ඓතිහාසික කතාන්දර, මත, මිත්‍යා කතා ඇසුරින් කෙරෙන සාහිත්‍ය නිර්මාණවලදී නිර්මාණකරුවා වෙත අමතර අභියෝගයක් පැටවෙයි. එනම්, ඉතිහාසය ගැන එතෙක් පැවති අදහස වෙනුවට නව අදහස් මතුවන පරිදි නිමැවුම කිරීමට කරනු ලබන පරිකල්පනය වෙනුවෙන් නොබියබව වඩවාගැනීමයි. වෙඩිවර්ධනගේ මේ ලකුණ දැකිය හැකි කෙටිකතාවකි, ‘ගිමන් හරින්නා සහ අශ්ව හිස’.
මංජුල වෙඩිවර්ධනගේ ‘ශුද්ධ වූ ජුදාස්’ කෙටිකතා සංග්‍රහය අප කියවන්නට යෙදී කලක් ගතව ඇති මුත්, සැරින්සැරේ ඇවිත් හිතේ නටන්නට ගත් එක් කෙටිකතාවක් වෙයි. ඒ මේ ‘ගිමන් හරින්නා සහ අශ්ව හිස’යි. එක් පසෙකින් කැටයම් කලාවටද, අනෙක් පසින් ඉතිහාසයට ද, සාහිත්‍යයට ද සබඳකම් කියන ඉසුරුමුණි පෙම් යුවළත් – මිනිහා සහ අශ්ව හිසත් තේමාවට ගනිමින් ලියා ඇති මේ කතාව අප යලිත් වරක් කියවන්නට යෙදුණේ ඊයේ ය. ඒ අනුව මෙහි ස්ථර ගලවා බලන කල, සමස්ත කෙටිකතාව අතුරු කතා නොඑසේ නම් මත හතරක් ඔස්සේ ගළපා ගත හැකි බව පෙනෙන්නට තිබේ.
- ගිමන් හරින්නා සහ පෙම් යුවළ සම්බන්ධයෙන් පවතින ඓතිහාසික මත
- ‘ගිමන් හරින්නා’ එනම් තරුණයා එම කෙටිකතාවේ ප්‍රධාන චරිතයව හිඳිමින් ගොඩනංවන උපකල්පන කතාව
- ගිමන් හරින්නා මුහුණ දෙන සැබෑ කතාව
- පාඨකයා ගොඩනගාගන්නා පරිකල්පන කතාව
මේවායින් පළමුවැන්න, මේ කැටයම් ගැන පවතින ඓතිහාසික මත ය. මේවා යම් තරමකින් හෝ අප අසා ඇති බැවිනි, ගිමන් හරින්නා ගොඩනගන කතාවෙන් අපි පළමු කියැවීමේ දී සසැලෙන්නේ, මුල් අදහස(ඓතිහාසික මත) වෙනස් කරවන අදහස් කතාව තුළ කියවෙන්නේ. ඉසුරුමුණි පෙම්යුවළ ගැනත්(සාලිය-අශෝකමලා, ශිව-පාර්වතී, සිද්ධාර්ථ – යශෝදරා, කුවේරා-වසුන්දරා..), ගිමන් හරින්නා සහ අශ්ව හිස ගැනත්(කපිල සෘෂිවරයා, පර්ජන්‍ය දෙවි සහ අග්නි…) සම්බන්ධයෙන් එතෙක් පැවති මත විමසුමේදී පෙනෙන කරුණ නම්, එම කැටයම් පොදුවේ විශේෂ, රාජකීය, ප්‍රභූ තලයේ අය වෙනුවෙන් වෙන්ව තිබූ බවයි. පැහැදිලිව කියතොත්, මේවා සාමාන්‍ය මිනිසුන් ගැන නිරූපණ නොව රාජකීය පුද්ගලයන්ගේ නිරූපණය වැනි අහසක්, ඉතිහාසය මගින් අප සිත්වලට කවා පොවා තිබූ බවයි. වෙඩිවර්ධන සිය ශිල්පය පාන්නේ මෙතැනදීයි. එක් අතකින්, ඉතිහාසය එම කෝවේ ම නොතබා තම සිතැඟි පරිද්දෙන් අලුතෙන් සිතීමකට ලක් කිරීමට කතුවරයා නොබිය වේ. විශේෂයෙන් ප්‍රභූ, පාලක, රාජකීය මතයෙන් (ඉසුරුමුණිය) මුදවා නිර්ප්‍රභූ අදහසක් වෙත නොඑසේනම් පොදු මිනිස් ජීවිත වෙත එමින් ඉතිහාසය සාමාන්‍යකරණයට ලක්කරමින් කතාව ගෙන එයි.
