පසුගිය ඉරිදින ( 2025 – 12 – 21 ) සැදෑවේ අපි තවත් සහනාධාර ද්‍රව්‍ය -වගයක් බාරදීම පිණිස ගන්නෝරුවේ වූ හඳබිම – අධිකාරිය වෙත ගියෙමු. එම කටයුත්ත හමාරය කොට පෙරළා එනවිට මහවැලි ගංකොමළිය මගේ නෙත ගැටුණි.
පසුගියදා ශ්‍රීලාංකාව මුහුණදුන් දිට්වා සොබාවික ව්‍යසනයෙන් අනතුරුව මහවැලි ගංකොළිය බොහෝ සෙයින් සැඩපරුෂ වී ඇත්තේ ය. මැය තවමත් මුහුදට මුදාහරින්නේ තද බොරපැහැ ගංවතුර බව පෙනේ. මැය තම සුපුරුදු ගමන්මඟ හෙළිපෙහෙළි කරගණු පිණිස
අනවසරයෙන් ඉදිකර තිබෙන නානාවිධ ගෙවල් – දොරවල් ඇතුළුව වාණිජමය ගොඩනැගිලි සියල්ලම කිසිදු වගවිභාගයකින් තොරව සුද්ධ – පවිත්‍ර කොට ඇත්තේ ය.
ගැටබේ සිට කටුගස්තොට දක්වා දිවෙන ගමන් මාර්ගය එදින අපගේ ගමන් මාර්ගය විය. මාර්ගයේ දකුණු දෙසට ( එනම් ගැටඹේ සිට කටුගස්තොට ගමන් කරන වේට ) හමුවන අනවසර ලෙස ඉදිකර තිබුණු බොහෝ වාණිජමය ගොඩනැගීලි වර්තමානයේ එකක්වත් දකින්නට නොමැත. අතරින් – පතර එකක් දෙකක් හමුවුනද ඒවා ඉදිතලා ගොසිනි. එසේම ඒවා ජනතාව විසින් අතහැර දමා ගොසිනි. එදා මෙම මාර්ගයේ ඇතැම් ස්ථානවල පිහිටි කුඩා ක්‍රීඩාපිට්ටනි හා වාහන නැවතුම් ස්ථාන වර්තමානයේ එකක්වත් දකින්නට නොමැත. එම ස්ථාන හදුනාගැනීමට හැකි සංඛේත පමණක් එනම් සුන්බුන් වී ගොඩනැගිලි , ගඟ දෙසට කඩාගෙන වැටී ඇති පස්කදු හා ගස්කොළං පමණක් ඉතිරිව ඇත්තේ ය. ඒ හැර අන්කිසිදු සංඛේතයක් වර්තමානයේ එහි දකින්නට නොමැත.
වර්තමානයේ මාර්ගය තරමක් හුදෙකලා වී ගොසිනි. මාර්ගයට තැනින් නැත කඩාගෙන වැටී තිබුණු දැවැන්ත පස්කදු මහාමාර්ග දෙපාර්තමේන්තුව ( RDA ) විසින් බැකෝ යන්ත්‍ර යොදා සුද්ධ-පවිත්‍ර කරගෙන යයි. මේ දිනවල මහනුවර ප්‍රදේශයට හොදින් හිරුරැස් පතිතවන බැවින් මාර්ගයට සෝදාගෙන පැමිණි පස් වියලී එමගින් අධික දූවිලි කන්දරාවක් ගුවනට නැගේ. එම නිසා ගමනාන්තය අවසන් වත්ම තම තමන්ගේ වාහනය සෝදා – පවිත්‍ර කිරීමට අනිවාර්යයෙන්ම හිමිකරුවන්ට සිදුවනු ඇත . ත්‍රිවිල් රථවලින් හා යතුරු පැදිවලින් ගමන් කරන උදවිය වෙත්ද ඔවුනට එම දූවිලි කන්දරාව කෙසේ නම් දරාගැනීමට හැකිද යන්න මට සිතේ.
