කොළඹින් දුර බැහැරක ජිවත්වෙමින් නිර්මාණ කටයුතු කරන ලේඛිකාවකට ,ඇය ජිවත්වෙන්නෙ වෙල්ලස්සේ බිබිල නගරය ආශ්‍රිතව, ලාංකීය ඉතිහාසයේ වඩා වැදගත් සිදුවිම් රැසකට පාදක වුන ප්‍රදේශයක. ඇය ලියන පලමු නවකතාව, කෘතියක් වීමට පෙර තිරරචනයක්ව පසුව ටෙලි නාට්‍යයක් බවට පත්ව ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නට සමත් වෙනවා, ඒ චලෝ නමින් විකාශ වු බව ඔබට මතකයේ ඇති, ඉන් පසුව ඇය ලියු මීනු ටෙලිනාට්‍යයත් ඔබ නරඹන්න ඇති. ඇය ලියු තිරරචනයන් කිහිපයක් ඉදිරියෙදි ටෙලිනාට්‍යයන් බවට නිර්මාණය වීමට නියමිත බවත් සදහන් කළ යුතුය. ඇය මේ වන විට නවකතා සහ වෙනත් සාහිත්‍යය නිර්මාණයන් පහළොවකට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඇය ලියු ‘චලෝ’ නවකතාව සහ ‘උදුන් දොරින් ආ දේවි’ නවකතා ද්විත්වය නුදුරේදීම ඇයගේ ප්‍රකාශය ආයතන වන අසි ප්‍රකාශයනයක් ලෙස එළිදැක්වීමට සුදානම්.
ලේඛිකාවක් ,තිරරචිකාවියක් වගේ ම වෘත්තියෙන් මොනරාගල, යකුන්නාව මහා විද්‍යාලයේ ගුරුවරියක් ලෙසද සේවය කරන ඇය ගයානි අසිංසලා පියදිගම වේ.
මේ ගයානි සහභාගි වු interview එකක්.
ඔබ ලේඛිකාවන් වෙන්න ඕන කියන අදහස ආවේ කොයි කාලයක ද?
දැනුම් තේරුම් ඇති වයසක නෙවෙයි මම ලියන්න පටන් ගත්තේ. ඉස්කෝලේ හත අට වසරවල් වෙන කොට, මිහිර, විජය වගේ ළමා පුවත්පත් වලට කවි ලියන්න, පුංචි පුංචි කතන්දර ගොතන්න මගේ ලොකු කැමැත්තක් තිබුණා. ඒ කාලෙදි ඒ පුවත්පත්වලින් මගේ නිර්මාණ වලට ලැබුණ තැන සහ ඇගයීම වගේම පාඨකයින්ගෙන් ලැබුණ ප්‍රතිචාර, නිර්මාණ සඳහා වැඩි වශයෙන් මාව පොළඹවන හේතුවක් වුණා. ඒ විදිහට තමයි මගේ නිර්මාණ පස්සෙ කාලෙක පොත් විදිහට පළ කරන්නත් දිගින් දිගටම නිර්මාණකරණයේ යෙදෙන්නත් මට අදහස ඇති වුනේ.
ලිවීම සම්බන්ධව ඔබ ඔබටම ආවේණික අධ්‍යයනයක යෙදුන ද?
මුල් කාලයේ ඒ වගේ අදහසක් නැති උනත් පස්සේ විවිධ නිර්මාණකරණයේ යෙදෙන අතරතුර මට ආවේණික භාෂා රටාවක් යොදා ගන්න මම හැමවිටම උත්සහ කළා.විශේෂයෙන්ම මම ජීවත් වන ප්‍රදේශය ආශ්‍රිත ප්‍රාදේශීය ව්‍යවහාරය මගේ අනන්‍යතා ලක්ෂණය වශයෙන් පසුකාලීනව මගේ නිර්මාණ තුළින් එළියට ආවා. එහි ඇති විශේෂත්වය වගේම පාඨකයාට වැඩිපුර සමීප නොවුන භාෂාවක් නිසාම එය වඩාත් ජනප්‍රිය වුණා. මගේ පළමු ටෙලිනාට්‍ය නිර්මාණය චලො තුළින්ද ඒ මට ම අනන්‍යය වූ භාෂා ව්‍යවහාරය තුළ ප්‍රේක්ෂකයා ඉතා කැමැත්තෙන් එය වැළඳ ගත්තා.
තිරරචනය සම්බන්ධයෙන් ඔබේ අධ්‍යයන මොන වගේ ද..?
