ලෝක පුජිතයාගේ නොදන්නා කතාව

Share post:

කුමාර් සංගක්කාර සහභාගී වූ ‘High Performance’ පොඩ්කාස්ට් වැඩසටහන බැලුවා.
ඩේමියන් හියුස් සහ ජේක් හම්ෆ්‍රී මෙහෙයවන ‘හයි පර්ෆෝර්මන්ස්’ වැඩසටහන තුළ සාකච්ඡා කරන්නේ ක්‍රීඩා දිවියේ ඉහළටම ගිය ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් පිළිබඳව.

ඔවුන්ගේ ජීවිතය, සාර්ථකත්වයට හේතු, අභියෝග වැනි දෑ මේ වැඩසටහනේ සාකච්ඡා කෙරෙනවා.
බ්‍රිතාන්‍යයේ තරමක ජනප්‍රිය මෙම වැඩසටහනට උසේන් බෝල්ට්, ටයිසන් ෆියුරි, ගොර්ඩ්න් රැම්සි, ෆර්නැන්ඩො ඇලොන්සො වැනි ලෝක පූජිතයන් සහභාගී වී තිබෙනවා.

එය හුදෙක් ‘ඕපාදූප’ වැඩසටහනකට එහා ගිය අධ්‍යාපනික කතාබහක්.
මෙවැනි වැඩසටහනකට සහභාගී වීමට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව පමණක් ප්‍රමාණවත් නැහැ. ඉන් එහා ගිය දැනුමක්, කියවීමක් සහ අවබෝධයක් තිබිය යුතුයි.

කුමාර් සංගක්කාරට ඕනෑවටත් වඩා ඒ කියවීම, අවබෝධය සහ පරිචය තිබෙනා බව වැඩසටහන පුරාවටම පෙනුණා.
ආරම්භයේ සිටම සංගක්කාර සිය ජීවිතය ගොඩනැගුණු ආකාරය, තමන් ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දුන් කැපවීම සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කළා.
මෙහිදී සංගා සිය පියා, තමන්ට කුඩා කල දැඩි බලපෑමක් සිදුකළ බව ප්‍රකාශ කළා.

බ්‍රිතාන්‍ය සංස්කෘතියට ගොඩනැගුණු ජේක් සහ ඩේමියන්ට මේ තත්ත්වය වැටහුණේ කුඩා සංගාව, ඔහුගේ පියා විසින් බන්ධනයට යටත් කරනවා වගේ.
ඒ මොහොතේ සංගා එය නිවැරදි කිරීමට සමස්ථ ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ එහි දෙමාපිය – දූ දරු සබඳතාවය පිළිබඳව විචිත්‍රවත් ලෙස පැහැදිලි කළා.
එමෙන්ම මේ පැයකට ආසන්න කාලය තුළ කුමාර් සංගක්කාර යන ලෝක පූජිත එමෙන්ම සෑම අතින්ම සාර්ථක මිනිසා නිර්මාණය වූ ආකාරය විග්‍රහ කර ගැනීමට හැකියි.

සංගා ම කියනා ආකාරයට ඔහුගේ පියා ඔහුට දුන් එක උපදෙසක් තිබුණා.
‘ඔබ කුමක් කළත්, ඒ දෙය පිළිබඳව ඉගෙන ගන්න. එහි සංස්කෘතිය, එහි තාක්ෂණය, ඉතිහාසය පිළිබඳව සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න. ඉන්පසුව එය හරියටම කරන්න’.
කුමාර් ක්‍රිකට් ක්‍රීඩාවේ දී සිදු කළේත් එයයි.

