සිහිනය සහ යථාර්ථය අතර ඝට්ටනය

Share post:

ඊයේ මොහාන් රාජ් මඩවලගේ Toxic ගැන සංවාදයක් අහන්න ලැබුණා. ඒ බොරැල්ලේ අලුතින් විවෘත කළ සමුද්‍ර සොල්දරයෙදි. සමුද්‍ර සොල්දරය හරි අපූරු වැඩක්. කොළඹ මැද මේ වගේ තැනක් ලේඛක ලේඛිකාවන්ට විවෘත වීමම අගය කළ යුතු වැඩක්. මේ වගේ කාලෙක ඒ වගේ දේවල් කියන්නෙම මේ ක්ෂේත්‍රයේ උන්නතියට වැදගත් දේවල්. හරි දැන් යමු ටොක්සික් ගැන කතාවට.

මොහාන් රාජ් මඩවල 2025 දී ලියන නවකතාව තමයි Toxic. මේකට ගර්භ විස කියලත් යටින් දාලා තියෙනවා. කොහොම වුණත් මේ ගැන විවිධ තැන්වල විවිධ අදහස් කියවෙනවා දැක්කා. මේක තේරුම් ගනන් අමාරු කතාවක් කියලත් කියවුණා. ඊටපස්සෙ මේක මරු කියලත් කියවුණා. ඒ හැම අදහසක්ම වැදගත්. මොකද ඒ නියෝජනය වෙන්නෙ විවිධ පාඨක අදහස්.

මෙතනදී මොහාන් රාජ් මඩවල ගන්න ටර්නින් එකක් පේනවා. ඓතිහාසික කතා ලියමින්, මායා යථාර්ථවාදය හෙවත් Magical Realism ඇතුළෙ හිටපු මොහාන් රාජ් මඩවල මන්දෝදරීවලට එද්දි ටිකක් Surrealism නැත්නම් සිහින යථාර්ථවාදී පැත්තට බරවෙනවා. මේක ටිකක් දිරවගන්න අමාරුයි තමයි. මන්දෝදරී ඇතුළෙදි වගේම Toxic ඇතුළෙදිත් සයිකොලොජිකල් පැත්තට බර ලිවීමක් තමයි දකින්න ලැබෙන්නෙ. මට මේ පොතේ ආතල් දෙකක් තියෙනවා.

පළවෙනි එක ඊයේ සංවාදයේදී චින්තන ධර්මදාස මතු කරපු කාරණයක්. ඒ තමයි මේක Gen Z එකට ලිව්වට මේ පොත ඇතුළෙ හදි හූනියම්, දැඩිමුණ්ඩ වගේ පැරණි මිත්‍යාවන් තියෙනවා. ඒවා අලුත් විදියකින් ගේන්න මොහාන් උත්සාහ කරලා තියෙන බව.

මට මතක් වුණේ 2018 නොබෙල් සම්මානය දිනපු ඔල්ගා තොකර්චුක් ඇගේ නොබෙල් දේශනයේදී කියපු කතාවක්. ඇය මෙන්න මෙහෙම කියනවා.
“අනාගතය සඳහා පමණක් නොව අධිවේගයෙන් පරිවර්තනය වන අද ලෝකයේ, වඩාත් ස්ථාවර වර්ථමානය සඳහා ද, ප්‍රමාණවත් ආඛ්‍යානයන් අප සතුව සූදානම්ව නොමැති වීමේ කාරණය අප ඉදිරියේ ඇති ප්‍රශ්නය බැව් පෙනේ. නව මිත්‍යාවන් සහ ප්‍රබන්ධයන්, රූපක, දෘෂ්ටි කෝණයන් මෙන්ම භාෂාවක හිඟතාවයක් අපට ඇත. එහෙත් අනාගතය සහ අනාගත උපකල්පනයන් සඳහා නොගැලපෙන බුද්ධියෙන් සන්නද්ධ වීම්, කාලානුරුපි ආඛ්‍යානයන් නිර්මාණයට නිතර කරන උත්සාහයන් අපට පෙනුණද, කිසිවක් නැති නව්‍යයකට වඩා පැරණි දේ යහපත් බව උපකල්නය කිරීම හෝ අපේ බුද්ධිමය සීමාවන් සමඟ මේ ආකාරයෙන් ගනුදෙණු කිරීම ගැන කිසිදු සැකයක් නැත. කෙටියෙන් කියන්නේ නම්, ලෝකයේ කතාව කියන්නට අපට නව ආකාරයන්ගේ හිඟතාවයක් ඇත.“

ඔල්ගා කියන මේ මිත්‍යා, උපමා රූපක හිඟයට එක්තරා විදියක විකල්පයක් තමයි මම ටොක්සික් පොතේදි දකින්නෙ. ඒ පැරණි මිත්‍යා සහ රූපක අලුත් ආකාරයෙන් ගෙන ඒම. එහෙමත් නැත්නම් පැරණි රූපකවලට අලුත් අර්ථකතන දීම. ශැංග්‍රීලා කේක් කන කුකුල්ලු දෙන්නා වගේ උදාහරණ ගණනාවක් මේකෙදි තියෙනවා.