තිර රචනය ගැන මම පිවිසෙන මුල් කාලයේ දැන් වගේ කිසිදු මාධ්‍යයකින් තිර රචනා කලාව පිළිබඳ ඉගැන්වීමක් නිවැරදිව සිද්ධ වුණේ නෑ. වර්තමානය වන විට විවිධ, අය විවිධ ආකාරයෙන් තිර රචනා කලාව පිළිබඳ ඉගැන්වීම් කටයුතු කරනවා. නමුත් විෂයක් විදිහට කෙරුණු ඉගැන්වීමක් හැරුන කොට ප්‍රායෝගික අත්දැකීමක් ලබාගන්න අවස්ථාව ලැබුණේ තිර රචනා කලාවට පිවිසුන පසුව. ඉතින් මම හිතන්නේ මම සතතාභ්‍යාසය මගින් ම තමයි තිර රචනා කලාවේ විවිධ මානයන් හඳුනාගත්තේ කියලා.
ඔබ තිරරචනයක් ලියන්න පෙර සුදානම මොන වගේ ද?
මුලින්ම මම කතා සාරාංශයක් දක්වා නිර්මාණය විහිදී යන ආකාරය එකට ගොනු කිරීමක් කරනවා විවිධ චරිත හඳුනා ගනිමින් එහි ඉදිරිය සහ අවසානය මොන වගේ පැත්තකට ගෙන යා යුතුදැයි තීරණය කරනවා. ඇතැම් වෙලාවට නිර්මාණ ශිල්පීන් පවා අඳිමින් ඔවුන්ගේ විවිධ චරිත විලාශයන් අධ්‍යනය කරමින් එයින් මගේ නිර්මාණයට ගත හැකි උපරිම දායකත්වය ගැන මම සැළකිලිමත් වෙනවා. විශේෂයෙන් ලංකාව වගේ රටක තියෙන සීමිත පහසුකම් හා නිර්මාණය සඳහා අවශ්‍ය පසුබිම ඉතා සීමා සහිත වීම නිසාම තිරරචනයක් ලිවීමේදී ඒ සියලු දේ ගැනම හිතන්නට අපට වෙලා තියෙනවා.
චලෝ මුලින්ම තිරරචනයක් ලියා පසුව නවකතාවක් කරන්න හිතුවේ ඇයි?
චලෝ ඇත්තටම මුලින් නවකතාවක්. එහි පසුබිම සහ කතාව මම නිර්මාණය කරලා ගොඩනගාගෙන තිබුණේ නව කතාවක් හැටියට. ඒක මගේ ප්‍රදේශයේ මගේ පාසැලක සිදුවුන සත්‍ය සිදුවීමක් පාදක කරගත්ත කතාවක් උන නිසා, පස්සේ අහම්බෙන් අඳුන ගත්ත එහි අධ්‍යක්ෂක හසුන් සමීර මහතාගේ ඉල්ලීමක් පරිදි තමයි එය තිර පිටපතකට නැගුනේ. ටෙලි නාට්‍ය විකාශය වී අවසාන වූ පසුව මම නවකතාව එළිදක්වන්න අදහස් කළා.
ඔබ වර්තමාන ටෙලි නිර්මාණ ගැන අදහස මොකක්ද ?
හොඳ නිර්මාණ බිහිවෙනවා සම්මානණීය නිර්මාණ ප්‍රේක්ෂකයින් දකින්න ලැබෙනවා. බාහිරින් පෙනෙන දෙයට වඩා තිරයෙ ප්‍රේක්ෂකයා දකින දේට වඩා ඉතා දැවැන්ත කාර්යභාරයක් මේ නිර්මාණ පසුපස තියෙනවා. ඒ සඳහා දායක වන නිර්මාණකරුවන් ඉතා විශාල අපහසුතා මැද හැකි උපරිමයෙන් හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන් වෙත දායාද කරන්න මහන්සි වෙනවා. වර්තමානයේ ටෙලි නාට්‍ය නිෂ්පාදන කාර්යය කියන්නේ ඉතාමත්ම අසීරු කාර්යයක්. නිෂ්පාදන කටයුතු සිදු කිරීම ඉතා වටින දෙයක්, මේ කාලයේ හැටියට.
ලංකාවේ සාහිත්‍යය කරුවෙක්ට සමාජ බලපෑමක් කරන්න පුලුවන් ද?