මා මේ කියන්නට යන කතාව මෙම සටහනේ හැරවුම් ලක්ෂය හෝ සාරාංශය වන්නේ ය. එය මෙසේ ය.
හේ නමින් එම්. කේ ආරියරත්න විය. මා මොහුව ආමන්ත්‍රණය කරනුයේ “ආරි බාසුන්නැහේ” යන නමිනි. ඒ මොහුගේ වෘත්තිය ගොවිකමට අමතරව වඩුවැඩ වන බැවිනි. බෞද්ධ භික්ෂුවක් වශයෙන් මා චීවරය දෙවුර මත දරාගත් දා සිට පවුලේ හැර වෙනත් කිසිවකුට නෑදෑකම් කියන්නේ නැත. සමහරවිට එය මගේ පරපුරෙන් එන ජානමය පුරුද්දක් වීමට පුලුවනි. මොහුගේ වයස අවුරුදු හැත්තෑහතරකි ( 1951 – 2025 ). එනමුත් තවමත් දුව- පැන වැඩකරන මොහු
නිකරුනේ තප්පරයක්වත් ගත නොකරන කාර්යශූර ගැමියෙකි. පාසැල් අධ්‍යාපනය මගදී නතරකර දමා ඇති බව කියැවේ. ඒ තම පියාගේ වඩුමඩුවේ වැඩවලට උදව්-උපකාර කරනු පිණිස ය .
මොහු පනහා දශකයේ සිට පසුගිය ඉරිදින දක්වාම සතියේ අග පුවත්පත් අකුරක් නෑර කියවයි. හැටේ දශකයේ මොහුගේ ජනප්‍රියතම ඉරිදින පුවත්පත “සිළුමිණ” ය . විසිඑක්වැනි සියවස දක්වාම සිළුමිණ පුවත්පත කියවූ මොහු වර්තමානයේ අරුණ සතිඅග පුවත්පතට මාරු වී ඇත්තේ ය. ඒ ඇයිදැයි කියා කීමට මම නොදනිමි. මෙහි වඩාත්ම වැදගත් කාරණය ලෙස මා දකිනුයේ වර්තමානය වනවිට මෙරට පුවත්පත් සංස්කෘතිය කඩාගෙන වැටී තිබෙන අවදියක වුවද මොහු තවමත් සතිඅග පුවත්පතක් මිලදීගෙන එහි අකුරක් නෑර කියවීමයි.
මොහු සාමාන්‍ය ගැමියකු නොවේ. බෞද්ධ දර්ශනය පිළිබඳව කතාබහ කරන අතර ශ්‍රීලාංකේය පුරාතන ඉතිහාසය හා ශිෂ්ටාචාරය පිළිබඳව ද කතාබහ කරයි. සිංහල සාහිත්‍ය පිළිබඳව ද එසේම යි. ගෙවීගිය විසිවැනි සියවසේ සිට වර්තමානත දක්වා මෙරට සිදුවූ දේශපාලන, සමාජීය හා ආර්ථික ද එසේම සංස්කෘතික ද විවිධ වෙනස්කම් හා හැලහැප්පීම් පිළිබඳව මොහු ඇවිදින පුස්තකාලයක් බඳුය. මෙරට ජන සංස්කෘතිය හා ජනකවි – උපමා – උපහැරට යනාදිය පිළිබඳව මොහුට ඇත්තේ සුවිසල් දැනුමකි. මොහුත් සමගින් කතාබහ කරන විට මොහුගේ මුවින් අවස්ථානුකූලව විවිධ ගැමි උපමා – උපහැරන පිටවේ. සමහරක් ඒවා මා ජීවිතේට අසා නොමැති ගැමි උපමා – උපහැරන වන්නේ ය.
