පවුලේ ආර්ථික බර කරට ගත් ඇය!

Share post:

Mahanagar යනු සත්‍යජිත් රායිගේ තවත් සුවිශේෂී නිර්මාණයක්. රායිගේ නිර්මාණකරණය අප සලකා බැලුවොත්, ඔහුට සමාජය සම්බන්දව ඉතා ඉදිරිගාමී දැක්මක් තිබූ අධ්‍යක්ෂකවරයෙක්. ඉන්දියානු සමාජය තුල මුල් බැස තිබුණු සම්ප්‍රදායන් අභිබවා, වෙනස් වන ලෝකයත් සමග දිව යන ඉන්දීය සමාජ රටාව වෙනුවෙන් ඔහු සුවිශේෂී අවදානයක් ලබා දුන්නා. එම සමාජ සංස්කෘතියත් සමග කෙමින් වෙනස් වූ ගැහැණියගේ භූමිකාව ඔහුගේ චිත්‍රපට බහුතරයක ප්‍රධාන මාතෘකාවක් වූවා. විශේෂයෙන්ම ඉන්දියානු සිනමාවට මූලික වශයෙන් ස්ත්‍රීවාදී දැක්මක් හිමි වන්නේ, රායිගේ චිත්‍රපට හරහා. Mahanagar, Charulata සහ Ghare Bhaire චිත්‍රපටයන් රායිගේ මෙම සමාජ දැක්මේ තවත් දිගුවක්.

Mahanagar චිත්‍රපටයට පාධක වන කාල සීමාව වන්නේ 50 දශකයේ (1950) කොල්කටාවයි. ආරතී යනු කොල්කටාවේ මධ්‍යම පාන්තික පවුලක ජීවත් වන ගෘහණියක්. ඇය ජීවත් වන්නේ තම සැමියා සහ ඔහුගේ සම්ප්‍රදායික පවුලත් සමගයි. ආරතීගේ සැමියා වන සුබ්‍රතා, බැංකුවක කාර්යාල රැකියාවක නියැලෙන පුද්ගලයෙක්‌. පවුලේ දෙමාපියන්, ඉගෙන ගනිමින් සිටින නැගණියක් සහ කුඩා පුතෙකුද සිටින මෙම පවුලට, ආර්ථික අපහසුතා රැසක්ද තිබෙනවා. සියල්ලම යැපෙන්නේ සුබ්‍රතාගේ මාසික පඩිය තුලින්. නමුත් එය ඔවුන්ගේ ජීවන වියදමට කිසි සේත්ම ප්‍රමාණවත් නැත. තම සැමියාට සහ පවුලට සහායක් දැක්වීමට ආරතීද රැකියාවක් කිරීමට ඉදිරිපත් වනවා. ආරතී සම්බන්ද වන්නේ භාණ්ඩ අලෙවි කිරීමේ රැකියාවකට. තම මාමණ්ඩියගෙන් දැඩි විරුද්ධත්වයක් පැමිණියත්, ආරතී තම සැමියාගේ සහාය මත මෙම රැකියාවට සම්බන්ද වනවා. ආරතී තම රැකියා කටයුතු ඉතා හොඳින් සිදු කරන අතර එහි කළමනාකරු තුලද ඇය පිලිබඳ විශාල පැහැදීමක් ඇති වනවා. ආරතීගේ සැමියා තුල ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවක් පහළ වනවා. ඔහු තවත් අර්ධ කාලීන රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරන බව පවසමින්, ඇයට එම රැකියාවෙන් ඉවත් වීමට අණ කරනවා. නමුත් ආරතී තම රැකියාව තුලින් නව පන්නරයක් ලබා තිබෙනවා. බිත්ති හතරට සිරවී සිටින ගෘහණියට වඩා, ඉන් ඔබ්බට ගිය අනන්‍යතාවයක් ඇය සතුව තිබෙනවාය යන විශ්වාසය ආරතී තුල තිබෙනවා. එපමණක් නොව, ගැහැණියකටද ආර්ථික ස්වාදීනත්වයක් තුල ඇති වටිනාකම ඇය වටහා ගන්නවා. එම නිසා ඇය කිසි සේත්ම තම රැකියාවෙන් ඉවත් වන්නට සුදානම් නැත. මෙය අතරවාරයේ ඇගේ සැමියාට තම රැකියාව අහිමි වනවා. ඒ අනුව ආරතීගේ රැකියාව හැර, පවුලේ වියදම් මෙහෙයවීමට අදායම් මාර්ගයක්‌ ඔවුන්ට නැත. මින් ඉදිරිය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුයි.