ඒ අර්ථයෙන් බැලුවම, හැමදාම කියවන ඔ්ලාරික සිංහල නවකතා ගොන්නෙන් එහාට වෙන අදහසක් ටොක්සික් වගේ පොතක් ඇතුළෙ තියෙනවා. හැබැයි මේක කියවගන්න එක ටිකක් දිරවන්නේ නැති බව තේරෙනවා. මොකද ඒක අර අපිට කිඳබැහැලා තියෙන සෝවියට් කතන්දර ආර නෙමෙයි. අඩුතරමින් අර මායා යථාර්ථවාදී එකකුත් නෙමෙයි. අනාගත ලෝකය පරිකල්පනය කරන්න හදන අලුත් උත්සාහයක්. අනාගතය පරිකල්පනය කරන්න අපිට තියෙන මේ හිඟතාවයට ඒක ඇතුළෙන්ම ගේන්න පුළුවන් යම් විසඳුමක්. මේ රූපක, සංකේත ලිහාගන්න එක තමයි වැදගත්.

දෙවෙනි ආතල් එක මෙන්න මේ විදියෙ දෙයක්. පොත ඇතුළෙදි පාඨකයා මුහුණදෙන අර්බුධයක් තමයි Dream & Reality කඩන්නේ කොහොමද කියන කාරණය. ඇත්තටම මේක කියවද්දි පාඨකයාට හීනය මොකක්ද, යතාර්ථය මොකක්ද කියන එකත් එක්ක අරගලයක නිරතවෙන්න සිද්ධ වෙනවා. මේකෙදි ඔබ ඔය දෙක වෙන්කරන්න ගියොත් සෑහෙන අර්බුධයක වැටෙනවා. මොකද ඒක උගුලක්. ඇත්තටම මේ උගුලෙ තමයි අපි දැන් වැටෙමින් ඉන්නෙ. අපේ අනාගත ජීවිතය කියන්නේ හීනය සහ යථාර්ථය අතර සීමාව බොඳ කරලා දාන එකක්. AI වගේ තාක්ෂණයන් හරහා මේ වෙද්දි ඒක සියුම් විදියට කරමින් තියෙනවා. ඒ නිසාම මේ පොත අපිට ඉඟි කරනවා අපේ අනාගත ජීවිතයට තියෙන අර්බුධය. ඒක තමයි අනාගතය පරිකල්පනය කරනවා කියන්නෙ. Ken Kesey තමන්ගෙ One Flew Over the Cuckoo’s Nest ලියලා අවුරුදු විසිපහකට විතර පස්සෙ ඒක සැබෑවක් වෙනවා. හැබැයි Kesey ඒක පරිකල්පනය කරන්නෙ ඊට සෑහෙන කාලෙකට කලින්.

මොහාන් අපිට ඉඟි කරනවා ඉස්සරහට එන්නේ සිහිනය සහ යථාර්ථය වෙන්කරගන්න බැරි මනුස්ස ජීවිත බව. වර්චුවල් සහ පිසිකල් වෙන්කරගන්න බැරි ජීවිත. පොත පුරාම අපි මුහුණ දෙන අර්බුධය සරලවම ඔ්ක තමයි. මේ මොන මගුලක්ද කියලා සමහරවිට පොත කියවන ඔබට හිතෙයි. හැබැයි ඒකම තමයි පොතේ වැඩේ. මේකට පාවිච්චි කරන අර පොඩි ළමයි අඳින ජාතියේ චිත්‍ර ඒකෙම කොටසක්.
මොහාන් තවදුරටත් මායා හෝ ඉන්ද්‍රජාල යථාර්ථවාදී ලියන්නෙක් නෙමෙයි. එයා දැන් Dream & Virtual Reality ලියන්නෙක්.

රශ්මික මණ්ඩාවල

Related articles

2009 සැප්. 02 – 2017 පෙබරවාරි 08 : ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයෙන් සහ අයුතු ඇතුළුවීමෙන් මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් !

ඇත්ත යළිත් දිනුවේය. ඇත්ත ඉදිරියේ, සාධාරණත්වය ඉදිරියේ යළිත් ඔවුහු පරාජයට පත් වූහ. ජනතා සටන් ඉදිරියේ පාලකයන්ට සියල්ල අකුලාගෙන...

පරිවර්තන පහසුකම් හදන්නට පොලිස්පතිට ඇත්තේ තවත් මාසයක් පමණයි !

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් ලබන මාසයේ 08 වැනිදා වන විට ඉටු කළ යුතු ව තිබේ. එනම් අද...

‘චෙම්මීන්’ – තකලි ශිව ශංකර පිල්ලෙයි

ඉන්දියානු සාහිත්‍යය ඇසුරු කරනා වාරයක් පාසා මා හදවත විශ්මයටත් ආහ්ලාදයටත් පත් කරයි. පෞරාණික ඉතිහාසයක් හිමි ඉන්දියානු සාහිත්‍ය වරින්...

අම්බුළුවාව දූෂණ ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි : අපි වරදක් කරලා නෑ – පා.ම. අනුරාධ ජයරත්න

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් පිහිටවනු ලැබූ අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ...