නිර්ලජ්ජිත උත්සාහයන් අත්හැර මාධ්‍ය නිදහස වෙනුවෙන් වැඩ කරන්න – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවට කියයි !

Share post:

පොලිස් රාජ්‍යයක බලය ස්ථාපිත කිරීම තුළින් මාධ්‍ය මර්දනයේ ආණ්ඩුවේ අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමට ගන්නා නිර්ලජ්ජිත උත්සාහයන්ගෙන් වැළකී මේ රටේ සැබෑ මාධ්‍ය නිදහසක් හා මාධ්‍ය සදාචාරයක් ඇතිකිරීමට අවශ්‍ය පසුබිමක් ඇති කරන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

එම සංගමයේ සභාපති දුමින්ද සම්පත්ගේ සහ ලේකම් රංග බණ්ඩාරනායකගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ. එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට එරෙහිව අනීතික ලෙස ගම්පොල පොලිසිය වෙත කැඳවීම සහ හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසත්, මාධ්‍ය නිදහසත් මර්දනය කිරීමට පොලිසිය මෙහෙයමින් රජය ගන්නා උත්සාහය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළීකුලෙන් යුතුව හෙලා දකිමු.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ හා ඒ ආශ්‍රිත ආයතනවල පවතින වංචා සහ දූෂණ ගණනාවක් පිළීබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලකට අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමකට 2025-12-26 වෙනි දින පෙ:ව: 11.00 ට ගම්පොල පොලිසියට පැමිණෙන ලෙසට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ට පොලිසිය විසින් දැනුම් දී ඇත. එමෙන්ම හිරු මාධ්‍ය ආයතනය මගින් විකාශය කළ ගංජා වැටලීමකට අදාල ප්‍රවෘත්තියකදී, ගංජා වැටළු පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරයක් හා ජාතික ජන බලවේග ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයකට අදාල ගංජා හේනේ අයිතියට ඇති සබඳතාවය පිළිබඳව අනාවරණය කොට ඇත. එම ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් ලෙස අර්ථ ගන්වමින්, හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට පොලිසිය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු කොට ඇත.

ඉහත කාරණා දෙකෙහිදීම පොලිසිය අදාල මාධ්‍යවේදියාගේ හා මාධ්‍ය ආයතනයේ නිදහස් මාධ්‍ය කටයුතු සඳහා මැදිහත් වී ඇත්තේ අනීතික මර්දනයක් සිදුකිරීමේ අභිලාෂයෙන් බව පෙනේ. නිවැරදි නොවන ප්‍රවෘත්ති මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන වෙතින් සමාජගත වී ඇත්නම් ඊට ක්‍රියාත්මක කළ හැකි පිළිගත් ක්‍රමවේද හා නෛතික තත්වයන් පවතී. එසේ තිබියදී පොලිසිය හරහා ක්‍රියාවේ යොදවා ඇත්තේ රජයට හීලෑ කොටගැනීමට නොහැකි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කොට ගනිමින් රාජ්‍යය දියත් කොට ඇති මර්දනයයි. මාස 15 ක ජාතික ජන බලවේග ආණ්ඩුවේ ශේෂපත්‍රය තුළ මාධ්‍ය නිදහස සහ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය හකුළුවාලමින් මර්දනය කිරීම සඳහා ගෙන ඇති අපමණ ක්‍රියාමාර්ග තුළින් පෙන්නුම් කරමින් ඇත්තේ මාධ්‍ය නිදහසේ බැටළු හම පොරවා ගෙන බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව නමැති වෘකයාගේ ස්වභාවය බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි කණස්සල්ලෙන් යුතුව දක්වමු.

පොලිස් රාජ්‍යයක බලය ස්ථාපිත කිරීම තුළින් මාධ්‍ය මර්දනයේ ආණ්ඩුවේ අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමට ගන්නා නිර්ලජ්ජී උත්සාහයන්ගෙන් වැළකී මේ රටේ සැබෑ මාධ්‍ය නිදහසක් හා මාධ්‍ය සදාචාරයක් ඇති කිරීමට අවශ්‍ය පසුබිමක් ඇති කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම විවිධ මර්ධන නීති හා අතපෙවීම් හරහා රජයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ලවන බලපෑමට එරෙහිව එක්ව පෙළගැසෙන මෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අගයන සියල්ලන්ගෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටින්නෙමු.

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...