මොහුගේ ප්‍රියතම ලේඛකයා වනුයේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ය. එහෙයින් වික්‍රමසිංහයන් විසින් රචිත නවකතා ඇතුළු විචාර පොතපතෙන් බහුතරයක් මොහු විසින් කියවා තිබේ. දිනක් මා සමගින්”ගම්පෙරළිය” -1944 නවකතාවේ දේශපාලන හා සමාජීය පසුබිම පිළිබඳව මොහු ගෙහැර දකවන ලද විවරණය මගේ ජීවිතයට මෙරට ගැමියකුගෙන් හෝ සාමාන්‍ය උගතෙකුගෙන් මා අසා නොමැත. එම විචාරය මට මේ මොහොතේ වුවද විශ්මයකි.
මොහු දෙවැනි ලෝක යුද්ධය ( WWII 1938 – 1945 ) පිළිබඳවත් හිටපු බ්‍රිතාන්‍ය අගමැත අග්‍රාමාත්‍ය වින්සන්ට් චර්චිල් ( Sir Winston Churchill 1874 – 1965 ) රුසියානු ඒකාධිපති ජෝසෆ් ස්ටාලීන් ( Joseph Stalin 1879 – 1953 ) යනාදීන් ජර්මනියේ ඒකාධීපත් ඇඩොල්ෆ් හිට්ලර්
( Adolf Hitler 1889 – 1945 ) යනාදීන් පිළිබඳවත් කතාබහ කිරීමට අතිශයින්ම ප්‍රියබව මට වැටහුණි. මෙරට ගැමියකු මෙම විදෙස් දේශපාලන චරිත හා ඔවුන්ගේ දේශපාලන පසුබිම පිළිබඳව දන්නේ කෙසේද ? නූතන ඊනියා උගතෙකුවත් හරිහැටි නොදන්නා මෙම කරුණු කාරණා පිළිබඳව දින – කාලවකවාණු සහිතව මෙම ගැමියා දන්නේ කෙසේද ය ? . මෙහි අඵ නොදන්නා ගැඹුරු කතාවක් ඇත්තේ ය. කෙටියෙන් කිවහොත් මොහු දෙවැනි ලෝක යුද්ධයේ දී සිදුවූ Barbarossa / Stalingrad / D-Day යනාදී ශ්‍රේෂ්ඨ යුද සටන් පිළිබඳව ද හොදින් දනී.
මොහුගේ දේශපාලනය වාමාංශික හා දක්ෂිණාංශික මිශ්‍ර දේශපාලනයක් බව කතාබහෙන් පෙනේ.1971 ජනතා විමුක්ති පෙරමුණ විසින් අරඹන ලද සන්නද්ධ තරුණ කැරැල්ලට සෘජුව නොවුනද වක්‍රාකාරව සම්බන්ධ වී ඇති මොහු එහි පංති – පහට ගොස් ඇතැයි කියා මා සමගින් කීපවතාවක්ම කියා තිබේ.
සෑම දිනකම තමා පාන්දර 4.30 පමණ අවදිවී මිදුල අතුගාන බව කියයි. තවමත් වත්තේ – පිටියේ හා කුඹුරේ – දෑකැත්තේ හා උදැල්ලේ වැඩකරන මොහුට හිසෙන් බසින රෝගයක් මා දන්නා තරමින් නැත. මොහු දොළොස් පොහොයටම තියා එකදු පොහොයකටවත් ශිල්-සමාදම් නොවේ. එනමුත් දොළොස් පොහොයටම ශිල්- සමාදම් වන බහුතර උපාසික – උපාසිකාවන්ට වඩා මොහුට බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳව මනා අවබෝධයක් නම් තිබෙන බව කිවයුතුය.
සෑම ඉරිදින උදෑසන මොහු අරුණ සතිඅග පුවත්පත රැගෙන මා හමුවීමට විත් එය මට කියවන්න පිළිගන්වයි. අනතුරුව මගේ කාලසටහනට අනුව එහි වූ විශේෂ කාරණාවක් පිළිබඳව කතාබහ කිරීමට අමතක නොකරයි. නැතහොත් මා සතුව ඇති පත්තරයක් රැගෙන ගොස් කියවා බලයි. මොහු දැන් පොතපත කියවන්නේ නැත. වයසට අනුව තරමක් මතකය අඩුය. කන් ඇසීම ද තරමක් අඩුය. එනමුදු දැනුමේ නම් කිසිදු අඩුවක් නොමැත.
