අතුරු අන්තරා මැද විඳින තනිකම් දෝස
මිතුරු හඳ එළිය දෙන නීල ඉඳුවර දෑස
පතුරු ගිය ජීවිතය ගෙවන තනිකඩ වාස
නපුරු හීනය දකින අහිංසක ජිනදාස
කොග්ගලින් ඉගිල්ලී සිංහලේ ආ දවස
රුක් මුදුන් උඩ ලගින කොක්කු නොදකින නිවස
බත් හැලිය ලිප උඩ ම තනිය උහුලන හවස
අත් අරින්නට බැරි ම සංසාරයක පවස
කඩොලාන අත ගගා ගලනකොට කරදියට
කඳුළු බර දැනෙනවැති නිහඬ කොග්ගල ඔයට
අඳුර සහ එළිය මැද මිරිදියෙන් කරදියට
කියන නොකියන තනිය උරුමයකි ගැහැනියට
පරණ හිරිගල් දෙවොල උඩට හඳ ආ දාට
වෙනදාට වැඩිය ලොකු පුන්සඳේ ආවාට
අඳුර ඉකිබිඳින හඬ ඇහෙනකොට හාවාට
පුරුදු දාඩිය සුවඳ දැනෙනවැති නන්දාට
සිප්පි කටු නිදි කිරන වැටකෙයිය හේඩෑව
කොක්කු හොට පටලවන පාළු වන බූටෑව
සෙක්කු ගල කෙඳිරි ගා ගල්ගැහෙන හැන්දෑව
තොත්තුවක පිපෙන හීගඩු විඳින කම්පාව
ජිනදාස සිංහලේ මදුරුවන් තලනකොට
කොග්ගලට වහිනව ද සුනිල්වන් පළිඟු කැට
කුරුල්ලන් පඳුරු උඩ නාඩගම් නටනකොට
කරඹ මල් බිම බලයි ගෑණියෙක් අඬනකොට
කිඹුල් කඳුළු ම පිරී ගලද්දී කිවුල් දිය
දුඹුල් යට හැඟුම්බර ජීවිතය ඇඹුල් විය
දිවුල් බෙලි දොඩම් ළඟ අතීතය පහත් විය
පවුල් බර අවුල් මැද ආදරය රහත් විය
කපුරු පෙති කිතිකවන බඹර තුඩ මඳහාස
අතුරු උඩ ඇවිද යන අඳුරු දින සති මාස
පඳුරු යට අත වනන ගොදුරු ලොබ ආවේස
සතුරු කටු යහන පිට අතුරුදන් ජිනදාස