දහනව වන සියවසට අයත් කාල වකවානුවක එනම් ඉංග්‍රීසි සාහිත්‍යය තුළ ප්‍රධාන අංගය නවකතාව බවට පත්වූ වික්ටෝරියානු යුගයේදී (1837-1901) බ්‍රිතාන්‍ය ගම්බද වංශවත් හා ඉහළ සමාජය පදනම් කර ගනිමින් East Lynne එම යුගයේ ප්‍රසිද්ධ ලේඛිකාවක වන Ellen Wood එසේත් නැතිනම් Henry Wood මහත්මිය අතින් ලියවී ඇත.
වංශවත් වීම හා සමාජය තුළ පිලිගැනීමට පවුල් උරුමයන් ලෙස හිමිකම් ලැබුණු මිනිසුන්ගේ සහ එසේ නම් දැරුවන් සියල්ලෝම එලෙස නොවන බවද හැඟවෙන කතාවකි. මිනිසාගේ පැවැත්ම, අවබෝධය, කාරුණික හා ආචාරශීලිත්වය යනු සැබෑ වංශවත් බව ලෙසද අවබෝධ කරගැනීමට පාඨකයා වෙත මඟ හෙළිකර දෙන්නකි.
උපතින් හෝ උරුමයන් ලෙස අහම්බෙන් ලැබුණු ඇතැම් වංශවත් නාමයන් සෑමවිටම පුද්ගලයින් වෙත සුබවාදීව බලපානුයේ නැත. මවුන්ට් සවර්න් අර්ල්වරයාටද සාමිවරයාටද එය එසේමය. අහම්බෙන්, නොසිතූ අයුරින් ඔහු ලද එකී හිමිකම ඔහුගේම අදූරදර්ශි ක්‍රියාවන් හේතුවෙන් අවමන් ලබන්නට කලින් ඔහු මියයන්නේ ඔහුගේ රූමත් දියණිය වන ඉසබෙල් ආර්‍යාව වෙත එහි සියළු බර පවරා දෙමිනි.
ඉසබෙල් ආර්‍යාව දයානුකම්පාවෙන් පිරුණු ජන්මයෙන් මෙන්ම ගති පැවතුම් වලින්ද උසස් කාන්තාවකි. ඇය හැඟීම් වල දුර්වල බව හේතුවෙන් ඇති වූ සැකය, ඊර්ෂ්‍යාව හා දුක සමඟ ජීවිතය අඳුරට හෙලා ගන්නේ කෘතිය පුරාම පාඨක අනුකම්පාවට බඳුන් වෙමිනි. ඇයව රැවටීම පහසු කාර්‍යයක් වීම ඇතැම් විට නුරුස්නා සහගත හැඟීමක් ඇති කරයි. එහෙත් ඇගේ ලද බොළඳ බව, සැමියාගේ ආදරය වෙනුවෙන් හඬා වැටීම, එය නිරන්තරයෙන් ලැබීමේ අපේක්ෂාව සාමාන්‍ය කාන්තා ලක්ෂණයක් ලෙස හැඟෙනුයේ ඇගේ චරිතය මා අතින් විශ්ලේෂණය වන්නේද ස්ත්‍රී මනසකින් යුතුව බැවින් වන්නට ඇත. ඇතැම් අවස්ථා වල ඇය වෙත දෝෂාරෝපණය කරමින් ඇගේ චරිතය වෙත තවදුරටත් අනුකම්පාව හෝ අවධානය අනවශ්‍ය බවට කියවීම යොමු වන්නටද හැකි අතර එය එතරම් දිගු කාලයකට නම් නොවේ. ඉන්පසුව මුළු කියවීම පුරාම ඉසබෙල් යන චරිතය වෙත අනුකම්පාව හා කාරුණික බව හිමිවන අතර ඇගේ වරද වෙත නිසි දඬුවම් ලබාදී ඇති බව හැඟේ.
ඉසබෙල් වෙත පාඨක අවධානය, ආදරය හා දයානුකම්පාව යොමුවීම මත පාඨක අවධානයෙන් වඩාත් ගිලිහී යන්නේ බාබරා හෙයා මෙනවිය, පසුව කාලයිල් මහත්මියගේ චරිතය බව මගේ හැඟීමයි. ඉහත කී හේතුව කරණ කොටගෙන ඇය වෙත කෝපවීම හෝ නොපහන්ව බැලීම සිදුකරන්නේ නම් එය ඇගේ එතරම් විකාශනයට ලක්නොවූ චරිතය වෙත සිදුකරන අසාධාරණයකි. එය එසේ ඉස්මතු නොවීමම අසාධාරණයක් ලෙස හැඟෙන අවස්ථා බොහොමයකි. බාබරා යනු කාලයිල් කෙරෙහි ප්‍රේමයෙන්ම ජීවත්ව ප්‍රේමයෙන්ම මියැදෙන්නට බලාපොරොත්තු වන චරිතයක් පමණක් ලෙස සලකා බැලීම වටී. ඉසබෙල්ගේ චරිතය තුළින් සමාජය වෙත ලබාදෙන්නට කතුවරිය අදහස් කරන ලද යම් පණිවිඩයක් හෝ සමාජ අවබෝධයක් තිබුණේ නම් හෝ එසේ වටහා ගන්නේ නම් බාබරා හෙයාගෙ චරිතය වෙත සිදුවන අසාධාරණය එතරම් සැලකිය යුතු නොවේ.
ඉසබෙල් යනු අවසානය දක්වාම පාඨක හැඟීම් විවිධ අයුරින් පැහැරගන්නා චරිතය බව අවිවාදිතය. ප්‍රේමය නොමඳව හිමිවුන, මිහිපිට ස්වර්ගය බඳු ජීවිතයක් හිමිව තිබියදීත්, තෝරාගත් නිරයක ජීවත් ව සිටියදීත් අනුකම්පාවම හිමිවීම යනු දෛවයේ සරදමක් බඳුය.
සුදු හෝ කළු ලෙස වෙන් කරන්නට හැකි පුද්ගල චරිත නොමැති බවට අපි අදහන නමුදු කතුවරිය ඇතැම් පුද්ගල චරිත එසේ රේඛාවකින් බෙදා වෙන් කර දක්වනවා බඳුය. කාලයිල් මහතා වැනි චරිත සුදු චරිත ලෙසද ෆ්‍රැන්සිස් ලෙවිසන් වැනි චරිත කළු චරිත ලෙසද හැඳින්විය හැකිය.
වංසක්කාරයෝ ලෙස ජයන්ති සමරසේකර මහත්මිය විසින් සිංහලට පරිවර්තනය කෙරෙන මෙම කෘතිය තුලින් විඳින ලද හැඟීම බොහෝවිට සමීප වනුයේ Jane Austinගේ කෘතියක් කියවීමෙන් ලැබුණු වින්දනයටය. එය කෘතිය තුළ ජීවත් වෙමින් ලැබුණු විඳීම වන අතර සතුට පමණක් මුසු වූවක්ම නොවේ.
පරිවර්තනය ජයන්ති සමරසේකර
East Lynn_Ellen Wood