ගොඩෝ උන්නැහේ එනකම් විපක්ෂය බලා සිටී !

Share post:

ඉංග්‍රීසි ජාතික නාට්‍යකරුවෙක් වූ සැමුවෙල් බෙකට් ගේ Waiting for Godot නාට්‍යය කලෙකට පෙර සුගතපාල ද සිල්වා ‘ගොඩෝ උන්නැහේ එනකම්’ යන නමින් සිංහලට පරිවර්තනය කළේය. මෙම නාට්‍යයේ කථාව සැකෙවින් මෙසේය. නාටකයේ ප්‍රධාන චරිත වන ඩිඩී සහ ගොගෝ යන දෙපොළ, ගොඩෝ නම් පුද්ගලයා එන තෙක් බලා සිටිති.

ගොඩෝ පැමිණි විට තමුන්ට ගැලවීම ලැබෙන බව මේ දෙපොළගේ විශ්වාසයයි. ගොඩෝ එන තෙක් ඔවුහු එකිනෙකා සමග විවිධ කථාවල යෙදෙති.මේ සමහර කථාවල අන්තර්ගතය දාර්ශනිකය. එහෙත් ගොඩෝ එන්නේ නැත. ලංකාවේ විපක්ෂයේ පසුගිය දවස්වල හැසිරීම ‘ගොඩෝ උන්නැහේ එනකම්’ සිහිගන්වන්නකි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විපක්ෂයකින් අපේක්ෂා කරන්නේ මහජනයා සංවිධානය කිරීමය. එහෙත් ලංකාවේ විපක්ෂය 2024 සැප්තැම්බර් මස සිට ගොඩෝ උන්නැහේ ඇවිත් තමුන්ව ගලවාගන්නා තෙක් බලා සිටී. ජාතික ජන බලවේගයේ රජය බලයට පැමිණි විට, අන්තර්ජාතික වසයෙන් රට හුදෙකලා වී මාස හයකින් තෙල් පෝලිම් එනු ඇතැයි ඔවුහු ආරම්භයේ දී කල්පනා කළහ. ට්‍රම්ප් ආණ්ඩුව තීරු බදු පැනවූ විට, ලංකාවේ ආර්ථිකය වැටෙනු ඇතැයි ඉක්බිති පුරෝකථානය කළහ. දිත්වා සුලි කුණාටුව පැමිණි විට, පාස්කු ප්‍රහාරය අවස්ථාවේ මෙන්, ‘මේ ගැන මොවුන් දැන සිටියා’ යන ව්‍යාජ සංවාදය සමාජගත කිරීමට ඉන්පසු උත්සාහ කළේය.

මේ දවස්වල විපක්ෂයේ ‘ගොඩෝ’ බවට පත්ව ඇත්තේ ඉරාන යුද්ධයයි. යුද්ධය නිසා ආර්ථිකයට වන බලපෑම අබියස රට කඩා වැටෙනු ඇති බවත්, ඉන්පසු බලය තමුන්ට ලැබෙනු ඇති බවත් ඔවුන්ගේ ගණන් බැලීමයි.

ඉරාන යුද්ධය සමග විපක්ෂයේ කොටස් ආණ්ඩුවට එල්ල කළ චෝදනා දෙකකි. පලමු චෝදනාව ආර්ථිකය සම්බන්ධවය. මෙම ප්‍රශ්නය කල් තියා දකින්ට ආණ්ඩුව අසමත් වූ බවත්, මේ නිසා ජනතාවට මේ වනවිට මුහුණ දෙන්ට සිද්ධ වී තිබෙන ගැහැටවල වගකීම රජය ගත යුතු බවත් එක අතකින් ඔවුන් පවසති. අනෙක් ප්‍රශ්නය විදේශ ප්‍රතිපත්තිය හා රාජ්‍ය තාන්ත්‍රිකත්වය සම්බන්ධවය.

