ලාංකික ගැහැනියගේ ජීවිතයෙන් බිදක් සොයා යන …”ජෙරුසලමේ දූවරුනි”

Share post:

උතුරු නැගෙනහිර වැන්දඹුවනගේ හුදකලා පීඩනයෙහි සංක්ෂිප්ත සංවාදයක් ඔස්සේ ආරම්භව ක්‍රිස්තියානි ආගමික ස්ත්‍රීත්වයේ විමුක්තිය පිළිබද සංකල්පනාව හා සමීපව යා වෙමින් ගෘහස්ත දිවිය තුළ නිරන්තරෙන් පීඩනයට පත් වන ලාංකික ගැහැනියකගේ අනුභූතියක් කේන්ද්‍රීය සංවේදී නිර්මාණයක් තරංගනී රෙසිකා ප්‍රනාන්දු “ජෙරුසලමේ දූවරුනි” නමින් 2023 වසරේදී නිර්මාණය කරනු ලබයි.
උතුරු නැගෙනහිර යුධමය වාතාවරණය තුළ සමීපතමයන් අහිමි වූ උතුරේද දකුණේද ස්ත්‍රීන් දෙස මානවීය දෘෂ්ටියක් හෙලමින් ‘ජෙරුසලමේ දූවරුනි ‘නිර්මාණය ආරම්භයේ පාඨක මනසට ප්‍රවේශ වේ.

එහිදී වැන්දඹුවන් දෙස හෙලන පෙරදිග සංස්කෘතික පසුගාමී දෘෂ්ටිය මෙන්ම මෙම ස්ත්‍රීන් වැන්දඹුවන් බවට පත්කරනු ලැබීමේ බලහත්කාරී දේශපාලනය පිළිබද හැගවුම්කරණයක් “ගෞරි”ගේ චරිතය හරහා නිරූපණය කරන්නට තරංගනී වෑයම් කරයි.
“මම වැන්දඹුවක් කියන්නේ මේ සමාජය.මහා අප්‍රසන්න වචනයක්. මං කැමති නෑ කවුරුවත් මට එහෙම කියනවට. අපි කවුරුවත් කැමැත්තෙන් වත් අපගේ වරදකින් වත් අපේ මිනිස්සු නැති කරගත්තා නෙමෙයි. අනික මං මගේ මනුස්සයාගේ මිනියක්වත් දැක්කේ නෑ. ඉතින් මං කොහොමද වැන්දඹුවක් වෙන්නේ..ඒක මේ සමාජය මං පිට බලෙන් තිබ්බ එකක්.”

එසේම මානවීය සංවාදය හා මානවීය හැගීම් අවබෝධය සදහා භාෂාව අත්‍රික්‍රමණය කළ හැකි බව තරංගනී මෙම නිර්මාණය තුළ ගම්‍ය කරයි.
“අපි දැන් සිංහලෙන්ද දෙමළෙන් ද ඉංග්‍රීසියෙන් ද හස්ත මුද්‍රාවෙන්ද ඇසින් ද ස්පර්ශයෙන්ද නිහඬතාවයෙන්ද කියනා ඕනෑම කතාවක් තේරුම් ගත හැකි මට්ටමේ අන්‍යෝන්‍යය අවබෝධයකට එළඹී සිටියෙමු”
මනුෂ්‍යත්වයේ අසීමිත වේදනාවන් දෙස කතුවරිය බැලුම් හෙළනුයේ ඒ වේදනාවන් සුවපත් කිරීමට දිගුකාලීන දේශපාලන සමාජ ආර්ථික මානුෂීය ක්‍රියාවලියද අවශ්‍යතාව පිළිබද සියුම් ඉඟි කිරීමක්ද පෙරදැරිවය.

ළමා වියේ පටන් හමුදා කදවුරු වල ජීවිතය විසිරී සියල්ල අහිමු වූ මිනිස් සමූහයක වේදනාවේ මතකයන් සුවපත් කිරීමට හා අහිමි වූ ඔවුනගේ දිවිය යථාවත් කිරීමට වන දුෂ්කර දේශපාලන අභියෝගය
” ජෙරුසලමේ දූවරුනි ” සියුම්ව ස්පර්ශ කරනු ලබයි.

