‘නොබැඳි පිළිවෙත, මධ්‍යස්ථභාවය, සදාචාරය සහ ජාතික අවශ්‍යතා’

Share post:

(මේ ලිපිය 2026 මාර්තු 25 වනදා ‘The Island’ පුවත්පතේ පලවූ ‘Nonalignment, Neutrality, Morality and the National Interest’ ලිපියේ සිංහල පරිවර්තනයයි)

මාර්තු 9 සහ 13 අතර කාලය තුළ සැලසුම් නොකළ ‘සුහද සංචාරයක්’ සඳහා ඉරාන නාවික හමුදා යාත්‍රා තුනකට මෙරට වරායන් වෙත පැමිණීමට අවසර නොදීම සහ මාර්තු 4 සහ 8 අතර කාලය තුළ මත්තල සිවිල් ගුවන් තොටුපොළට අමෙරිකානු ප්‍රහාරක යානා දෙකක් ගොඩබෑමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ‘නොබැඳි පිළිවෙත’ සහ ‘මධ්‍යස්ථභාවය’ යන වදන් දේශීය හා ගෝලීය මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතී. සිත්ගන්නාසුළු කරුණ නම්, පවතින බොහෝ තොරතුරු මූලාශ්‍රවලට අනුව, මෙම ඉල්ලීම් දෙකම ලැබී ඇත්තේ ඉරාන සහ ඇමරිකානු-ඊස්රායෙල් ගැටුම් ආරම්භ වීමට පැය 48කට පෙර, එනම් 2026 පෙබරවාරි 26 වැනි දින වීමයි.

මෙම ‘සුහද සංචාරය’ සඳහා ශ්‍රී ලංකාව අවසර නොදුන්න ද, අමෙරිකානු නාවික හමුදාව විසින් අයි.ආර්.අයි.එස්. ඩේනා නෞකාව ගිල්වා දැමූ අවස්ථාවේදී එහි සිටි ඉරාන නාවිකයින් 30කට අධික පිරිසක් බේරා ගැනීමටත්, මළ සිරුරු 80කට අධික සංඛ්‍යාවක් සොයා ගැනීමටත් ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදා කටයුතු කළහ. එසේම, තාක්ෂණික දෝෂ පවතින බව ප්‍රකාශ කළ තවත් ඉරාන නෞකාවක් වන අයි.ආර්.අයි.එස්. බුශේහර් නෞකාවට ත්‍රිකුණාමලයට ඇතුළු වීමට ඉඩ ලබා දෙන ලදී.

එනමුත් මෙය සිදු කරනු ලැබුවේ නෞකාව ශ්‍රී ලංකාවේ පාලනය යටතට ගෙන, එහි සිටි නාවිකයන් නෞකාවෙන් වෙන් කර කොළඹට රැගෙන ඒමෙන් පසුවය. එමගින් එම නෞකාවට තවදුරටත් කිසිදු හමුදාමය හා ප්‍රහාරාත්මක අරමුණක් නොමැති බවට තහවුරු කෙරිණි.

ඉරාන ගැටලුව සම්බන්ධයෙන් මාර්තු 5 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, “අපගේ ස්ථාවරය වී ඇත්තේ අපගේ මානුෂීය වටිනාකම් ප්‍රදර්ශනය කරන අතරම අපගේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගැනීමයි” යනුවෙන් සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “මේ සියල්ල මධ්‍යයේ රජයක් ලෙස අප මැදිහත් වී ඇත්තේ රටේ කීර්තිය හා ගෞරවය සුරැකෙන, මිනිස් ජීවිත ආරක්ෂා කරන සහ ජාත්‍යන්තර සම්මුතීන් කෙරෙහි අපගේ කැපවීම පෙන්නුම් කරන ආකාරයටයි” යනුවෙනි. මධ්‍යස්ථභාවය යන්නෙන් ඔහු අදහස් කළ දේ පැහැදිලි කරමින්, “අපි කිසිදු රාජ්‍යයකට පක්ෂග්‍රාහීව කටයුතු නොකරන්නා සේම, කිසිදු රාජ්‍යයකට යටත් වන්නේ ද නැත … මෙය රාජ්‍යයකට ගත හැකි වඩාත්ම නිර්භීත හා මානුෂීය ක්‍රියාමාර්ගය බව අප තරයේ විශ්වාස කරනවා” යැයි පැවසීය.

