සේකර ,
නුඹ එදා
ඇසූ පැනය
අහන්න තාමත් කල් වැඩිය.
” වික්ටර්
බතක් – වතක් – ගෙයක් – දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකිද?
අසහනයෙන් මිදිය හැකිද?
සංසාරේ නිරංතරව තැවරී ඇති
දුක එතකින් නිමා වේද?”
සේකර
තවමත් අපට
බතක්
වතක්
ගෙයක් දොරක්
රස්සාවක්
දුරයි..
වඩා දුෂ්කරයි ජීව්තය.
පරම්පරාවෙන් ශේෂ වුණු
කටු පොකුරු පමණක්ම දරාගෙන
මල් සම්පත, පල සම්පත
නෙළන රජ මැති වෙළඳ දන
දෙස බලා සිටියෙමු.
ගස්
ගල්
පිළිම වැඳගෙන
සිටිනු විනා
නුඹගේ දාර්ශනික පැනය
තාමත් බර වැඩිය.
සේකර,
හොඳම දවසක් එනවා ඇත්තයි
අපිත් ලෝක යායට එදා එක්වෙයි
හැම කටු තුඩකටම මලක් වෙන් වෙයි
අපි යළි මුණ නොගැහෙන්න කාරණා ඇයි.
ජයන්ත කහටපිටිය
2023 /01/ 14