“අපේ අම්මල අතුරුදහන් වෙච්ච දරුවෝ කෝ කියලා අහනව .දැන් අවුරුදු ගාණක් .උත්තර නෑ. යුක්තියක් සාධාරණයක් ගැන හැඟීමක්වත් නැති රටකින් මම මට නැති වුණු ජීවිතය ඉල්ලන්නේ නෑ . මේ සීතල කාමර වල ඉඳන් අඬා වැටුණාට අපේ ඇතුළෙ ගින්දර නිවෙන්නේ නැහැ. ඒත් අපි ගැන හිතන කතා කරන පිරිසක් දකුණෙත් ඉන්නවා කියලා දැනෙද්දි ගිනි ගහන අව්වෙ කුලී වැඩකට දුවද්දී පවා හිතට සැනසීමක් සන්තෝසයක් දැනෙනවා.”
තරංගනී නිර්මාණය කරනා ‘ගෞරිගේ’ චරිතයෙහි අත්දැකීම් ස්පර්ශ කිරීමේදී මට “සමනල මරණය” ප්‍රබන්ධයෙහි
” වැන්දඹුවගේ සංවාදය” සිහිපත් කරයි.මා එම අත්දැකීම් ලබා දශක දෙකකට පසුවද එකී සමාජ ආර්ථික දේශපාලන පීඩනය එයාකාරයෙන්ම ප්‍රති නිර්මාණය කරන්නට අපට සිදු වීම දේශපාලන සමාජ ඛේදවාචකයකි.අපි දේශපාලන සමාජයක් ලෙස මානවීයත්වය ආරක්ෂා කර ගැනීමට කොතරම් අසමත්ද යන්න මෙයින් පිළිඹිඹු කෙරෙන දේශපාලන යථාර්ථයයි.
ජීවිතයම දුෂ්කර වධ වේදනාවක් ලෙසින් ගෙවා ගන්නා ගැහැනුන් අප වටා නිරතුරුව සැරිසරයි.එකී ගැහැනුන්ගේ වේදනාවන් පීඩාවන් නිමා කරලන සාමූහික සමාජ ගමනක් පිළිබද ලේඛිකාව සිහින දකියි..

නිර්මාණය පුරාම ක්‍රිස්තියානි ස්ත්‍රී විමුක්තියේ හා ප්‍රේමයේ පරමාදර්ශී චරිතය’ මරියා’ හෙවත් ‘මීරියම්’ සමග සංවාදයක් ගොඩ නංවා ඇත.හීබෲ බසින් ‘මීරියම්’ යන්නෙහි අරුත “සිදු තාරුකාව” යන්නය.මීරියම්, අදුරු දිවි දියඹක මග කියන පහන් තාරකාවක් සෙයින් සංකේතීයකරණය කරමින් ලේඛිකාව
‘මීරියම් ‘සමග කරන සංවාදය ට නිර්මාණය සිසාරා පුළුල් අවකාශයක් විවර කර ඇත.
“අමතක කරන්න එපා මැවීමේ පළමු කතාවෙහි සඳහන් වන්නේ දෙව් පියාණන් තමන්ගේම ස්වරූපයට අනුව පුරුෂයාද ස්ත්‍රියද වශයෙන් ඔවුන් මැවූ බව. මෙහිදී කිසිවෙකු උසස් හෝ පහත් වන්නේ නැහැ. දෙදෙනාම සමාන මනුෂ්‍යයන්…”
“නමුත් දෙවන මැවීමේ කතාව තුළ ඔබ ඔය මතු කරන අර්බුදය පවතිනවා. අපේ ඉතිහාසය කොහොමත් පුරුෂ මූලික දේව ධාර්මික ඉතිහාසයක්. පුරුෂ මූලික නම් ධාර්මික වන්නේ කෙසේදැයි ඔබ මවෙතින් විමසනු ඇත. නමුත් යථාර්ථය එයයි. අතීත ලියා කතා ලිව්වේත් කිව්වෙත් පිරිමින්. ඔවුන් ඇදහූවේත් පුරුෂ දෙවි කෙනෙක් ඔවුන් ගැහැණිය දකින්නේ පෘථග්ජන මිනිස් ඇසින් මිස විශ්වීය දිව්‍යමය මේ මනසකින් නොවේ. “ගැහැණිය අසම්පූර්ණයි” යන අදහස මුල් ශුද්ධ ලියවිලි ඉගැන්වීමක් නොවේ. ඒ පසු කාලීනව ග්‍රීක දර්ශනය නිසා ක්‍රිස්තියානි ට එක්වූ අදහසක්. නමුත් ඒ නිසා වන්දි ගෙවන්නට සිදුවූ ගැහැනුන් නම් අප්‍රමාණයි .. එය සත්‍යයක්..”

