අදත් ලංකාවේ ප්‍රකට වානේ පන්නරය ලියූ නිකොලායි

Share post:

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා… ඉවාන් පවුලුෂා…
ඇයිද හොරැහින් බදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලෙන්නේ

අප්සරාද සිල්වා ගයන මෙම ගීතය වසර කීපයකට පෙර අපේ තරුණ පෙළ ආකර්ශනය කළ සිංදුවක්. එහි පදරචනය චාරුක සුරවීරගේ. මෙම ගීතයේ කියැවෙන ඉවාන් පවුලුෂා නිකොලායි ඔස්ත්‍රොස්ව්කි නම් විශිෂ්ට සෝවියට් ලේඛකයා අතින් ලියැවුණු වානේ පන්නරය ලැබූ හැටි නවකතාවේ ප්‍රධන චරිතය වන පාවෙල් කොර්චාගින් හෙවත් පවුලුෂායි. මෙම ගීයට පාවෙල්ගේ කතා තේමාව පදනම් වී තිබෙනවා. පාවෙල්ගේ චරිතයට පදනම් වී ඇත්තේ ලේඛකයාගේම ජීවිත කතාවයි.

ගීතය ගායනා කරන්නේ එහි කාන්තා චරිතය වන තෝන්යායි. ඇය පවුලුෂාගේ පෙම්වතියයි. ඔවුන් අතර හටගන්නා ගැටුම් නවකතාවේ අපූරුවට නිරූපණය කර තිබෙනවා. මේ ඉන් කොටසක්,

“තෝන්යා පොදු දේශපාලන වැඩවලට ඇදගැනීමට පාවෙල් තැත් කළේය. කොමියුනිස්ට් තරුණ සංවිධානයේ පොදු නාගරික සභා රැස්වීමට ඔහු ඇයට ආරාධනා කළේය. තෝන්යා කැමැති වූවාය. එහෙත් ඇය ඇඳුම් ඇඳගෙන කාමරයෙන් පිටවූ විට පාවෙල් තොල් විකා ගත්තේය. ඈ ඉතා සිත්කලු ලෙස වුවමනාවෙන්ම මෝස්තර අනුව ඇන්ඳාය. ඔහු ඇය රැස්වීමට කැඳවීමට අකමැති විය.

දෙදෙනා අතර පළමුවැනි ගැටීම ඇති වූයේ එදාය. ඔය විදියට ඇඳුම් ඇන්ඳේ මන්දැයි ඔහු ඇසූ විට ඈ අමනාප වූවාය:

(වානේ පන්නරය ලැබූ හැටි – පරිවර්තනය දැදිගම වී රුද්රිගු)
අවුරුදු 32යි

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ජීවත් වුණේ අවුරුදු 32යි. ඔහු උපන්නේ සෝවියට් විප්ලවයට පෙර රුසියන් අධිරාජ්‍යයට අයත්ව තිබූ යුක්රේනයේ විලියා කියන ගමේ. අද ඒ ගම හඳුන්වන්නේ Ostroh Raion කියලයි. 1904 සැප්තැම්බර් 4 කම්කරු පවුලක උපත ලැබූ නිකොලායි 9 පන්තියට එනකම් ඉස්කෝලෙ ගියා. 1914 දී ඔවුන්ගේ පවුල දුම්රිය මාර්ගය අද්දර ගමක් ෂෙපෙටිව්කා වෙත යනවා. එහිදී නිකොලායි ඉගෙනීම අමතක කරලා ළමා කම්කරුවකු විදිහට ජීවිතය පටන් ගන්නවා. ඒ දුම්රිය ස්ටේෂමේ මුළුතැන්ගෙයි කම්කරුවකු විදිහටයි. එහි ගිනි උදුනට සහාය වන‍ ඔහු පසුව ජීවිතය ගැටගසා ගන්නට දැව ගබඩාවක සහ විදුලි බලාගාරයකත් වැඩ කරනවා.

මේ අතර තමයි ටිකෙන් ටික මර්දනකාරී සාර් වැඩවසම් පාලනයට එරෙහිව රුසියාවේ තරුණයන් සංවිධානය වන්නේ. වර්ෂ 1917 දී සෝවියට් විප්ලවය සිදුවන විට 13 හැවිරිදි වූ ඔහු බොල්ෂෙවික් පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වෙනවා. නිකොලායි 1918 දී රතු හමුදාවට බැඳී තුවක්කුව අතට ගන්නවා. ඒ විප්ලවය ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමින්. 1920 දී ඔහු සටන් පෙරමුණකදී තුවාළ ලබනවා. නැවතත් හමුදාවට පැමිණියත් යළිත් තුවාල ලැබූ නිසා වෛද්‍ය හේතු මත හමුදාවෙන් ඉවත් වෙනවා. ඊට පසු ඔහු දුම්රිය වැඩපොළක විදුලි කාර්මිකයෙක් ලෙස සේවය කරනවා. මේ අතර රෝගාබාධ ඔහු ගිල ගන්නවා. ආණ්ඩුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා ඇසෝ ප්‍රදේශයට යවන්නේ 1922 දී. යළිත් 1923 දී ඔහු රතු හමුදා පුහුණු මධ්‍යස්ථානයක කොමිසාර් කෙනෙක් බවට පත් කරනවා. මේ කාලයේ දී නිකොලායි විවාහ වන්නේ 19 හැවිරිදි රේසා මට්ස්යුක් සමඟයි.