Mahanagar හරහා කාන්තාවකට ස්වාදීනත්වය කෙතරම් වැදගත්ද යන කාරණයක් පිලිබඳ ප්‍රභල කථිකාවක් ඉදිරිපත් කරනවා. මොහොතකට තම සැමියාගේ රැකියාව අහිමි වූ අවස්ථාවේ, ඇයට රැකියාවක් නොතිබුනා නම් මෙම පවුලට මොනයම් අපහසුතාවයක් ඇති වන්නට තිබුනාද?. ආරතී තමාට ලැබුණු වෘතියෙන් ඉගෙන ගනු ලබන්නේ ආර්ථික ස්වාදීනත්වය පමණක් නොව. නිවැරදි දෙයක් වෙනුවෙන් තමාගේ මතය ඉදිරිපත් කිරීමේ පෞරුෂයක්ද ඇය මෙම වෘතිය හරහා ලබා ගන්නවා. ඇගේ රැකියා ස්ථානයේ එඩිත් නම් බ්‍රිතාන්‍ය ඉන්දියානු ජාතික කාන්තාවක්ද සේවයේ නියැලෙනවා. බොහොම බටහිර පන්නයට බර ගති පැවතුම් ඇති එඩිත් කෙරෙහි එහි කළමනාකරු අසාදාරණ ලෙස ඇගේ ජීවන රටාව විවේචනය කරනවා. එය තුලින් සිදුවන වැරදි වැටහීමක් තුලින් ඔහු ඇයව රැකියාවෙන් ඉවත් කරනවා. මෙයින් කෝපයට පත්වන ආරතී තම මිතුරියට සිදුවූ අසාදාරණය වෙනුවෙන් හඬ නගනවා. ඒ අනුව තම වෘතියෙන් ලැබුණු පන්නරය ඇයට ආර්ථික වශයෙන් පමණක් නොව, වැරදි දෙයට හඬ නැගීමට පුරුදු වන සමාජශීලී කාන්තාවක් වීමටද අරාතී පුරුදු වනවා. බොහොම සම්ප්‍රදායික ගෘහණියකගේ පටන් රැකියාව හමුවේ ස්වාදීන ගැහැණියක් වන ආරතීගේ චරිත වර්ධනය, ඉතා අපූරුවට රායි ඉදිරිපත් කර තිබෙනවා.

රායි මෙය හරහා තවත් කතාබහට ලක්‌ කරන මාතෘකාවක් වන්නේ පුරුෂාධිපත්‍යය සහ පිරිමි මමත්වය සම්බන්දවයි. මෙම දෘෂ්ටීන් ද්විත්වය චරිත ත්‍රිත්වයකින් ඉදිරිපත් කිරීමට ඔහු සමත් වනවා. එම චරිත ත්‍රිත්වය වන්නේ ආරතීගේ සැමියා වන සුබ්‍රතා, මාමණ්ඩි සහ කළමනාකරු. ආරතීගේ සැමියා ඇයට සහාය දැක්වූවත්, ඇගේ සාර්ථකත්වය දරා ගැනීමට ඔහුට නොහැකි වනවා. එහි ප්‍රතිපලයක් වශයෙන් එක් තැනකදී ඇයට රැකියාවෙන් ඉවත් වීමට පවා අණ කරනවා. නමුත් ඔහුට අත්පත් වන විරැකියාව සහ ආරතී තුල දක්නට ලැබෙන ධෛර්‍ය හමුවේ, ඔහු තුල ඇති මමත්වය ලිහිල් වනවා. ආරතීගේ මාමණ්ඩිය සිටින්නේ වෙනස් කළ නොහැකි අන්තයක. කිසි දිනක තම පවුලේ කාන්තාවන් රැකියාවක් නොකළ නිසා ආරතීගෙන් මුදල් ගැනීම ඔහුට මදිකමක්. තම ලේලියගෙන් යැපීමට ඇති අකමැත්ත මත, වෙනත් පුද්ගලයින්ගෙන් මුදල් ඉල්ලීමේ අන්තයකට යාමටද ඔහු පෙළඹෙනවා. ආරතීගේ කළමනාකරු ඇයව අගයන තවත් ප්‍රධාන කාරණයක් වන්නේ ඇය සාරිය ඇඳ පළඳින මතුපිටින් සම්ප්‍රදායික ගැහැණියක් නිසා. නමුත් එඩිත් වැනි බටහිර පන්නයට නැඹුරු කන්තාවක්ව ඔහු හඳුන් වන්නේ චාරයක් නොමැති වනචර ගැහැණුන් ලෙසටයි. මෙම පිරිමි මමත්වයන් ත්‍රිත්වයටම ආරතීගේ චරිතය ඉතා සූක්ෂම ලෙස ප්‍රතිචාර දැක්වුවා.

