“ජීවත්වීම සඳහා සංක්‍රමණිකයෙකුගේ ජීවිත සැලැස්ම” – “The Brutalist”

Share post:

2024 වසරේ තිරගත වූ “The Brutalist” චිත‍්‍රපටය හුදෙක් සාමාන්‍ය චිත‍්‍රපටයක් ලෙස ස්ථානගත කළ නොහැකි අග්‍රකෘතියක් ලෙස ස්ථානගත කළ හැකි සිනමාපටයකි. එය සත්‍ය කතාවක් පෙරදැරි කරගත්තකි. කාල වකවානුව දිවෙන්නේ වර්ෂ 1947 පැවති දෙවන ලෝක යුද්ධය කාල අවකාශයක ය. යුදෙව් – හංගේරියානු ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන “ලාස්ලෝ ටෝත්” විසින් ජර්මානු බූකන්වයිල්ඩ් වධකාගාරයෙන් දිවි ගලවාගෙන ඇමරිකාවේ පෙන්සිල්වේනියා පෙදෙස වෙත සංක්‍රමණය වන්නේ ජීවිතය පිළිබඳ බොහෝ බලාපොරොත්තු දල්වා ගෙනයි. ඔහු කීර්තිමත් සහ අති දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු බව ඇමරිකානු ජාතිකයන් දැනගන්නේ බොහෝ කාලයක් ගත වූ පසුවයි. ඔහුගේ ආබාධිත බිරිඳවන එළිසබෙත් ජීවතුන් අතර සිටින බවත්, ඇය සිරව සිටින බවත් දැනගත් නමුදු ඇයව ඇමරිකාවට ගෙන්වා ගැනීමට ඔහු කිසි අයෙකුගෙන් උදව් ලබා ගන්නට හැකියාවක් නැත.

කාලාන්තරයක් පුරා ලාස්ලෝ අනාථයෙකු සේ දිවි ගෙවයි. ලාස්ලෝගේ දක්ෂතාවය වටහා ගන්නා එක් අපුරු මිනිසෙකු මුණ ගැසෙයි. ඒ ධනවත් ව්‍යාපාරිකයෙනු වන ‘හැරිසන් වෑන් ලී බියුර්න්’ ය. විශාල මන්දිරයක වෙසෙන හැරිසන්ගේ පෙනුම සහ ජීවිතය දුටුවිට නිරායාසයෙන්ම සිහිගන්වන්නේ “සිටිසන් කේන්” චිත‍්‍රපටයේ එන “චාල්ස් ෆෝස්ටර් කේන්” ධන කුවේරයා ය. හැරිසන් විසින් ලාස්ලෝ ළඟට පැමිණෙන්නේ ඔහුගේ අතීතය පිළිබඳ මනා අධ්‍යයනයකින් යුතුව ය. හැරිසන් විසින් ලාස්ලෝට අලුතින් ජීවිතයක් ගෙවන්නට එක්තරා වරමක් ලබා දෙයි. ලාස්ලෝට අවශ්‍යය වන්නේ අනාථයෙකු සේ දිවි ගෙවීමට වඩා ඇමරිකානු සිහිනය හඹා ගොස් ජය පැන් බොන ජේත්තුකාරයකු වීමට ය.

ලාස්ලෝ එම අවස්ථාව නොපැකිළව හැරිසන් වෙතින් ලබා ගනී. ධනවත් හැරිසන් විසින් ලාස්ලෝ ලවා විශාල ව්‍යාපෘතියක් සිදු කරවා ගනී. හැරිසන්ගේ මිය ගිය මව වෙනුවෙන් විශාල ගොඩනැගිල්ලක පිඹුරුපතක් සහ ආකෘතියක් ලාස්ලෝ අතින් නිර්මාණය කර ගනී. නමුත් ලාස්ලෝ නොදැන හැරිසන් අතින් පාවිච්චි වෙති. අහිංසක ලාස්ලෝට හැරිසන් විසින් අමානුෂික ලෙස හිරිහැර කරයි. “The Brutalist” සිනමාපටයේ ගෙතෙන්නේ ලාස්ලෝ නම් විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියාගේ දිවියේ ප්‍රතිබිම්බයයි.