මේ අතර මේ දිරිමත් මිනිසාගේ සෞඛ්‍යය දිනෙන් දිනම පිරිහෙනවා. 1926 දී ප්‍රතිකාර සඳහා ක්‍රිමියාවට යැව්වත් ඔහු සුවපත් වන්නේ නැහැ. ඔහු ඇඳට පමණක් සීමා වෙනවා. නමුත් ඔහු රෝගී තත්ත්වයේ සිටින අතරම මොස්කව් කොමියුනිස්ට් විශ්වවිද්‍යාලයෙන් තැපැල් මාර්ගික පාඨමාලාවක් හදාරනවා. එය 1929 දී සම්පූර්ණ කරගත්තත් ඒ අවුරුද්දෙම ඇස් පෙනීම ඔහු හැරයනවා.

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි අන්ධභාවයට පත් වුණත්, ”මා නැවතත් මිනිසුන් අතරට ආවා” කියලා කිව්වේ සාහිත්‍ය නිර්මාණයෙන් අලූත් ජීවිතයක් ලබා ගත් නිසයි. සිදුරු කපා ගත් කාඩ්බෝඞ් එකක් කඩදාසියක් මත තියලා, ඔහු ලේඛනයේ යෙදුණේ අපේ ජී. බී. සේනානායක වගේ උත්සාහ කරමින්.
ඔහු අංශභාගය සහ ස්නායු රෝගයක් නිසා අවුරුදු 12ක් ඇඳට සීමාවූ ජීවිතයක් ගත කළා. ඒ අතරින් අවුරුදු 8ක් ගතකළේ ලොව නොපෙනෙන අන්ධයකු ලෙසින්. නමුත් ඒ කාලය තුළ ඔහු ලෝකය ඉතා සියුම්ව දුටු බව ඔහුගේ කෘති සාක්ෂි දරනවා. 1936 සීතල දෙසැම්බරයේ 22 දා ඔහු මෙලොවින් සමුගන්නවා. ඒ තම දෙවැනි නවකතාව බාගෙට ලියමින් සිටින විටදියි.

අන්ධ වුණත් වානේ පන්නරය ලැබූ හැටි ලිව්වා

ඇඳට සීමා වු මේ අන්ධ දිරියවන්තයා තම පළමු නවකතාව ලියන්න පටන් ගන්නේ 1930 දී. වානේ පන්නරය ලැබූ හැටි ( How the Steel Was Tempered) නම් එය සමාජවාදී අදහස් ඇති තරුණයන් කැළඹවූ නවකතාවක් බවට පත් වෙනවා. මුලින්ම ඔහු ලිව්වේ පැන්සල තද කරගෙන අකුරු අතගා බලමින්. නමුන් සමහර අවස්ථාවලදී ලියූ අකුරු උඩින් තවත් අකුරු පේළි ලියවුණා. මේ නිසා රුසියන් බසින් ට්‍රාන්ස්ප්ලාන්ට් නමින් හැඳින්වෙන කාඩ්බෝඩ් කැබැල්ලක දිග අතට සිදුරු කපා ලියන කඩදාසිය ඒ මත තබා සිදුරු ඔස්සේ අතුරු ලියමින් කතාව රචනා කළා. එය ඔහුගේ අත්දැකීම් සහිත පෞද්ගලික ජීවිත කතාව බවට පත් වුණා. එය කොමියුනිස්ට් ලෝකයට වඩාත් බලපෑමක් කළ නවකතාව වශයෙන් අදත් සැලකෙනවා. මෙය අප රටෙත් අද පවා ජනප්‍රිය බව එහි නව මුද්‍රණ තවමත් නිකුත් වීමෙන් පේනවා. එය මුලින්ම රුසියන් භාෂාවෙන් සිංහලට පරිවර්තනට කළේ දැදිගම වී රුද්රිගු විසින්. එම නවකතාවට 1935 දී ලෙනින් ත්‍යාගය හිමිවෙනවා. ඔහු ජීවත්ව සිටි කාලයේ දී පමණක් එය 37 වරක් නැවත මුද්‍රණය කරනවා. පසුව ඔහුට ලේඛනයට සහාය වීමට රජය විසින් ලේකම්වරියක් ලබාදෙනවා.