අමෙරිකානු ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මාර්තු 20 වැනිදා පාර්ලිමේන්තුවේදී නිරීක්ෂණය කළේ, “ජිබුටි හි පවත්වාගෙන ගිය කඳවුරක සිට නැව් නාශක මිසයිල අටක් රැගත් යුධ ගුවන් යානා දෙකක් ලංකාවට ගොඩබෑමට ඔවුන්ට අවශ්‍ය වූ” බවත්, “ලංකාවේ මධ්‍යස්ථභාවය පවත්වා ගැනීම සඳහා අපි එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ” බවත්ය.

මෙම සිදුවීම් දෙකේදීම, ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථභාවය යළි තහවුරු කිරීමට අමතරව අවධාරණය කෙරුණු අනෙක් කරුණ වූයේ, ශ්‍රී ලංකාව දිගු කලක සිට අනුගමනය කරන ‘නොබැඳි පිළිවෙත’ පිළිබඳ නිල ස්ථාවරයයි. ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තු කතාවේදී සඳහන් කළ පරිදි, “ඉල්ලීම් දෙකක් අප ඉදිරියේ තිබියදී තීරණය පැහැදිලි විය … කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී වීම වැළැක්වීම සඳහා අපි ඒ දෙකම ප්‍රතික්ෂේප කළෙමු.”

සැලකිය යුතු කාලයකට පසුව මධ්‍යස්ථභාවය සහ නොබැඳි පිළිවෙත යන සංකල්ප හදිසියේම ශ්‍රී ලංකාවේ දේශපාලන කතිකාවේ පෙරමුණට පැමිණ ඇතත්, එය මතුව ඇත්තේ රජයේ චින්තනයේ හෝ පොදු පිළිගැනීමේ මට්ටමින් ගැඹුරින් සලකා බැලූ ප්‍රතිපත්තිමය ස්ථාවරයකට වඩා වාග්ලංකාර අර්ථයකිනි.
මා මෙය පවසන්නේ මෙම සංවාද සහ ප්‍රකාශවල අන් තීරණාත්මක සංකල්ප දෙකක් ඇතුලත් වී නැති බැවිනි. ඒවා නම් ‘සදාචාරය’ (morality) සහ ‘ජාතික අවශ්‍යතාව’ (national interest) යි.

මෙම සංකල්ප දෙක කෙරෙහි නිසි ලෙස අවධානය යොමු නොකරන්නේ නම්, පෙර කී සංකල්ප අර්ථ විරහිත වන තරමටම ඒවා එකිනෙක හා බැඳී පවතී. මෙම සිදුවීම් දෙකේදීම ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ එය හැසිරවූ රාජ්‍යතාන්ත්‍රික හා පරිණත ආකාරය පිළිබඳව මට කිසිදු ගැටළුවක් නැත. මා මීට පෙර ලියා ඇති කරුණක් මෙහිදී ඉදිරියට මතුවී ඇත. එනම්, ප්‍රබල රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී කුඩා රාජ්‍යයන් පැහැදිලි ස්ථාවර හැකි සැම විටම ගැනීමට අවශ්‍යතාව සහ ඒ සඳහා ඇති සාධාරණ හැකියාවයි. මෙවර ශ්‍රී ලංකාව එය ඉටු කර ඇත.

කෙසේ වෙතත්, ‘මධ්‍යස්ථභාවය’ සහ ‘නොබැඳි පිළිවෙත’ යන සංකල්ප දෙකම හුදු වචන ලෙස පමණක් සලකා, ඒවාට අදාල සන්දර්භයෙන් බැහැරව තේරුම් ගත නොහැක. ඒවා වඩාත් පුළුල් ඓතිහාසික හා දේශපාලනික සන්දර්භයක් තුළ පිහිටුවිය යුතුය. එය කළ හැක්කේ ‘සදාචාරය’ සහ ‘ජාතික අවශ්‍යතාව’ යන කරුණු මෙම සමීකරණයට පමණක් නොව, රාජ්‍ය ප්‍රතිපත්තියට සහ මහජන විඥානයට ද ඇතුළත් කළහොත් පමණි.