අප පලමුව ආර්ථික ප්‍රශ්නය වෙත හැරෙමු. ඉරාන යුද්ධය සමග, විශේෂයෙන්ම ඉරානය අසල්වැසි ගල්ෆ් කලාපයේ රටවලට පහර දීමත්, හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමත් සමග ලෝක ආර්ථිකය වෙත ඇති වූ ප්‍රබලතම කම්පනය නම් තෙල් මිල ඉහළ යාමයි. මෙය පූර්වේක්ෂණය නොකළ, කම්පන තත්වයකි. අප ජීවත් වන යුගය ලෝකයේ රටවල ආර්ථිකයන් අන්‍යොන්‍ය වශයෙන් සමීපව බැඳී තිබෙන, සංකීර්ණ යුගයකි. ලෝක ආර්ථිකය තුළ සිදුවන කම්පන සහගත තත්වයන් ලෝකයේ රටවලට පොදුවේ මුහුණදීමට සිදු වෙයි. විශේෂයෙන්ම, ලංකාව බඳු කුඩා ආර්ථිකයන් තිබෙන රටවලට මෙම බලපෑමට බහුල වශයෙන් මුහුණ දෙන්ට සිදු වී තිබේ.

මේ නිසා තෙල් ප්‍රශ්නයක් ඇති වීම ලංකාවේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බව වටහා ගැනීමට විශේෂ ප්‍රතිභාවක් අවශ්‍ය නැත. සාධාරණ මනසක් තිබෙන ඕනෑම පුද්ගලයෙක්ට, මෙය ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බව වැටහෙයි. එසේ නම්, ප්‍රශ්නය වන්නේ එම තත්වය ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරගැනීමට ආණ්ඩුව කෙතරම් සමත් වී ද යන්නය. මෙම ප්‍රශ්නය අබියස ආණ්ඩුව කටයුතු කළ ආකාරය අපට ආකාර තුනක් ඔස්සේ හඳුනා ගත හැක.

පලමුව, කෙටිකාලීන වශයෙන්, පවතින තෙල් සංචිත කළමනාකරණය කරගැනීම සඳහා ආණ්ඩුව තෙල් මිල වැඩි කළේය. මීට අමතරව, සලාක ක්‍රමයට තෙල් බෙදාහැරීම ක්‍රියාත්මක කොට ඇත. තෙල් මිල ඉහල යාම පාලනය කිරීම සඳහා තෙල් වලට සහනාධාරයක් ලබාදීම අනෙක් කැපී පෙනෙන පියවරයි.‍ මෙම සහනාධාර තීරණය විශේෂ එකක් වන්නේ, මේ වනවිට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව එලෙස සහනාධාර ලබාදීම සම්බන්ධව යම් සීමාවක් පවතින නිසාය. මෙම ප්‍රශ්නය ජා.මූ. අරමුදල සමග සාකච්ඡා කොට නිරාකරණය කරගැන්ම ආණ්ඩුව සමත් වී තිබෙන බව සහනාධාරය ලබාදීමට ගත් තීන්දුව සමග පෙනී යයි.

මෙම මූලික ක්‍රියාමාර්ගවලට අමතරව, සමාජයේ අඩු ආදායම්ලාභී කොටස් විශේෂයෙන් ඉලක්ක කොට ගෙන, යම් සහන වැඩපිලිවෙලක එලැඹෙන බව ආණ්ඩුව ප්‍රකාශ කොට ඇත. ඒ සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග කව‍රේදැ’යි ඉදිරියේ දී අපට දැකගත හැකි වනු ඇත.

දෙවනුව, මධ්‍යකාලීන වශයෙන්, විකල්ප ප්‍රභවවලින් තෙල් ලබාගත හැකිදැ’යි සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාව හා රුසියාව සමග සාකච්ඡා ආරම්භ කොට ඇත. තෙවනුව, දිගුකාලීන වශයෙන්, මෙබඳු කම්පන තත්වයකට ඔරොත්තු දීම සඳහා ලංකාවේ තෙල් ගබඩා කිරීමේ ශක්‍යතාවය වර්ධනය කිරීම සඳහා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නවීකරණය කිරීම සඳහා ඉන්දියාව සමග එලැඹි එකගතාවය වේගවත් කොට ඇති බවට පුවත් පළ විය.