ආරතීගේ චරිතයට පණ දුන් මධාබි මුකර්ජී, දෙගිඩියාවෙන් සිටින සම්ප්‍රදායික ගෘහණියකගේ පටන් ස්වාදීන වෘතිමය කාන්තාවක් දක්වා වර්ධනය වන ආකාරය ඉතා විශිෂ්ට ලෙස රඟ දැක්වුවා. ඒ සමගම මෙහි සිනමාකරණය සහ සංගීත අධ්‍යක්ෂණයද ඉතාම ඉහල මට්ටමක තිබුනා.
36 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශ චිත්‍රපටය වෙනුවෙන් ඉන්දියාවෙන් ඉදිරිපත් කරන්නේ මෙයයි. නමුත් එය අවසන් නිර්දේශ අතරට පැමිණෙන්නේ නැත. නමුත් 14 වන බර්ලින් ජාත්‍යන්තර සම්මාන උළෙලේ Silver Bear for Best Director සම්මානය සත්‍යජිත් රායි ජයග්‍රහණය කිරීමට සමත් වනවා.

සත්‍යජිත් රායිගේ සිනමා නිර්මාණ තුලින් ඔබ‍ට නැරඹීමට ඉහලින්ම නිර්දේශ කළ හැකි නිර්මාණයක් Mahanagar.

රමිත විමුක්ති.

Related articles

ලාංකික ගැහැනියගේ ජීවිතයෙන් බිදක් සොයා යන …”ජෙරුසලමේ දූවරුනි”

උතුරු නැගෙනහිර වැන්දඹුවනගේ හුදකලා පීඩනයෙහි සංක්ෂිප්ත සංවාදයක් ඔස්සේ ආරම්භව ක්‍රිස්තියානි ආගමික ස්ත්‍රීත්වයේ විමුක්තිය පිළිබද සංකල්පනාව හා සමීපව යා...

මෙතන නැත්තේ කවුද?

ඉස්සරහ පේළියේ ඉන්න මේ සෙට් එක පාස්කු ප්‍රහාරය නම් සිද්ධිය එක තැනකින් පස්සේ නවත්වනවා. ඒ තමයි සහරාන් හෂීම්...

එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් වැදගත් වේ : එහෙත් බල දේශපාලනය එහි ශක්තිය හීන කරයි !

දෙවන ලෝක යුද්ධය අවසන් වූ දා සිට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකභාවය සඳහා වූ වේදිකාව ලෙසත්, ජාතීන් කතා...

දීපචෙල්වන්ගේ කෘති රේගුව විසින් රඳවා ගනියි : ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසය පුරා දෙමළ කෘති රඳවා තබාගැනීමේ හේතුව කුමක්ද?

රාජ්‍ය සම්මානලාභී ලේඛක , දීපචෙල්වන් ප්‍රදීපන් විසින් ඉන්දියාවේ මුද්‍රණය කර නැවකින් මෙරටට ගෙන ආ පොත් තොගයක් ශ්‍රී ලංකාවේ ඒකීයත්වය...