ජාත්‍යන්තර සබඳතා සංකල්පයක් ලෙස නොබැඳි පිළිවෙතෙහි ආරම්භය සිදු වූයේ තුෂ්ණි යුධ සමයේදීය. එවකට පැවති ප්‍රධාන බල කඳවුරු, එනම් අමෙරිකා එක්සත් ජනපද සහ සෝවියට් සංගමය මෙන්ම පැරණි අධිරාජ්‍යවාදී කේන්ද්‍ර සමඟ ද අත්වැල් බැඳ නොගැනීමට, බොහෝ දුරට යුරෝපීය යටත් විජිත ලෙස පැවත නිදහස් වූ රටවලින් සමන්විත වූ හා එකල සමූහයක් ලෙස ‘තෙවන ලෝකය’ ලෙස හැඳින්වූ ජාතීන් තීරණය කළහ.

අවම වශයෙන්, මෙය ඔවුන්ගේ නිල ස්ථාවරය වූ අතර, එමගින් සම්ප්‍රදායික අර්ථයෙන් තේරුම් ගත් මධ්‍යස්ථභාවයට වඩා ජාතික ස්වෛරීභාවය සහ ජාතික අවශ්‍යතාව අවධාරණය කරමින්, ස්වාධීන මාවතක ගමන් කිරීමේ අභිලාෂය පෙන්නුම් කළේය. එහෙත් ප්‍රායෝගිකව, 1970 දශකයේ නොබැඳි ව්‍යාපාරයේ බලපෑම උපරිමව තිබූ අවධියේ පවා, එහි සාමාජිකයන් බොහෝ දෙනෙක් දේශපාලන අවශ්‍යතා සහ පැවැත්ම මත පදනම්ව ඉතා පැහැදිලිව එක් හෝ අනෙක් සුපිරි බලවතා වෙත නැඹුරු වී සිටියහ. මධ්‍යස්ථභාවය යන්නෙහි විධිමත් ශබ්දකෝෂ අර්ථය වන්නේ මෙයයි: “ආරවුලකදී, ගැටුමකදී හෝ තරඟයකදී කිසිදු පාර්ශවයක් නොගැනීමයි; මෙයින් බොහෝ විට අපක්ෂපාතීත්වය, ස්වාධීනත්වය හෝ සහභාගී නොවීම වැනි ස්ථාවරයක් අදහස් කෙරේ.” ඉහත සඳහන් කළ සිදුවීම් දෙකේදීම ශ්‍රී ලංකාව ගත් වාග්ලංකාරමය ස්ථාවර වන්නේ මේවාය.

නමුත් මෙම තීරණ දෙකම මෙපරිදීම ගත යුතුව තිබූ නමුත්, ඒ ආශ්‍රිතව ගොඩනැගෙන දේශීය හා ගෝලීය කතිකා සදාචාරය සහ ජාතික අවශ්‍යතාව යන මූලධර්ම මත පදනම්ව ප්‍රවේශමෙන් මෙහෙයවිය යුතුව තිබුණි. මේවා පොදු අර්ථයෙන් ගත් විට, නොබැඳි පිළිවෙතට හෝ මධ්‍යස්ථභාවයට පටහැනි නොවේ.
මෙම සන්දර්භය තුළ යුධ වදින රටවල් දෙකටම වරාය පහසුකම් හෝ ගොඩබෑමේ අයිතිය ලබා නොදීමට ශ්‍රී ලංකාව ගත් තීරණය නිවැරදිය. එහෙත් එහි සදාචාරය ඇත්තේ කොතැනද? එහි කොටසක් තවදුරටත් ජීවිත හානි සිදු නොවන බව සහතික කිරීම සඳහා වූ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය හා එයින් අර්ථවත් වන උනන්දුව තුල ගැබ්ව ඇත්තේය.