අපගේ අවධානය ඇත්ත වශයෙන්මයොමු විය යුත්තේ මෙන්න මේ දිගුකාලීන උපාය මාර්ගය වෙතය. බලශක්තිය හා ආහාර යන ක්ෂේත්‍රවල ස්වාධිපත්‍යය යනු වර්තමාන යුගයේ බෙහෙවින් අත්‍යවශ්‍ය දේවල් වෙති. ගෝලීය වසයෙන් සිදු වන කැලඹිලි සහගත තත්වයන් අබියස යම් ප්‍රමාණයකට හෝ ඔරොත්තු දී සිටීමට නම්, බලශක්ති හා ආහාර ස්වෛරීත්වය ශක්තිමත් කරගැනීමට කවර හෝ රටකට සිදු වෙයි. ලංකාවේ තෙල් ගබඩා කිරීමේ ශක්‍යතාවය ඉහල නැංවීම හා තෙල් මත යැපීම අවම කිරීම සඳහා පුනර්ජනනීය බලශක්තිය වෙත වැඩි වසයෙන් යොමු වීම දිගුකාලීන වශයෙන්‍ මේ නිසා අත්‍යවශ්‍ය වෙයි.

ප්‍රශ්නය මෙයයි; ආණ්ඩුව විසින් සිදුකොට තිබෙන මෙම කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ගවලට වඩා මූලධාර්මික වශයෙන් වෙනස් යමක් විපක්ෂය යෝජනා කොට තිබේද? ඊට වඩා වෙනස් අදහසක් විපක්ෂයේ කණ්ඩායම් වෙතින් ඉදිරිපත් වී ඇද්ද? යුද්ධය ‘කල් තියා නොදැකීම’ යන අර්ථ විරහිත විවේචනය මිස, මීට වඩා වෙනස්, ඵලදායී විකල්ප වැඩසටහනක් විපක්ෂය විසින් ඉදිරිපත් කොට නැත.

දෙවන ප්‍රශ්නය වන්නේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය හා විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ කරුණයි. මේ අරභයා විපක්ෂයේ පිරිස් වෙතින් ඉදිරිපත් වන විවිධ විවේචනවල සංගතභාවයක් නොමැත. නිදසුන් ලෙස, පසුගිය වසරේ, ට්‍රම්ප් ආණ්ඩුව ලංකාවට අදාල තීරු බදු ඉහල නැංවූ අවස්ථාවේ විපක්ෂයේ පිරිස්වල චෝදනාව වූයේ අනුර දිසානායක රජය ට්‍රම්ප් ආණ්ඩුව – එනම් බටහිර කඳවුර සමග මිත්‍රශීලී නොවන නිසා, එම ප්‍රශ්නය ඇතිව තිබෙන බවය.

කෙසේ වුවද, පසුගිය දවස්වල ඉදිරියට ආ විවේචනය නම්, ජාතික ජන බලවේගයේ රජය යුද්ධයේ දී ඇමරිකාවට පක්ෂපාතී බවය. විශේෂයෙන්ම, ලංකාවේ සමුද්‍රාසන්න කලාපය තුළ ඉරානයේ අයිරිස් ඩෙනා නෞකාවට ඇමරිකාව පහර දීමත් සමග විපක්ෂය ආණ්ඩුව ‘ඇමරිකානු ගැති වීම’ පිලිබඳ විසාල ඝෝෂාවක් මතු කළේය.