වර්තමානයේ අනිවාර්යෙන්ම, ලෝකය හැම කාලවකවානුවක ම විවිධ වෙනස්වීම් පරිවර්තන වලට ලක් කිරීමට සාහිත්‍ය පෙර ගමන් කරුවෝ වුණා. තුවක්කුවකින් කරන්න බැරි දේ පෑනකට කරන්න පුළුවන් කියන අදහස ඉදිරිපත් වුණෙත් ඒ අනුව. සාහිත්‍ය නිර්මාණ තුළින් පුළුවන් සමාජයේ ඔලු නිර්මාණය කරන්න. පුද්ගලයාගේ සිතුවිලි පරිචය දියුණු කරන්න. ඔහු හිතන විදිය වෙනස් කරන්න. ඕනෑම නිර්මාණයකින් හදවත කම්පනය වන සංවේදී මිනිසුන් බිහි වීමට නම් සමාජය තුළ සාහිත්‍ය අනිවාර්යෙන්ම පැවතිය යුතුයි. ඇතැම් විට සමාජයේ විවිධ කාල වකවානු තුළ සිද්ධ වෙන දේවල් වල දී මිනිසුන් තමන්ගේ මානසික සහනය උදෙසා සාහිත්‍යය ගත්තා. ඒ නිසා සාහිත්‍ය සමාජයට ඉතාම වැදගත් බලපෑමක් කරනවා.
ඔබ ඉතිහාසය සම්බන්ධව කතන්දර ලියනවා නේද ඒ ගැන අදහස මොකක්ද ?
ඉතිහාසය කියන්නේ රසගුලාවක්. අපිට හිතා ගන්නවත් බැරි විදිහේ අපුරු කතන්දර ඉතිහාසය තුළ ගැබ්වෙලා තියෙනවා ඉතින් මේ දේවල් හොයන්න හොඳ ගවේෂණශීලී මනසක් තියෙන්න ඕන. මම හරිම කැමතියි ඉතිහාසයේ තියෙන ඒ රස මුසු තැන් හාරා අවුස්සලා විවිධ නිර්මාණ වලට යොදා ගන්න. එහිදී භාවිත කරන භාෂාවේ තියෙන වෙනස සහ ඒ ඒ යුගවල පවතින විශේෂතා එක්ක නිර්මාණයක් ගොඩනැගුණා ම එය පාඨකයාව අපූරු ලෝකෙකට අරගෙන යනවා.
ඔබ ජිවත්වෙන්නේ ඉතිහාසයේ වැදගත්ම බිමක ඔබේ නිර්මාණයන් සදහා ඒ බිමෙන්ම ද ප්‍රස්තුත සොයා ගන්නෙ.
අතීතයේ උදුන්දොර රාජධානිය නැතිනම් ඌව වෙල්ලස්ස කියන වීරයින්ගේ රුධිරයෙන් තෙත් වුණ බිමක තමයි මම ජන්ම ලාභය ලැබුවේ. ඉතින් ඒ මහපොළොව පවා මහා කතන්දර රැසකට උරුමකම් කියපු පින්බිමක්. අතීතයේ සිට මේ දක්වාම ලියූ නොලියූ කතා බොහොමයි. තවමත් සොයා ගැනීමට අපහසු වූ කාලයේ වැලි තලාවෙන් වැසී ගිය කතන්දර රැසක් මේ පින් බිමේ නිහඬව මිහිදන් වෙලා තියෙනවා. ඉතින් මගේ උත්සාහය මට හැකි උපරිමයෙන් එවැනි අතීත උරුමයන් නිර්මාණශීලීව වර්තමාන පාඨකයාට සමීප කිරීම.
නුතන සමාජය ඔබ වටහා ගෙන තියන්නෙ කොහොම ද?
නූතන සමාජය ගැන බැලුවම ඉතාම සංකීර්ණ ජීවන වටපිටාවක් එක්ක පෙළ ගැහුන පුද්ගලයින්ගෙන් සමන්විතයි ,විශේෂයෙන්ම නවීන තාක්ෂණය අතට ලැබීමත් එක්ක වර්තමාන සිසු පරපුර පවා කලාව සාහිත්‍යය ඇසුරෙන් ඈත් වෙමින් සිටිනවා. පොතක් කියවීමට හොඳ ගීතයක් රස විඳීමට හොඳ කවියක් රස විඳීමට යොමුවන පිරිස ඉතාම සීමිත ප්‍රමාණයක් දක්වා පසුබැස තියෙනවා. ඒකට නිර්මාණකරුවන් ද එක්තරා පසෙකින් වගකිව යුතුයි. එසේම හොඳ නිර්මාණ රසවිඳීමට සමාජය පෙළඹිය යුතුයි. මේ දෙකම සමතුලිතව කියන්න දවසක සමාජය මීට වඩා යහපත් තැනකට ගෙන එන පුළුවන් කියලා මම විශ්වාස කරනවා.