ඔහු දැඩි කැපවීමකින් සිය දක්ෂතා ඔපමට්ටම් කර ගත්තා. ඔහුට ක්‍රීඩාවේ ඉතිහාසය, සංස්කෘතිය පිළිබඳව පුළුල් දැනුමක් හිමියි.
මෙවැනි ‘සම්පූර්ණ බ්‍රිතාන්‍ය’ වැඩසටහන් වලට ආරාධනා ලබන එකම දකුණු ආසියාතික ක්‍රිකට් ක්‍රීඩකයා සංගක්කාර වන්නේත් එම නිසාමයි.
සංගාට වඩා ඉහළ දස්කම් පෑ, ජනප්‍රිය, විශාල රසික පිරිසක් හිමි විරාත් කෝලි ජීවත් වන්නේත් එංගලන්තයේයි.
නමුත් කෝලිට මෙවැනි වැඩසටහන් සඳහා ඇරයුම් ලැබෙන්නේ නැහැ.
සංගා කියනා ආකාරයට ඔහුගේ පියා ඔහුට බොහෝ විෂයන් උගන්වා තිබෙනවා.
ඇතැම් දිනක බ්‍රිතාන්‍ය ඉතිහාසය, තවත් දිනෙක ලතින් භාෂාව, තවත් දිනෙක නීතිය සංගා ට ඉගෙනීමට සිදුවුණා.
එමෙන්ම ඔහුට දැඩි විනයක් යටතේ ක්‍රිකට් සහ ටෙනිස් පුහුණු වීමට සිදුවුණා.
කුමාර් සංගක්කාර යන පරිපූර්ණ ක්‍රීඩකයා සහ සංස්කෘතික මිනිසා නිර්මාණය වූයේ අහම්බයකින් නොවන බව පැහැදිලියි.
එමෙන්ම සංගා නිරතුරුවම මේ මොහොතේ ඔහු සිටිනා තැනට වඩා ඉදිරියට යෑමට, තමන්ගේ දක්ෂතා ඔපමට්ටම් කර ගැනීමට උත්සාහ කළ බව කියනවා.
සිය ක්‍රීඩා ජීවිතයේ අවසන් කාලයේත් එම කැපවීම කළ බව සංගා කියනවා.
සැබැවින්ම කුමාර් සංගක්කාර සිය අවසන් එක්දින තරග පහෙන්, හතරකම ශතක වාර්තා කළ ක්‍රීඩකයෙක් වීම පිළිබඳ පුදුම විය යුතු නැහැ.
වැඩසටහනේ දී සංගා කියූ තවත් අපූරු කතාවක් මගේ සිත් ගත්තා.
‘ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම තවත් එක් රැකියාවක් නොවෙයි. මිලියන විස්සක් ඔබ දිහා බලන් ඉන්නවා. ඔබ මිලියන විස්සක් නියෝජනය කරනවා. ඒ සමග ‘සදාචාරාත්මක, ශිෂ්ඨ වගකීමක්’ ඔබට පැවරෙනවා.’
සංගා මේ වගකීම නිර්වචනය කිරීමට භාවිතා කළ වචනය ‘Civic responsibility’.
වැඩසටහන පුරාවටම ඩේමියන් සහ ජේක් නිහඬව අසා සිටියා.
සැබැවින්ම අප රටේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට පමණක් නොව, සෑම දෙනාටම ඉගෙන ගත හැකි බොහෝ දෑ කුමාර් සංගක්කාරගේ ජීවිතයේ තිබෙනවා.
කැපවීම, අධිෂ්ඨානය, අධ්‍යාපනයේ වැදගත්කම, පුරවැසි වගකීම බොහෝ දෑ සංගා ගේ ජීවිතයෙන් උගත හැකියි.
ඔහුගේ දැනුම පමණක් නොවෙයි, ඔහුගේ විලාසිතාව සහ ශාරීරික භාෂාව පවා ඉතාම ආචාරශීලියි, විනීතයි.
ඔහු මහත්මයෙකු සේ අඳිනවා. ඔහු මහත්මයෙකු සේ කතා කරනවා, මහත්මයෙකු සේ හැසිරෙනවා.
අප රටේ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන් සිංහල උපසිරැසි සහිතව හෝ මේ වැඩසටහන නැරඹිය යුතුයි.
වර්තමානයේ ඔවුන් ප්‍රේක්ෂකයන්ට මැදඟිලි දිගු කරමින්, ඉතාම රස්තියාදු භාෂාවකින් සන්නිවේදනය කරමින්, රස්තියාදුකාරයන් සේ හැසිරෙමින් විනාශ කරනා අතීත ශ්‍රී විභූතිය පිළිබඳව ඔවුන්ට අදහසක් ඇති විය යුතුයි.
කටුක යථාර්තය නම් ඉංග්‍රීසි භාෂාව අමතක කර, සිංහල භාෂාවෙන් හෝ මෙවැනි සාරවත් විග්‍රහයක් කිරීමට බුද්ධිමය ධාරිතාවයක් ඇති ක්‍රීඩකයන් වර්තමාන ජාතික කණ්ඩායමේ නැහැ.
ඒ බව දන්නා නිසාදෝ මෙරට සාමාන්‍ය මාධ්‍ය ඔවුන් වැඩසටහන් වලට ගෙන්වා, කැමතිම නිළිය සහ කැමතිම නිරූපිකාව පිළිබඳව ප්‍රශ්න අහනවා.
සැබැවින්ම වර්තමාන ක්‍රීඩකයන්ගේ දැනුම සහ පරාසය පවතින්නේ එතැන.
සංගා පුන පුනා ප්‍රකාශ කළ ‘පුරවැසි වගකීම’ පිළිබඳ දශමයක හෝ අවබෝධයක් වර්තමාන කණ්ඩායමට නැහැ.
ඔවුන්ගේ විලාසිතා, භාෂාව, හැසිරීම පවතින්නේ ඉතාම අවර තැනක.
ක්‍රීඩාව තුළ පවා සංගා කියූ, ‘අද සිටින තැනින් ඉදිරියට යෑමේ ගුණය’ වර්තමාන ක්‍රීඩකයන්ට නැහැ.
සංගාට තිබූ සිහින, බලාපොරොත්තු ඔවුන්ට නැහැ.
එමෙන්ම ‘ඔබ කරනා යමක් ඇත්නම්, එය හරියට කරන්නැයි’ සංගා විශ්වාස කළ ධර්මය, කිසිවෙකු විසින් හෝ ඔවුන්ට අවබෝධ කර දී නැහැ.
මේ වැඩසටහන නරඹන සාමාන්‍ය බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට ‘ශ්‍රී ලාංකිකයා’ පිලිබඳව චිත්‍රයක් මැවෙනවා.
එය ඉතාම ධනාත්මක, සතුටුදායක ප්‍රතිරූපයක්.