මේ වනවිට මෙම ඝෝෂාවේ හිස්කම මොනවට පැහැදිලි වී තිබේ. මෙම යුද්ධයේ දී ලංකාව මධ්‍යස්ථ බව ආණ්ඩුව ගෙන තිබෙන ස්ථාවරයයි. පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ජනාධිපති අනුර දිසානායක කල අනාවරණය ; එනම් ඇමරිකාව ප්‍රහාරක ගුවන් යානා දෙකක් ලංකාවේ නැවැත්වීමට කළ ඉල්ලීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ බව අන්තර්ජාතික වශයෙන් දැඩි අවධානයට ලක්විය. ප්‍රධාන පෙළේ අන්තර්ජාතික මාධ්‍ය ගණනාවක් ලංකාවේ ආණ්ඩුව ගත් මෙම තීරණය වාර්තා කොට තිබූ අතර එය බොහෝ විචාරකයන්ගේ ප්‍රශංසාවට ද බඳුන් වී තිබුණි.

මෙම යුද්ධයේ පසුබිම තුල, ලංකාව අන්තර්ජාතික වශයෙන් සාකච්ඡාවට ලක් වූ දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර, අයිරිස් ඩෙනා නෞකාවට පහර දුන් ඉක්බිති, මානුෂවාදී පදනම මත අනෙක් ඉරාන නෞකාව වෙත ලංකාවට ඇතුලු වීමට ඉඩ දීම මෙලෙසම අවධානයට ලක්විය. මෙය කැපී පෙනුණේ, අයිරිස් ඩෙනා නෞකාවට ඉන්දීය සාගරය තුල සිදු කළ පහර දීම හෙලා දැකීමට ඉන්දියාව ඉදිරිපත් නොවූ පසුබිම තුළය.

ඉන්දීය සාගරය ලෝක බල පොරයට ස්වාධීන, ‘සාම කලාපයක්’ විය යුතු බවට වූ යෝජනාව ලංකාවේ අනුග්‍රාහකත්වය සහතිව එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කළේ 1970 ගණන්වලය. එවකට, නොබැඳි ව්‍යාපාරයේ පුරෝගාමියෙක් වූ ඉන්දියාව ලෝක සාමය පිලිබඳ දැඩි ස්ථාවරයක පසුවිය. එබඳු ඉතිහාසයක් තිබෙන ඉන්දියාව, සිය අසල්වැසි කලාපය තුල ඉරාන නෞකාවට සිදුකළ ප්‍රහාරය හෙලානොදැකීම එරට තුල ද දැඩි විවේචනයට බඳුන් විය.

මේ තත්වය තුළ, ලංකාව වැනි කුඩා රටක්, මානුෂවාදී පදනම මත අනෙක් නෞකාව සිය වරායට ඇතුලත් කරගැනීම සහ සිය මධ්‍යස්ථ ස්ථාවරය මත පදනම්ව ඇමරිකාව වැනි බලවත් රටක් විසින් කල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම කීර්තිමත් නිමේෂයක් ලෙස අපගේ ජාත්‍යන්තර සබඳතා ඉතිහාසය තුල සටහන් වනු ඇත.

මතු කළ යුතු අනෙක් ප්‍රශ්නය එයයි ; මීට වඩා දෙයක් ලංකා ආණ්ඩුව කළ යුතුව තිබුණේදැ’යි විපක්ෂය යෝජනා කරනවාද? බලගතු රටක ඉල්ලීම අබියස යම් ප්‍රතිපත්තිමය ස්ථාවරයක් උඩ ලංකාව කටයුතු කළ ආකාරය අන්තර්ජාතික වශයෙන් අගය කිරීමට ලක්වන පසුබිමක – අපගේ මෑතකාලීන ඉතිහාසය තුළ එබඳු අවස්ථා වැඩිපුර නොවූ බව අපි සැවොම දනිමු – විදේශ ප්‍රතිපත්තිය අරභයා ලංකාව එක්සත් ජනපදයට ගැති වූ බව තවමත් විපක්ෂය කියන්නේද?