මෙහි ප්‍රධාන චරිතය වන පාවෙල් කෝර්චාගින් කියන්නේ නිකොලායිගේ චරිතයමයි. එහි කුඩා පාවෙල් පූජකයාගේ පිටිවලට දුම්කුඩු මිශ්‍ර කරනවා. ඒ නිසා ඔහු පාසලෙන් අස්කරනවා. ගිනි උදුන් සේවයකු ලෙස, විදුලි බලාගාර සහායකයකු විලස හා රේල් පාරේ කම්කරුවකු ලෙස ඔහු වැඩකරනවා. ඔහු ධනවාදීන්ට වෛර කරන්නට පටන් ගන්නවා. ඔහුගේ ජීවිතට රළුයි. ඒත් ඔහු මානව දයාවෙන් පිරුණු හදවතක් ඇත්තෙක්. තෝන්යා නම් තරුණිය ඔහුට ළංවන්නේ ඒ ගතිගුණවලට කැමැත්තෙන්. නමුත් කම්කරුවාට ආදරය කරන තෝන්යාට කම්කරුගේ අදහස්වලට ආදරය කිරීමට නොහැකි වෙනවා. මේ නිසා ඔවුන් දෙදෙනා වෙන්වෙනවා.

අඳ නෙතින් සිතමින් ඔහු දෙවැනි නවකතාව රචනා කිරීමට පටන් ගත්තා. එය කොටස් තුනක් වශයෙන් ලිවීමටයි ඔහු සැලසුම් කළේ. නමුත් ඔහුට ලියා නිම කිරීමට ලැබුණේ ඉන් දෙවැනි කොටසේ පළමු පරිච්ජේදය දක්වා පමණයි. මරුවා ඊට පෙර ඉස්සර වුණා. එය නොනිමි නවකතාවක් ලෙස ප්‍රකාශයට පත් වුණා. ඔහු 1936 දෙසැම්බර් මස අගදී මිහිදන් කළ අවස්ථාවේ එම නවකතාව කඩිනමින් රජයෙන් මුද්‍රණය කරවා ඔහුට ගරු කිරීමක් ලෙස අවමංග්‍යයට සහභාගිවූවන් අතර බෙදාදුන්නා.

මේ නවකතාව සිංහල පාඨකයන්ට පසුගියදා කියවන්නට ලැබුණා. රුසියන් මුල් පිටපතින් එය පරිවර්තනය කළේ රන්ජන දේවමිත්‍ර සේනාසිංහයි. රුසියානු භාෂාව පිළිබඳ උසස් දැනුමක් සතු රන්ජන එය මුල් කෘතියෙන් අසංක්ෂිප්ත අයුරින් කළ පරිවර්තනයක්. මෙම විශිෂ්ට පරිවර්තන කාර්යය වෙනුවෙන් පසුගියදා මොස්කව්හිදී රන්ජන දේවමිත්‍රට නිකොලායි ඔස්ත්‍රොව්ස්කි ජාත්‍යන්තර සම්මානයද හිමිවුණා. එම සම්මානය ලාංකීය පරිවර්තකයෙකුට ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

මේ අපූරු ලේඛකයා ලියූ පොත් ඇසුරින් චිත්‍රපට සහ රූපවාහිනී ටෙලිනාට්‍ය සහ නාට්‍ය පවා නිපදවා තිබෙනවා. සෝවියට් සංගමය විසින් 1942 දී වානේ පන්නරය ලැබූ හැටි චිත්‍රපටය නිර්මාණය කරනවා. 1956 දී පාවෙල් කොර්චාගින් නම් චිත්‍රපටයත් එය ඇසුරින් නිපදවනවා.
ඔහුගේ වානේ පන්නරය ලැබූ හැටි රුසියාවේ පමණක් නොවෙයි අපේ රටෙත් අදත් නැවත මුද්‍රණය වෙනවා.

කුසුම්සිරි විජයවර්ධන

Related articles

‘සිංහල අධ්‍යයන’ හා ‘සිංහල සංස්කෘතික අධ්‍යයනවලින්’කළ හැක්කේ කුමක්ද?

2026 ජනවාරි 8 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ පැවති ‘මහැඳුරු අනඳ අබිමන් උවසර උළෙලේදී’ සසංක පෙරේරා කළ කතාව. ප්‍රවේශය මහාචාර්ය...

“හැම ආගමකම සාමය ගැන පණිවිඩයක් මතුකරගන්න විභවයක් තියනවා”

හිතට කනස්සල්ලක් දැනුනම, ඒ බර තනිව දරාගන්න බැරි වෙද්දි, මිනිස්සු හැමෝම කුමක් හරි දෙයකට ඇබ්බැහි වෙනවා. කෙනෙක් සංගීතයට,...

“ලාංකේය අව්‍යාජත්වයේ ජාතිකවාදී ආලංකාරිකය වෙත ආපසු හැරී බැලීමක්”

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලනය දිවයිනේ පශ්චාත් යටත් විජිත ගමන් පථය හැඩගැස්වීමෙහිලා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කර ඇත. දශක ගණනාවක...

ජාතියක් අධිනිශ්චය නොවන නිදහසක් මෙවර සැමරුවා

මෙවර නිදහස… මෙවර නිදහස් සැමරුම ගැන කියද්දි මේකත් කියන්න ඕනි. ඒ තමයි යහපාලනයේ යම් මොහොතකදි දැක්කට පස්සේ ජාතිවාදයෙන් නැත්නම්...