකිරීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු නොකරන්නේ නම් එම දිවුරුම් ප්‍රකාශ ඉදිරි කටයුතු සඳහා අධිකරණ සේවා කොමිසමට ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළේය.

නීතිමය රාමුවට පිටින්

මෙහිදී වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ බලපෑම් සහගත ඉල්ලීමට විරෝධය දක්වමින් පැවසුවේ මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරුකිරීමට අවශ්‍ය නම්, එය අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදන අනුව නීත්‍යනුකූල ව කළ යුතු බවයි. එසේ නොකොට නීතිමය රාමුවට පිටින් අධිකරණ නිලධාරීන්ට මෙසේ බලපෑම් කිරීම පිළිගත නොහැකි බව ද ජනාධිපති නීතිඥවරයා එහිදී අවධාරණය කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ මෙම හැසිරීමට එරෙහිව අදාළ විරෝධතාව පැවැත්විණි.  

තීරණාත්මක නියෝග 02 !

මීට පෙර 2022 නොවැම්බර් 11 සහ 12 දිනවල කැඳවන ලද වසන්ත මුදලිගේ නඩුව අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග 02ක් ලබාදෙන ලදි. ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන මීට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසත්, දැනට සිදුකරන ලද විමර්ශනවල ප්‍රගතියට අදාළ වාර්තාවක් ලබාදෙන ලෙසත් ය. මෙම නියෝග 02 ලබාදීමෙන් පසු ඊළඟ නඩුවාරයේදී නඩුව වෙනත් අධිකරණයකට මාරුකිරීමට නීතිපති පාර්ශ්වයෙන් අදාළ තීරණාත්මක මැදිහත්වීම සිදුකරන ලදි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...