[මෙම සටහන අද දිනට ( එනම් 2023 ජනවාරි 14 වැනි දිනට ) යෙදෙන මෙරට ගෙවීගිය විසිවැනි සියවසේ දිවිගෙවූ අද්විතීය කලාකරුවකු වූ මහගම සේකරගේ හතලිස්හත්වැනි ( 47 ) ගුණානුස්මරණය වෙනුවෙනි.]
1929 අප්‍රේල් මස 07 වැනි දින සියනෑ කෝරළයේ රඳාවාන ගම්මානයේ දී මෙලොව එළිය දුටු මහගම සේකර
( 1929 – 1976 ) කිරිඳිවැල රජයේ මිශ්‍ර පාසැලෙන් මූලික සිප් සතර හදාරා, සිංහල ගුරුවරුන් සදහා වූ චිත්‍රකර්ම විභාගයෙන් සමත් වූයේය. ඉක්බිතිව නිට්ටඹුව ගුරු විදුහලෙන් පුහුණුව ලැබ පුහුණු ගුරුවරයකු වශයෙන් රාජගිරිය හේවාවිතාරණ බෞද්ධ මිශ්‍ර පාසැලෙන් තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඉන් නොනැවතුණු ඔහු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයකු වශයෙන් ද ගුවන් විදුලි සංස්ථාවේ වැඩ සටහන් සම්පාදකයකු වශයෙන් ද රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පති වශයෙන් ද එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ නිළධාරියකු වශයෙන් ද සේවය කළේය.
කවියකු ,ගේයපද රචකයකු, නවකතාකරුවකු ,කෙටිකතාකරුවකු, පරිවර්තකයකු, චිත්‍ර ශිල්පියකු , කංචුක නිර්මාණ ශිල්පයකු,නාට්‍ය රචකයකු හා සිනමාකරුවකු වූ සේකර මෙරට තුළ වඩාත්ම කතාබහට හා ගරුත්වයට පත්ව ඇත්තේ විශිෂ්ට කවියකු හා ගේයපද රචකයකු වශයෙනි.
නූතන සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ ජන කවි ආරත් “නිසැදෙස්” ( Free Verse ) ආර මනාව සංකලනය කොට ගෙන තම කාව්‍යකරණය විචිත්‍රවත් කරගත් මෙරට පුරෝගාමියකු කවියකු වශයෙන් සැලකෙන සේකර විසින් රචනා කරන ලද කාව්‍ය සංග්‍රහය අතර ව්‍යංගා ( ආචාර්ය කේ .ජයතිලක සමඟ ) – 1960, සක්වාළිහිණි – 1962 , හෙට ඉරක් පායයි – 1963 , මක්නිසාදයත් – 1964, රාජතිලක, ලයනල් හා ප්‍රියන්ත – 1967, බෝඩිම – 1970, නොමියෙමි – 1973 , ප්‍රබුද්ධ – 1977 යනාදිය ඉතා ප්‍රකට ය.
කොළඹ කවි යුගයේ දෙවැනි කවි පරම්පරාවට අයත් මහගම සේකර
තම සමකාලීන කවියන් අතර වෙසෙසින්ම සුවිශේෂී වන්නේ කාව්‍ය මාධ්‍යයට තමාටම ආවේනික වූ ධ්වනිතාර්ථ විශද වන ආකාරයෙන් ආඛ්‍යානූරූපී කාව්‍ය රටාවක් මෙරට නූතන කාව්‍යයට හදුන්වා දෙනු ලැබූ නිසාය.කාව්‍යයේ ආකෘතිය අතින්ද එහි වස්තු විෂය අතින්ද වෙනසක් සදහා තමාට අනුරූපීව විවිධ අත්හදා බැලීම් කරන ලද සේකරගේ කාව්‍ය එහිලා විශාල බලපෑමක් කළ බව අවිවාදිතය.
සේකරගේ පරිකල්පනයෙන් බිහිවූකාව්‍ය කෘතීන් අතර ඔහුගේ අග්‍රගන්‍ය කාව්‍ය කෘතිය වනුයේ ප්‍රබුද්ධ – 1977
ය. “නිදහස් කාව්‍ය” රීතිය ඉතා ප්‍රබල මෙන්ම ව්‍යක්ත ආකාරයෙන් උපයෝගි කොට ගෙන රචනා කර ඇති ප්‍රබුද්ධ ජීවිතයේ පරමාර්ථය සොයා කරන ඉතා සියුම් එනමුත් ගැඹුරු ගවේශණයක් වැනිය. ගැමි ජන වහර, ගත් වහර හා පුර වහර සම්මිශ්‍රණය කර ගනිමින් උපදවාගත් ඉතා විචිත්‍රවත් රචනා ගෛලයකින් සමන්විත වූ මෙමගින් මිනිස් ජීවිතයේ ගැඹුරු ඇතුළාන්තය පිළිබඳව හා බෞද්ධ චින්තනයෙන් පෝෂිත කවියාගේ ශික්ෂිත දෘෂ්ටි කෝණයෙන් උපේක්ෂා සහගතවද ඉතා සියුම්වද ලොව දෙස බැලීමේ හැකියාවද මැනවින් ප්‍රකට වන්නේය.ඊට කදිම උදාහරණයකි මේ …..