“ඒවා” කියන්නෙ ඉතිහාසය පුරා ජීවත් වූ ගැහැණුන්ගේ සංකේතාත්මය. අතීතයේ, වර්තමානයේ, අනාගතයේ වෙනත් අයුරකින් හඳුන්වනවා නම් ඇයයි නිදහස් මනුෂ්‍යයකු වන්නට පළමු පියවර තැබූ ගැහැණියගේ සංකේතය.”

බයිබලයේ මිනිස් මැවීම පිළිබද උත්පත්ති කතාවෙහි ස්ත්‍රීත්වයෙහි ද්විතීයික භාවය සහ ඉතිහාසයෙහි මුල්ම ගැහැනියගේ සිට මේ දක්වා ගැහැනිය පිළිබද සාවද්‍ය කියවීම පිළිබද රූපකාර්ථයන් දෙස අභියෝගාත්මක දෘෂ්ටියක් හෙළන්නටද කතුවරිය ‘මීරියම්’ හරහා වෑයම් කරන්නීය..
සත්‍යය සාපේක්ෂ බැවින් ඉතිහාසය තුළ ස්ත්‍රීත්වය කෙරෙහි නව දෘෂ්ටිමය කියවීමක් ස්ත්‍රිය විසින් ගොඩ නැංවිය යුතු බවද මෙහිලා සියුම්ව අවධාරණය කරයි..
අධිරාජ්‍යවාදීන්ගේ… පාලකයන්ගේ..

බලලෝභීත්වය අතීතයේ සිට වර්තමානය දක්වා සාමාන්‍ය ජනයා පීඩනයට පත්කරමින් ඓතිහාසිකව ප්‍රතිනිර්මාණය වන අයුරු ද කතුවරිය මීරියම්ගේ දෙබස් හරහා ඉස්මතු කරයි.

“අපි මිසරයට පළා ගියා.දරුවාගේ ජීවිතය බේරගන්න.ඒත් අපේ දරුවා වෙනුවෙන් තවත් දහස් ගණනක් දරුවන්ට ජීවිතය දෙන්නට සිදුවුණා. ඒ බිළිඳුන්ගේ කෑ ගැසීම් ඒ මව්වරුන්ගේ හඬා වැටීම්. තවමත් මා දෙසවන් තුළ
දෝංකාර දෙනවා. පාලකයන්ට උවමනා තම පුතුන්ගේ හිස මත පමණක් කිරුළ තියෙනව දකින්න .තමන්ගේ පරපුරට පමණක් කිරුළ උරුම වෙනව දකින්න. ඒ නිසයි ඔවුන් මා පුතු පසු පස පැන්නුවේ .ඔවුන් සිතුවේ මා පුතුගේ උපත ඔවුන්ගේ ලෞකික රාජ්‍යයට අභියෝගයක් වේවි කියා …”

“අධිරාජ්‍යයක පමණක් නොවෙයි ඕනෑම කුඩා රාජයක සිදුවන්නේත් එයමයි. එදා වගේමයි අදත් පාලකයන් ස්වකීය දරුවන්ගේ උරුමය රැක ගන්නට ඕනෑ තරම් රටේ දරුවෝ මරා දමාවි, කිසිදු හැඟීමකින් තොරව, දරුවන් ඔසවා ගන්නා, දරුවන් සිප ගන්නා, දරුවන් නළවනා දාරක ප්‍රේමය ඔවුන්ගේ කෙතරම් විහිළුවක්ද එය..”