ප්‍රජාතන්ත්‍රවාදය යනු විවිධ දේශපාලන ව්‍යාපෘතීන් බලය සඳහා එකිනෙකා සමග තරග කරන පද්ධතියකි. ප්‍රජාතන්ත්‍රවාදය යන්න අර්ථාන්විත වන්නේ, දේශපාලන පක්ෂ යම් ප්‍රතිපත්තියක් මත ජනතාව දැනුවත් කරමින්, සංවිධානය කරමින් දේශපාලනය කිරීමට උත්සාහ කරන විටදීය.

කෙසේ වුවද, මේ වනවිට අප දකිමින් සිටින්නේ තරමක විපරිත තත්වයකි. ජනතාව අතර දේශපාලනය කිරීමට විපක්ෂයේ පිරිස්වල එතරම් උනන්දුවක් නැත. අතීතයේ දුටු ලෙස, පක්ෂ ප්‍රතිසංවිධානය කරමින්, ශාඛා සමිති ගොඩනගමින්, ජනතා විරෝධතා සංවිධානය කරමින් මහජනයා බල මුලු ගැන්වීම කෙරෙහි විපක්ෂය එතරම් උනන්දුවක් දක්වනු පෙනෙන්නේ නැත.

ඒ වෙනුවට, ලංකාවේ සමකාලීන විපක්ෂය ‘ගොඩෝ උන්නැහේ එනකම්’ බලා සිටී. එනම් යම් බාහිර කම්පනයක් නිසා ආණ්ඩුව අසීරුතාවයට පත්වනු ඇති බවත්, ඉන්පසු බලය තමුන්ට ලැබෙනු ඇති බවත් සිතමින්, අපේක්ෂාසහගතව කල් බලයි. සැමුවෙල් බෙකට්ගේ නාටකයේ නම්, ගොඩෝ උන්නැහේ ආවේ නැත. සමගි ජන බලවේගයට, එක්සත් ජාතික පක්ෂයට සහ පොදුජන පෙරමුණට ඔවුන්ගේ ගොඩෝ උන්නැහේ මුණ ගැසෙනු ඇද්දැ’යි ඉතිහාසය විසින් තීරණය කරනු ඇත.

රමිඳු පෙරේරා

Related articles

එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් වැදගත් වේ : එහෙත් බල දේශපාලනය එහි ශක්තිය හීන කරයි !

දෙවන ලෝක යුද්ධය අවසන් වූ දා සිට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකභාවය සඳහා වූ වේදිකාව ලෙසත්, ජාතීන් කතා...

දීපචෙල්වන්ගේ කෘති රේගුව විසින් රඳවා ගනියි : ශ්‍රී ලංකා රේගුව විසින් ඉතිහාසය පුරා දෙමළ කෘති රඳවා තබාගැනීමේ හේතුව කුමක්ද?

රාජ්‍ය සම්මානලාභී ලේඛක , දීපචෙල්වන් ප්‍රදීපන් විසින් ඉන්දියාවේ මුද්‍රණය කර නැවකින් මෙරටට ගෙන ආ පොත් තොගයක් ශ්‍රී ලංකාවේ ඒකීයත්වය...

විශිෂ්ටතම හා විශාලතම චරිතාපදානය Indian Sun

බෙංගාලි ජාතික මහා සංගීතඥ පණ්ඩිත් රවී සංකර් ( Pandith Ravi Shanker 1920 - 2012 ) පිළිබඳව මෙරට ඉන්දියානු...

“ජීවත්වීම සඳහා සංක්‍රමණිකයෙකුගේ ජීවිත සැලැස්ම” – “The Brutalist”

2024 වසරේ තිරගත වූ "The Brutalist" චිත‍්‍රපටය හුදෙක් සාමාන්‍ය චිත‍්‍රපටයක් ලෙස ස්ථානගත කළ නොහැකි අග්‍රකෘතියක් ලෙස ස්ථානගත කළ...