නාවර පෙරෙන හොටු
ඇඳ නෙක වැරහැලි කිලුටු
කැහැටු දරුවෝ සිටිත්,
මුඩුක්කු දොරකඩට විත්
පයිප්පයෙන් උනන මළකඩ වතුර
ගලා යයි තෙමා ගෙන මහ පාර
ටිං කබල් -හෙළු ළමයි -රානි සබන් කැට
නාන – ඇඟ හෝදන
තරබාරු ඇඟපත උලන
ගෑනුන්ගේ පිරිමින්ගේ රළු කැහි
ඉලිප්පී යයි සුදට
ගනකමට දියපාර මතුපිටින්:
පාරට විසි කළ
කෙසෙල් ලෙලි හා මාළු කොරපොතු
ඉඳුල් බත් උළු කැලි කසල
තෙමි පෙඟී දියෙන්
නඟයි අප්පිරියාවක්
නගා පයිප්පයෙන්
උලා රානී සබන් ඇඟ
පා ලා දුබල රන්වන් පාවහන්
පොතක් සම් බෑගයක් ගෙන අතින්
දත දෙපය නිය තොල් තද රතින් රත් කොට
උලා වත්සුනු වතෙහි ගනකමට
දවටා ගත දිලිසෙන වයිවර්ණ සාරිය
අම්මා බැස්සා මඟට
ගොම්මං වෙලාවට
රෑ වැඩට යාමට .
( ප්‍රබුද්ධ 43/44 වැනි පිටු )
මෙම කාව්‍ය තුළින් …. කිනම් හෝ ආකාරයකින් භෞතික සම්පත් පසුපස හඹා ගියද, මිනිසා පසුපස හඹා
එන ව්‍යසනයන් නොඑසේනම් දුක්බ දෝමනස්ස සහිත ව්‍යාකූල අසහනකාරී ජීවිතය ( ප්‍රබුද්ධ කාව්‍යයේදී මෙය
කවියා විසින් හදුන්වා ඇත්තේ “විෂම ලෝකය” යනුවෙනි. – කර්තෘ ) කවියා ඉතා සියුම්ව දකියි. බෞද්ධ දර්ශනය ඇසුරෙන් තම ජීවන දර්ශනය පෝෂණය කරගන්නා කවියා එය සමාජය සංකීර්ණත්වය තුළින් ඉදිරිපත් කරන්නේ පොදු දහමක් වශයෙනි.
“කවියකු අතින් ලෝකයට ධාර්මික අදහස් ලැබිය හැකිය, යන්න සනාථ කරමින් මෙන් මහගම අවසාන ප්‍රබන්ධ චින්තාවලිය මෙසේ පරිපාකයට ගෙන එයි. ඔහුගේ සංකල්ප හා ඔහුගේ ප්‍රාර්ථනා අතිශයින්ම ප්‍රසංශනීය වේ” .
—– මහාචාර්ය ජෝතිය ධීරසේකර
( ප්‍රබුද්ධ – පෙරවදන )
“මහගම සේකරයන්ගේ පරිණත කවීත්වයේ අග්‍ර ඵලය ප්‍රබුද්ධ කාව්‍යයි.”
—– මහාචාර්ය විමල් දිසානායක
( ප්‍රබුද්ධ – පසුවදන )
විශේෂ සටහන් ————–
1.මහගම සේකර තමාගේ දෙවැනි චිත්‍රපටය ලෙස තම “ප්‍රබුද්ධ” කාව්‍යය සිනමාවට නැගීමට
බලාපොරොත්තුවෙන් සිටි බව කියැවේ. එනමුත් දෛවයක තරම. ඔහුගේ අකල් මරණය ඊට හරස් විය.
නොඑසේනම් අපට ඔහුගේ කුළුඳුල් චිත්‍රපටය වන තුංමංහන්දිය – 1969
මෙන් වූ ඉතා නැවුම්වූද ,යථාර්තවාදීවූද එසේම ඉතා සිනමාත්මකවවූද අගනා චිත්‍රපටයක් නැරඹීමට අපට අවස්ථාව උදාවන්නට ඉඩකඩ තිබුණි. එසේම තවත් විශිෂ්ට චිත්‍රපටයක් මෙරට සිනමාවංශයට ද එක්වීමටත් බොහෝ ඉඩකඩ තිබුණි.
2.මගේ පෞද්ගලික කියවීමට ( My Personal Reading ) අනුව නම්,මහගම සේකර වූ කලී තුන්කල් දැක්මකින් හෙබි අතිශයින්ම නූතනවාදී නිර්මාණකරුවෙකි. එය වඩාත් හොදින් අර්ථවත්වනුවේ … ඔහුගේ කාව්‍යකරණය තුළිනි. කිනම් හෝ ආකාරයකින් ඔහුගේ සාහිත්‍ය නිර්මාණය ලොව ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී ජාත්‍යන්තරය කරා ගියා නම්, ඔහු පිළිබඳව මුලුමහත් ලෝකයක් කතා කරනු ඇත. එසේම ඔහුගේ සාහිත්‍යය නිර්මාණ රසවිඳිනු ඇත.
3.මවිසින් මෙහි මහගම සේකර මහතාගේ ජීවිතය සම්බන්ධ ඉතා වටිනා ඡායාරූප පෙළක් අන්තර්ගත කර ඇත්තේ ය. එම ඡායාරූපවල පූර්ණ අයිතිය මහගම සේකර පවුලේ උදවිය සතුවන බව කරුණාවන්ත සලකන්න .එසේම මෙම ඡායාරූප අවභාවිත කිරීමෙන් වැළකීම ඔබ සතුය .
4.මෙම ප්‍රබුද්ධ කාව්‍යය පිළිබඳව මෙන්ම මහගම සේකරගේ නිර්මාණකරණය පිළිබඳව මවිසින් විටින්විට රචිත දිගු විවරණ සහිත ලිපි කීපයක්ම මගේ මුහුණු පොතේ වූ ගිණුමේ ( Profile ) හා මගේ ශාස්ත්‍රීය සඟරාව වන “සාරාර්ථ දීපනී”හි තැම්පත්ව ඇත. අවැසි අයෙකු සිටිත් නම්,ඒවා කියවා බලනු මැනවි.