මට මොහු විශ්මිත ගැමියෙකි. එසේම දැවැන්ත ගැමි ඥාන සම්භාරයක් දරාගෙන සිටින ඇවිදින ගැමි පුස්තකාලයකි. මොහු පිළිබඳව තව බොහෝ දේවල් සටහන් කිරීමට හැකි නමුදු දැන් ඊට සුදුසු කාලය නොවේ.
උපතින්ම ගැමියකු හා ගොවියකු වීම නිසා මොහුට පරිසරය හා කාලගුණය පිළිබඳව ඇත්තේ හසල දැනුමකි. එසේම බුද්ධියකි. එය කොතරම්දයත් අහසේ පාවෙන වළාකුළුවලට අනුව “අද වහිනවා ද – නැද්ද කියා” මොහුට කීමට හැකියාව තිබේ. මොහු මට කාලගුණය පිළිබඳව කියූ කිසිදු අනාවැකියක් තවම බොරුවී නොමැත.
1957 මහා-ගංවතුර මොහුට මතක ඇත. ඊට අනතුරුව මෙරට සිදුවූ සෑම ගංවතුරක් පිළිබඳවම මොහු හොදින් දනී.
දිට්වා සොබාවික ව්‍යසනයෙන් අනතුරුව පසුගිය දිනෙක මම ඒ පිළිබදව මොහුත් සමගින් කතාබහ කලෙමි. මොහු විසින් නායයෑම් හා ගංවතුර පිළිබඳව ද අනවසර ඉදිරිකිරීම් පිළිබඳව ද එසේම
ආණ්ඩුව විසින් ගතයුතු පාරිසරික තීරණ – තීන්දු පිළිබඳව ද කරන ලද විස්තරය මා මවිතයට පත් කළේ ය. එහිදී මොහු විසින් ගන්නොරුව දෙසින් ගලාගෙන යන මහවැලි ගඟෙහි වර්තමාන ස්වරූපය පිළිබඳව පුදුම හිතෙන කතාවක් කීවේ ය.
එනම් ඒ තමා පනහ දශකයේ දී දුටු මහවැලි ගඟ වර්තමානයේ මතුවී තිබෙන බවත් එහි ඉවුරේ සැබෑ වපසරිය තමා විසින් පුරා දශක හයකට පසුව දුටු බවත් ය.
මෙය කියමනේ කොතරම් ගැඹුරක් හා සත්‍යතාවයක් ඇත්ද ? අපට එම කියමන තුළින් ඉගෙන ගැනීමට හෝ අවබෝධ කරගැනීමට කොතරම් දැනුමක් ඇතිද ?
එම කියමන සැබෑ ය. පුරා දශක ගණනාවකට පසුව මහවැලි ගං කොමළිය තම සුපුරුදු ගමන් මාර්ගය
හෙළිපෙහෙළි කරගෙන ඇත්තේ ය.
විශේෂ සටහන :
මෙම ගැමියන් මෙරට අතීත ශ්‍රී විභූතිය උදාකර දුන් පරම්පරාවේ අවසන් පුරුක් වන්නේ ය. මෙවන් ගැමියන්ගේ මහා ඥාන කෝෂාගාරය ( ගැමි විඥානය )
මෙරට කිසිදු ඊනියා උගතෙකුට අවශ්‍ය නොමැති අතර එකදු සමාජ විද්‍යාඥයකු විසින් එදාමෙදාතුර මොවුන් පිළිබඳව කිසිදු පර්යේෂණයක් කර නොමැත. බෞද්ධ දර්ශනයේ යථාර්ථයට අනුව තව කාලයකින් මෙම ගැමියා මරණීය ධර්මතාවය වැළඳගනු ඇත. ඒ සමගින් එම දැනුම් කෝෂකාගාරය ද අහිමිව යනු ඇත.
කියවීම මිනිසා දියුණු කරයි !!