කෙසේ වෙතත්, මෙම සදාචාරාත්මක ස්ථාවරය තුළ නොපෙනී ගොස් ඇති කරුණ නම්, අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය නීතිවිරෝධී, අශීලාචාර සහ අදාළ සියලුම ජාත්‍යන්තර නීති හා සම්මුති උල්ලංඝනය කරන්නක් බව පැහැදිලිව ප්‍රකාශ නොකිරීමයි. යුද්ධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිකුත් කර ඇති ප්‍රකාශ මෙන්ම ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා මද පෙරදිග කලාපීය නායකයන් සමඟ පැවැත්වූවා යැයි වාර්තා වන සාකච්ඡාවල ප්‍රසිද්ධියට පත් කරුණු මේ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි ස්ථාවරයක් පෙන්නුම් නොකරණ අතිශයින් සාමාන්‍ය වූ ඒවා වේ.
ඉරානය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින වාර්තාව එතරම් යහපත් නොවූවත්, ශ්‍රී ලංකාවේ සිවිල් යුධ සමයේදී බොහෝ රටවල් මෙරටට අවි ආයුධ ලබා නොදුන් මොහොතක ඉරානය අපට එවන් ආධාර ලබා දුන් රටවල් අතලොස්සට ඇතුලත් විය. එමෙන්ම දශක දෙකකට ආසන්න කාලයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වැරදි කරුවෙක් ලෙස නම් කරමින් අපකීර්තියට පත් කළ අවස්ථාවලදී ද ඔවුන් අපට සහාය විය.

ඉරානයට එරෙහි යුද්ධයේ නීතිවිරෝධීභාවය පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් ගැනීම මගින් ශ්‍රී ලංකාවට මධ්‍යස්ථව හෝ නොබැඳිව සිටිය නොහැකි බවක් අදහස් නොවේ. එවන් ස්ථාවරයක් මත පිහිටාම, ශ්‍රී ලංකාවට දැනට ගෙන ඇති තීරණයම ගත හැකිව තිබුණි. එහෙත් එය වඩාත් උසස් සදාචාරාත්මක පදනමක සිට සිදු කිරීමට එසේ කළේ නම් අවස්ථාව තිබිණි.

මධ්‍යස්ථභාවය සහ නොබැඳි පිළිවෙත ගැන නිතර දෙවේලේ කරුණු කීම ඇතැමුන් පැහැදිලි කරන්නේ, දැනට අමෙරිකාවේ බලය හොබවන උන්මත්තක ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ දෝෂාරෝපණයට ලක්වීමට රාජය ඇති බියයි. එහෙත් රිපබ්ලිකන් පක්ෂය හෝ ජනාධිපති ට්‍රම්ප් යනු රෝම අධිරාජ්‍යයේ සීසර්වරුන් නොවේ. ට්‍රම්ප්ගේ ධුර කාලය 2029 ජනවාරි මාසයෙන් අවසන් වේ.

රිපබ්ලිකන් පක්ෂය මේ වන විටත් මෙම යුද්ධයේ අහිතකර ප්‍රතිඵල සිය රට තුළදීම අත්විඳිමින් සිටියි. ට්‍රම්ප් ඇති කළ අවුල් සහගත තත්ත්වය නිසා අමෙරිකානු පුරවැසියන්ගේ ජීවන වියදම ඉහළ යාම, අනවශ්‍ය යුධ වියදම් අමෙරිකානු බදු ගෙවන්නන් මත පැටවීම සහ ජාත්‍යන්තර පද්ධතිය තුළ අමෙරිකාව දිගින් දිගටම හුදෙකලා වීම යන කරුණු සැලකිල්ලට ගත් විට, වත්මන් ක්‍රියාකලාප (මේවා දීර්ඝ කාලීන ප්‍රතිපත්ති නොවේ) මෙලෙසම අඥාන ලෙස ඉදිරියට යනු ඇතැයි සිතිය නොහැක.