“මා සිතින් දකිමින් සිටියේ තම නැති වූ දරුවන්ගේ පින්තූරය රැගෙන වීදි පුරා රැඳී ඉන්නා මව්වරුන්ය. කවදා හෝ තම දරුවන් නිවසට පැමිණෙනු ඇතැයි මග බලමින් සිටිනා අම්මලාය .යුද්ධයේදී මිය ගිය සෙබල පුතුන්ගේ නම සොයා දැවැන්ත ස්මාරකවල කුරා කුහුඹු අකුරු පිරික්සන විය පත් මව්වරුන්ය.”
” ධනවතුන්ගේ බලවතුන්ගේ සිහින රාජයන් ගොඩනඟන්නට හැමදාමත් දිවි දුන්නේ දුප්පත් අම්මලාගේ දරුවන්ය.”
“ලෝක ඉතිහාසයම අපේ දරුවන්ගේ ලේ කඳුළු වලින් නැහැවිලා. රාජ්‍යත්වය පිළිබඳ තෘෂ්ණාව බොහොමයක් මිනිස්සුන්ට ඉතිරි කළේ රිදවුම් පසුතැවීම් පමණයි.”

‘මීරියම්’ හා ජෙරුසලමේ දූවරුනි කතා නායිකාව බලය පිළිබද ඓතිහාසික දේශපාලන යථාර්ථය විදහාලමින් සංවාදය ගලායාමට සලස්වයි.
විමුක්තියේ .. මානව ප්‍රේමයේ හා දරා සිටීමේ ඓතිහාසික සංකේතීය ගැහැනියක අභිමුඛව මානව ප්‍රේමය පෙරදැරි කරගත් වර්තමානයේ සමාජ දේශපාලන සංස්කෘතික පසුතලය තුළ පීඩනය අත්විදින ගැහැනියක වසර දහස් ගණනක පීඩිතයාගේ අද්දැකීම්හි සාම්‍යත්වය විහිදමින් සංවාදයට ගැනීම කතුවරියගේ අභිප්‍රාය විය හැකිය.

එහෙත් “ජෙරුසලමේ දූවරුනි “නිර්මාණය සිසාරා මේ සංවාදය වඩා වැඩි අවකාශයක් අත්පත් කර ගැනීම හරහා වර්තමාන නිමේෂයෙහි යථාව වඩා පුළුල්ව නිරූපණය කිරීමට තිබූ ඉඩ කඩ ඇහිරී යාම මෙන්ම මේ සංවාදයන්හි වන දීර්ඝ බව නිසා කියවන්නා වෙහෙසකර බවකට පත් වන බවක් මට හැගී යයි.මීරියම් හා සංවාදය වඩා සංක්ෂිප්තව නිර්මාණය කර වත්මන් ලාංකික ගැහැනියගේ ජීවිතය මෙයට වඩා ගැඹුරු ලෙස ග්‍රහණය කළා නම් “ජෙරුසලමේ දූවරුනි ” වඩාත් අපූර්ව ලාංකික දේශපාලන නිර්මාණාත්මක කතිකාවක් ලෙසින් ගොඩ නැංවීමට තරංගනීට හැකිව තිබුණි.

කතා නායකාව රටෙහි පීඩිත කාන්තවන් සදහා යම් පිළිසරණක් වීමට වෘත්තිමය ජීවිතය තුළ අවකාශයක් හිමිකර ගත්තද සිය එක් කුස උපන් සහෝදරියගේ ජීවන පීඩනයේදී දෙදෙනා අතර වන දුරස්ත භාවය “ජෙරුසලමේ දූවරුනි ” සංවාදයට ගනුයේ අපට මග හැරී යන සමීප මානුෂීය සහයෝගයන් හා සිතා බැලීම් පිළිබද යම් පු පුළුල් සිතා බැලීමේ අවකාශයක් විවර කරමිනි..