[ “නිර්ප්‍රභූකරණයට ලක් නොවුණු ඉතිහාසයක් යනු ඥාණ විභාගාත්මකව අපව ඛණ්ඩනය නොකරන, එබැවින් කිසිවක් උපයා නොදෙන ජීවිකාවකි” – කේ.කේ.සමන් කුමාර | සාහිත්‍ය ශානර විමංසා ]
අනෙක් අතින්, සත්‍යය කුමක් ද කල්පිතය කුමක් ද යනුවෙන් පාඨකයා හෝන්දුමාන්දු වේ. එකම කතාව තුළ පරිකල්පනීය කතා දෙක තුනක් ඇති නිසා පාඨකයා ඒවා වෙන වෙන ම රැගෙන ගළපාගන්නට යෑමෙන් පඹගාලක පැටලේ. ගිමන් හරින්නා කියන කතාව, ඔහුගේ ඇත්ත කතාව සහ ඔහු නොකියා ඉඟිකරන කතාව වශයෙන් කොටස් තුනක් එහිදී ලෙහා ගැනීමට සිදුවේ. ගිමන් හරින්නා සහ පෙම් යුවළ වෙන ම කැටයම් ලෙස නොතබා, ඒවා එක් රැහැනකින් එක් කිරීමත් (ගිමන් හරින්නා යනු, පෙම්යුවළට එක්වන්නට ඉඩ දී හුදකලා වූ වියෝවූ පෙම්වතාය වැනි අදසකට ඒම), සැබෑ කතාවේදී ගිමන් හරින්නා, නීලාට පෙම් කර පසුව නිවේදිකාවක හා විවාහ වීමත්, කතාව අවසානයට යද්දී, සිත්තරා සහ ගිමන් හරින්නාගේ ජීවිත ගැන රචකයා අපිට නොකියා ඉඟිකරන තැන් දෙක තුන සහිත කතාවත්(ගිමන් හරින්නාගේ නිවේදන බිරිඳ සිත්තරාගේ බිරිඳ ද යන්න-“ඔහුගේ” යන වදන උඩු කොමා තුළ සඳහන් කර තිබීම) ආදි ලෙසින් මේ ලෙහාගැනීම කරන්නට වන නිසා පාඨකයට එක වරම කතාව කියවා පොත පසෙක තැබීමට ඉඩ නැත. ගෙදර වැඩ කරමින්, කතාව එක්ක පෑහි පෑහි, එක් එක් කෝවට දමමින්, යලි යලි ඒවයින් කතාව අරගනිමින්, හිතමින් ඉන්නට සිදුවේ. එමතු නොව, ඉසුරුමුණියේ අනෙක් කැටයම් සමඟත් (රජ පවුල කැටයම, දියකෙළින ඇතුන්) වෙඩිවර්ධනගේ කතාවේ ඉතිරිය ගළපාගෙන පාඨක පරිකල්පනයක් වෙත යාමට තරම් හිත නොසන්සුන් වෙයි.
මෙම කරුණේදී ලියනගේ අමරකීර්ති ලියූ ‘කෙටිකතා කලාව’ කෘතියේ ඔහු උපුටා දක්වන, මහාචාර්ය ඔස්ටින් රයිට් සඳහන් කරන ‘කෙටිකතාවේ අදම්‍යතාව’ යන්න සිහිවේ. රචකයාවත් පාඨකයාවත් සම්පූර්ණයෙන් හික්මවිය නොහැකි වීමේ ලකුණක් ගැන එයින් කියැවේ.
“රචකයා කෙතරම් මනාව සැලසුම් කරන ලද ආකෘතියකට හිරකරලන්නට තැත්කළ ද, ඊට එරෙහිව නැගී අර්ථ සාධන වචන, සංඥා, රූපක, සංකේත ආදිය කෙටිකතාවක් තුළ තිබෙන්නට පුලුවන. එසේ ම, පාඨකයා කොතරම් තර්කානුකූල අර්ථකථනයක් තුළට තාර්කිකව ගළපන්නට තැත් කළත් ඊට එරෙහිව නැගී සිටින යට කී අංග කෙටිකතාවක තිබෙන්නට පුළුවන. විශිෂ්ට කෙටිකතාවේ ස්වභාවය එයයි. ඕනෑම විශිෂ්ට කෙටිකතා රචකයෙකුගේ නිර්මාණවල මේ ගුණය ඇත” (114 පිට)
මේ කෙටිකතාවේ සූක්ෂම පරිකල්පන තැන් කිහිපයකි. ගිමන් හරින්නා නම් තරුණයා පෙම්කරන්නේ, ඉසුරුමුණි විහාරය භාර මුරකරුගේ දියණිය නීලා සමඟය. රචකයා අප පෙර කී නිර්ප්‍රභූ ජීවිත, ආර්ථික මට්ටම් අවම, සාමාන්‍ය සරල මිනිස් ජීවිත සමඟ එක්කාසුවෙමින් පොදු ජීවන මානව ධර්මතා ගොඩනගයි. ඉසුරුමුණියේ කැටයම් සහ කතාවේ එන සැබෑ මිනිස් චරිත එකිනෙකා නිතර පේනමානයේ තබයි. පසෙකින් රාජකීය මත දරන කැටයම් ය. පසෙකින් සරල මිනිස් ජීවිත පෙති ය.
‘ගිමන් හරින්නා’ නම් තරුණයාට නිතරම කැටයමේ ගිමන් හරින්නාගේ ඇස්වල බැල්ම පෙනෙයි. ඒවායින් ඔහු සැඟවෙන්න බලයි. ඒ දෑසේ උත්ප්‍රාසය ඔහුව කළඹයි. වරදකාරී හැඟීමක් දනවයි. ඒ දෑස මේ දෑස ලුහුබැඳ එයි. ඇලන් පෝගේ ‘ගතු කියූ හදවත’ කෙටිකතාවේ එන තරුණයා, මහල්ලාගේ දෑසට බයකමින් සිටියා සේ, ඒ දෑස ඔහුව නිතර රිදවූවා සේ, ගිමන් හරින්නාගේ දෑස ද ඔහුව ම හඹා එයි. කැටයමක දෑසක්, සජීවී මිනිසෙකුගේ දෑසක් ලුහුබැඳ ඒමේ සංසිද්ධිය; සංස්කෘතිය විසින් පුද්ගල ජීවිත වෙත කරන, අනවරත ලුහුබැඳ එන, වරද දනවනසුලු ලෙස කරන බලපෑම ලෙසින් වුවද වුවමනා නම් වටහා ගත හැක.