උසස් සදාචාරාත්මක ස්ථාවරයක් ගැනීමට සුදුසුම කාලය මෙයයි. අප එසේ කරන්නේ නම් සහ එය දිගටම පවත්වා ගන්නේ නම්, ජාතියක් ලෙස අප ක්‍රියා කරන්නේ මූලධර්ම සහ නීති මත පදනම්ව බව පැහැදිලි වනු ඇත. එවැනි අඛණ්ඩ පැවැත්මක් තුළින්, අප සැමවිටම ජනප්‍රිය නොවූවත්, ගෝලීය තලයේ රටට ගෞරවයක් හිමිවනු ඇත. ගෝලීය බලවතුන් සමඟ ගනුදෙනු කිරීමේදී කුඩා ජාතීන්ට තිබිය යුතු තීරණාත්මක සම්පත වන්නේ එයයි. නමුත් මෙය අහම්බයන් නිසා නොව, ස්ථාවර අභ්‍යාසය තුළින්ම උපයා ගත යුත්තකි.

ප්‍රතිපත්තියක් ලෙස ‘ජාතික අවශ්‍යතාව’ ඉදිරියට පැමිණෙන්නේ ද මෙහිදීය. ශ්‍රී ලංකාව සිය තීරණ ගනු ලබන්නේ ජාතික අවශ්‍යතාව මත පදනම්ව බව වර්තමානයට පමණක් නොව අනාගතය සඳහා ද යළි යළිත් තහවුරු කළ යුතුය. අනාගත ගැටුමකදී අපගේ දේශීය ආරක්ෂාවට වාසිදායක වන්නේ නම්, අමෙරිකාවට හෝ වෙනත් ඕනෑම රටකට ගොඩබෑමට හෝ වරායට පැමිණීමට අවසර දීම පවා මීට ඇතුළත් විය හැකිය. නමුත් එවැනි තීරණයක් අප මත බලෙන් පටවන ලද්දක් නොවිය යුතුය.

මෙය පැරණි ගුරුකුලයේ අර්ථයෙන් තේරුම්ගත හැකි නොබැඳි පිළිවෙත හෝ මධ්‍යස්ථභාවය හෝ නොවේ. ඒ වෙනුවට, එය මූලධර්මයක් ලෙස ජාතික අවශ්‍යතාව සුරැකීම වෙනුවෙන් සහ ජාත්‍යන්තර සබඳතාවලදී උසස් සදාචාරාත්මක ස්ථාවරයක් පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටීමකි. එනම්, හුදෙක් කිසියම් නිශ්චිත පාර්ශවයක් ගැනීම නොවේ. එමගින් දිගුකාලීනව ප්‍රායෝගික හා වාසිදායක අයුරින් නොබැඳි පිළිවෙත මෙන්ම මධ්‍යස්ථභාවය ද සහතික කරනු ඇත.
අපගේ නායකයන් මෙන්ම ජනතාව ද දේශීය මෙන්ම ගෝලීය කරුණුවලදී ජාතික මෙහෙයුම් මූලධර්මයක් ලෙස ‘ශ්‍රී ලංකාවාදී’ විය යුතු ආකාරය ඉගෙන ගත යුතුව ඇත.

සසංක පෙරේරා

Related articles

“ජීවත්වීම සඳහා සංක්‍රමණිකයෙකුගේ ජීවිත සැලැස්ම” – “The Brutalist”

2024 වසරේ තිරගත වූ "The Brutalist" චිත‍්‍රපටය හුදෙක් සාමාන්‍ය චිත‍්‍රපටයක් ලෙස ස්ථානගත කළ නොහැකි අග්‍රකෘතියක් ලෙස ස්ථානගත කළ...

ලෝක පුජිතයාගේ නොදන්නා කතාව

කුමාර් සංගක්කාර සහභාගී වූ 'High Performance' පොඩ්කාස්ට් වැඩසටහන බැලුවා.ඩේමියන් හියුස් සහ ජේක් හම්ෆ්‍රී මෙහෙයවන 'හයි පර්ෆෝර්මන්ස්' වැඩසටහන තුළ...

‘මළා කියා හිත තදකර සිටින්නද’ – උපෙකලා අතුකෝරළ

උපෙකලා සිය නවතම කාව්‍ය එකතුව පාඨකයාට තිළිණ කර තිබේ. ඒ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. එසේම එහි කවි හතලිස්...

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සම්පූර්ණ ප්‍රකාශය !

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අපේ රටේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් සහ සිදු වන්නේ...