සිනමාපටයේ ධාවන කාලය පැය තුනයි විනාඩි තිහකි. පැය තුනයි විනාඩි තිහක දීර්ඝ චිත‍්‍රපටයක් වූව ද සිනමාපටය ආරම්භය සිට අවසාන රූප රාමුව තෙක් පවත්වාගෙන යන රිද්මය සහ සංයමය විසින් අධ්‍යක්ෂවරයාගේ ශූරත්වය ප්‍රක⁣ට කරන්නකි. “The Brutalist” සිනමාපටය අධ්‍යයක්ෂණය කර ඇත්තේ “බ්‍රැඩි කෝබට්” නම් සිනමාකරුවා විසිනි. ඔහුගේ අදියුරු කාර්ය මැනවින් ඉටු කර ඇති අතර සිනමාපටය පටන් ගන්න පළමු විනාඩ්යේ සිට අවසාන විනාඩිය දක්වා සිනමාපටයේ රිද්මය ද කතාවේ ගලායාම ද ඛණ්ඩනය නොවී එකසේ පවත්වාගෙන යන්නට දරණ සංයමය සහ ශික්ෂණය සිනමාපට පුරා කැපී පෙනෙන්නකි. මෙවැනි සංයමයක් සිනමාපටයක අසිරිය දැකගන්නට ලැබෙන්නේ කලාතුරකිනි. චිත‍්‍රපටයේ සුසාධිත තිර පිටපත විසින් කතා රසය ද වීර රසය ද ඉස්මතු කර ඇත. තිර පිටපත සඳහා සැබෑ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ජීවිත කතා ආභාසය කරගෙන තිබේ.

සිනමාපටයේ නළු නිළියන්ගේ රංගන කාර්යය පිළිබඳ කථා කළ යුතුමය. “ලාස්ලෝ ටෝත්” නම් චරිතයට පණ පොවන “ඒඩ්‍රියන් බ්‍රෝඩ්” රූපණවේදියාගේ රංගනය යථාර්ථවාදී ය. එම චරිතයට අනුව ඔහුගේ මුහුණින් ප්‍රකට වන දුක, ආතතිය, නිහතමානී සතුට පිළිබඳ හැඟීම් සමුදාය නළු ඒඩ්‍රියන් සතු ප්‍රතිභාමේ මහිමයේ තතු ගෙනඑන්නකි. එම රංගනයේ තිබූ විශිෂ්ටබව නිසාම ඒඩ්‍රියන් විසින් 97වැනි ඔස්කාර් සම්මාන උලෙළෙහි හොඳම නළුවා සම්මානය දිනාගන්නට සමත් විය. ඒඩ්‍රියන්ගේ රංගනයට පසුව ප්‍රේක්ෂකාගාරයේ අවධානය නතු කරගන්නා අනෙක් චරිතය වූයේ ධනවත් ව්‍යාපාරික ‘හැරිසන් වෑන් ලී බියුර්න්’ සඳහා පණ පෙවූ නළු ගයි පියර්ස්ගේ රංගනයයි.