“ජෙරුසලමේ දූවරුනි ” ප්‍රබන්ධය ආරම්භයේ සිට අවසානය දක්වා විවිධ දුක්ඛ දෝමනස්සයට චක්‍රීය ආකාරයෙන් මුහුණ දෙන මිනිස් සමූහයක් අපට මුණගැසේ..ඒ තුළ ජීවිතය උපේක්ෂාවෙන් දරා ගනිමින් බිද වැටුණු ජීවිත යළිත් ගොඩ නගා ගැනීමට හුදකලාව වැර දරණ ගැහැනුන් නිරූපණය වේ.සිය චිත්තවේගයන් පාලනය කර ගැනීමට නොහැකිව ජීවිතයේ ගැටලු බෙදා හදා ගැනීමට නොහැකි සංස්කෘතික පරිසරයක හුදකලාව ජීවිතය අතැර යන පිරිමින් හමුවේ.. යුද්ධය නිසා සැමියන් අහිමි බිරින්දෑවරු යුද්ධය නිසා පෙම්වතුන් අහිමිව හුදකලාවූ පෙම්වතියන්,සැමියන් අතැරයාම් හා සියදිවි නසා ගැනීම නිසා හුදකලා වන ගැහැනු,යුද්ධය නිසා දරුවන් අහිමි වියපත් මව්වරුන්,සිය දරුවන්ගේ අනේක ප්‍රශ්න මැද පීඩනය දරා සිටින වියපත් මව්වරුන් හා දෙමව්පියන්ගේ ගැටුම්,වියෝවන් මැද හුදකලාව සංකීර්ණ මානසික පීඩනයන්ට ගොදුරුවන දරුවන් ගෙන් සම්ම්ශ්‍රිත..”ජෙරුසුලමේ දූවරුනි ” විවිධ ජීවන අනුභූතිමය පරාසයකින් විහිදෙන වර්ණාවලියක් සිතුවම් කරයි.

ලංකාවෙහි විවිධ පළාත් හි ස්ත්‍රීන් පෙළන සමාජ ආර්ථික හා මානසික පීඩනයෙන් මුදවා ගැනීම සදහා ඔවුන්ව සමාජ ආර්ථිකව බල ගැන්වීමේ රාජ්‍ය නොවන ව්‍යාපෘතියක වැඩ කටයුතු මැද අවිවේකී දිවියක් ගෙවන මැදිවියට ළගා වෙමින් සිටින තැනැත්තියක සිය සහෝදරියගේ දෙවන සැමියා සිය දිවි නසා ගැනීමේ අනපේක්ෂිත පුවත සැලව උපන් ගම්මානය වෙත පැමිණෙයි. එහිදී තමාද,සිය සොයුරිය ඇගේ දෙවන විවාහය සමග මවගෙන් වෙන්ව සිටින නව යොවුන් වැඩි මහල් දියණිය හා දෙමව්පියන් ඇතුලු සමස්ත පවුල මේ ක්ෂිතිමය මනෝභාවය සංස්කෘතික හා මානවීය වශයෙන් අත් විදින ආකාරය සිනමාත්මක හා කවීත්ව

භාෂාත්මක අත් හදා බැලීමක් හරහා තරංගනී පාඨකයා වෙත සමීප කරවීමට නිර්මාණාත්මක අත් හදා බැලීමක් කර ඇත.
මෙහිදී මානව සබදතා හා චර්‍යාවන් පිළිබද අප තුළ වන පටු දෘෂ්ටිමය කියවීම් හා මානව ඛේදාන්ත හමුවේ සමාජ සංස්කෘතික තිගැස්ම තුළින් හටගන්නා ප්‍රතිචාරයන්හි වන රළු හා මුග්ධත්වය විදහාලීමටද කතුවරිය උත්සාහ කරයි.

“ජෙරුසලමේ දූවරුනි” තුළ” යුද්ධයෙහි ගොදුරක්ව මිය යන හමුදා භටයකුට පාසැල් වියේ සිට පෙම් බැදි ඔහු ගේ මරණයෙන් මතුවද ඔහු කෙරෙහි වන අධ්‍යාත්මික ප්‍රේමයෙන් උපේක්ෂාවෙන් ජීවිතය දරා සිටින ” බුලත් අරමෙහි ලොකූ “මෙන්ම , ජීවිතයේ කෙටි කලක් තුළ සැමියන් දෙදෙනෙකුම අතැරයාම හා සියදිවි නසා ගැනීම නිසා අහිමිව දියණියන් දෙදෙනෙකු සමග හුදකලා වන සොයුරිය ජීවිතයේ දුක්ඛ දෝමනස්ස මැදින් ප්‍රේමයම දරා ගනිමින් ප්‍රේමයම සොයා යමින් සමස්ත සමාජයට ප්‍රේමයම පුදමින් ඉදිරියට පියමනින ස්ත්‍රීත්වයේ.. ශක්තියේ… ප්‍රතිමූර්තියන්‍ ය..
“ඔයා එල්ලුණා බාල්කේ…මම එල්ලුණා ජීවිතයේ ..” ජීවිතයේ අනේක විද අර්බූද හමුවේ පිරිමියා මරණය සමග යා වෙද්දී ජීවත් වීම සදහා අරගල කරන ගැහැනිය පිළිබද රූපකාර්ථයෙහි අරුත් උද්දීපනය කිරීමට තමා කියවමින් සිටින ප්‍රබන්ධයක මාර්තුකාවක් කතුවරිය කතාව තුළ වරින් වර මනාව සුසංයෝගී කර ගැනීම අපූර්වය.