අනෙක් අතට වර්තමාන ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව පිළිබඳව නිර්මාණය කරන චිත්‍රය, අප ශ්‍රී ලාංකිකයන් වීම ගැන පවා මොහොතකට ලැජ්ජාවක් ඇතිකිරීමට තරම් සෘණාත්මකයි.

කුමාර් සංගක්කාර ලා නියෝජනය කළ කණ්ඩායමක, කුසල් මෙන්ඩිස් ලා නියෝජනය තරම් කඩාවැටීමක් තවත් නැහැ.
සංගා සහභාගී වූ ‘High Performance’ වැඩසටහන නරඹන ලෙසට මා ඔබට යෝජනා කරනවා.
එයින් ඔබට වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවට වර්තමානයේ ‘අහිමිව තිබෙනා කොටස’ පිළිබඳව ඉතාම පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි වේව්.

Ireshan Siriwardhana (fb)

    1. 20

Related articles

‘මළා කියා හිත තදකර සිටින්නද’ – උපෙකලා අතුකෝරළ

උපෙකලා සිය නවතම කාව්‍ය එකතුව පාඨකයාට තිළිණ කර තිබේ. ඒ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. එසේම එහි කවි හතලිස්...

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සම්පූර්ණ ප්‍රකාශය !

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අපේ රටේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් සහ සිදු වන්නේ...

අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්...

මිහිඳු හිමි දෙවැනි පෑතිස් රජුට දුන් සාංචි අනුරුවේ පරීක්ෂණ හමස් පෙට්ටියේ !

ලංකාවේ තිබූ වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බව...