චිත‍්‍රපටයේ සිනමානුරූපි ගුණය තීව්‍ර කිරීම සඳහා කැමරා අධ්‍යක්ෂවරයා විසින් යොදාගෙන ඇති අපුරු තාක්ෂණික ක්‍රියාදාමයක් පිළිබඳ තතු විස්තර වෙයි. එනම් සිනමාපටය සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ 35 mm පටලපට සහිත කැමරාවලිනි. සිනමා රූප ගොඩ නඟා ඇත්තේ VistaVision නමැති 35 mm පටල ආකෘතියෙනි. එම නිසාම සිනමාපටය නියෝජනය කරන යුගය පිළිබඳ අපුරු කලාත්මකබවක් ප්‍රේක්ෂකයාගේ ඇසෙහි රඳන්නට ගත් උත්සාහය අපුරු ය. මෙම ආකෘතිය යටතේ රූගත කළ අවසාන චිත‍්‍රපටය වූයේ 1963 වසරේ තිරගත වූ “My Six Loves” චිත‍්‍රපටයයි. ඒ අනුව වසර 61කට පසු සම්පූර්ණයෙන්ම ආකෘතියෙන් රූගත කරන ලද පළමු ඇමරිකානු චිත්‍රපටය වන්නේ “The Brutalist” චිත‍්‍රපටයයි. සිනමාපටයේ සංස්කරණය, කැමරාකරණය, ආලෝකකරණය, පසුතල නිර්මාණය, වේෂ නිරූපණ ශිල්පය, ඇඳුම් පැළඳුම් නිර්මාණය, පසුබිම් සංගීතය, වර්ණ සංයෝජනය ආදී සියළු ආනුෂංගික අංග විසින් ඉටු කර ඇති කාර්යය කතාවේ විශ්වසනීයත්වය තහවුරු කර ඇත.

නොමිනිස්කම සහ සදාචාරාසම්පන්නබව අතර ගැටුමක තතු ගෙන එන ”ද බෘටලිස්ට්” ප්‍රේක්ෂකාගාරය ප්‍රශ්න කරන්නට පෙළඹෙන්නේ ලාස්ලෝ ටෝත් වැන්නෙකුට එවැනි දෙයක් සිදු කළේ ඇයිද? යන්නයි. පශ්චාත්තාපය පිළිබඳ එක්තරා ආකාරයේ සටහනක් තබන්නට “The Brutalist” චිත‍්‍රපටය විසින් උත්සාහගෙන තිබේ. මනුෂ්‍යයාගේ ගතික හැසිරීම් මඟින් සාන්තුවරයාගේ සිට ජාගර සිතුවිලි ඇති මිලේච්ජසහගත මිනිසකු දක්වා පරිවර්තනය වීමටට පිලිවන. යුරෝපීය සිනමාපටයක් විසින් ආඛ්‍යානයක් ගොඩනැඟීමේ දී දුට හැකි ප්‍රමිතිය ද සිනමානුරූපිබව නිසා ම “The Brutalist” වැනි සිනමාපටයක් නරඹන ප්‍රේක්ෂකාගාරය ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යෑමට සමත් වෙයි.

මලින්ත විතානගේ

(මෙම ලිපිය 2026 මාර්තු 19 වැනිදා සරසවිය පුවත්පතේ මුල්වරට පළ විය.)

Related articles

‘නොබැඳි පිළිවෙත, මධ්‍යස්ථභාවය, සදාචාරය සහ ජාතික අවශ්‍යතා’

(මේ ලිපිය 2026 මාර්තු 25 වනදා ‘The Island’ පුවත්පතේ පලවූ ‘Nonalignment, Neutrality, Morality and the National Interest’ ලිපියේ...

ලෝක පුජිතයාගේ නොදන්නා කතාව

කුමාර් සංගක්කාර සහභාගී වූ 'High Performance' පොඩ්කාස්ට් වැඩසටහන බැලුවා.ඩේමියන් හියුස් සහ ජේක් හම්ෆ්‍රී මෙහෙයවන 'හයි පර්ෆෝර්මන්ස්' වැඩසටහන තුළ...

‘මළා කියා හිත තදකර සිටින්නද’ – උපෙකලා අතුකෝරළ

උපෙකලා සිය නවතම කාව්‍ය එකතුව පාඨකයාට තිළිණ කර තිබේ. ඒ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. එසේම එහි කවි හතලිස්...

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සම්පූර්ණ ප්‍රකාශය !

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අපේ රටේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් සහ සිදු වන්නේ...