2017 දී පළ කළ “දේශ ද්‍රෝහියාගේ නිර්මල හෘදය” පළමු නවකතාවෙහි සිට තරංගනී ඇය සතු කවීත්ව බස් වහර ඔස්සේ “ජෙරුසලමේ දූවරුනි ” හරහා නිර්මාණාත්මක හා දෘෂ්ටිමය වශයෙන් වඩා ඉදිරි මාවතකට ප්‍රවේශ වී ඇති බව පිළිඹිඹු වේ.
නිදහස් ප්‍රේමයක් පිළිබද නැවුම් සංවාදයක්ද මෙම නිර්මාණයෙහි යටි පෙළ ගලා යාමට සලස්වන නමුදු ගැහැනියගේ අභ්‍යන්තරික ප්‍රේමයට ඉහළින් දිව්‍යමය තලයකට පෙම්බරා ඔසොවා තබන්නට ඔවුනතර වන ඇතැම් සංවාද සහ ස්වයං ආත්ම භාෂණය ඔස්සේ කතුවරිය වෑයම් දරා ඇතැයි
සිතේ.
පෙම්බරා සේම පෙම්බරියගේද මානවීය ප්‍රේමයේ වටිනාකම් හා ජීවන අවබෝධය සමාජ කියවීම් සමපාත වන නව දෘෂ්ටිමය තලයක ලාංකික දේශපාලන සමාජ සංස්කෘතික සංදර්භයයෙහි යතාවෙහි නව වර්ණාවලියක් වඩා පුළුල් පථයක ප්‍රති නිර්මාණය කරන්න තරංගනී රෙසිකා ප්‍රනාන්දුට මගේ ආදරණිය සුභාශිංසන පිරිනමමි..

තිලිනා වීරසිංහ

2026 මාර්තු 30

Related articles

පවුලේ ආර්ථික බර කරට ගත් ඇය!

Mahanagar යනු සත්‍යජිත් රායිගේ තවත් සුවිශේෂී නිර්මාණයක්. රායිගේ නිර්මාණකරණය අප සලකා බැලුවොත්, ඔහුට සමාජය සම්බන්දව ඉතා ඉදිරිගාමී දැක්මක්...

මෙතන නැත්තේ කවුද?

ඉස්සරහ පේළියේ ඉන්න මේ සෙට් එක පාස්කු ප්‍රහාරය නම් සිද්ධිය එක තැනකින් පස්සේ නවත්වනවා. ඒ තමයි සහරාන් හෂීම්...

එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් වැදගත් වේ : එහෙත් බල දේශපාලනය එහි ශක්තිය හීන කරයි !

දෙවන ලෝක යුද්ධය අවසන් වූ දා සිට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකභාවය සඳහා වූ වේදිකාව ලෙසත්, ජාතීන් කතා...

දීපචෙල්වන්ගේ කෘති රේගුව විසින් රඳවා ගනියි : ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසය පුරා දෙමළ කෘති රඳවා තබාගැනීමේ හේතුව කුමක්ද?

රාජ්‍ය සම්මානලාභී ලේඛක , දීපචෙල්වන් ප්‍රදීපන් විසින් ඉන්දියාවේ මුද්‍රණය කර නැවකින් මෙරටට ගෙන ආ පොත් තොගයක් ශ්‍රී ලංකාවේ ඒකීයත්වය...