ඊයේ(20) අනෝමා රාජකරුණා මිතුරියගේ ‘හූනා ලැග්ග බාල්කේ’ කවි පොත දොරට වැඩීම නිමිති කරගෙන ඒ පොතේම එන කවි කියවන හැන්දෑව ට සහභාගි වෙන්න ආරාධනා ලැබුණා. ඒ මිහිරි සැන්දෑව ගත කළේ ජර්මන් සංස්කෘතික ආයතනයේ (Goethe – Institut).
ලස්සන කවි එකතුවක් ඒ පොත.
අනෝමාගේ කාව්‍ය භාෂාව,සරල වගේම දියුණු වෙලා.
මටත් ඉතින් කවියක් කියවන්න අවස්ථාව ලැබුණා.
අනෝමා කොරෝනා කාලේ ගෙදර ඉන්න ගමන් ලියැවුණු මේ කවි ‘කොරෝනා කාලේ කවි/කතා’ කියලා තමයි වර්ග කරලා තිබ්බේ. මට කියවන්න ලැබුණේ ඒකේ 15 කවිය. ඒක මෙහෙමයි…
එකොළහක්..
පේළි ගෙදරකට
දෙමාසෙක හාමතට
ආණ්ඩුව දුන්නා
පාණ්ඩු කහ පාට නෝට්ටුවක්
මහත්තයෝ ඕං..
මගේ අම්මා ඉන්නවා
උන්දැට හැත්තෑවයි
වැන්දඹු
මිනිහගේ පුන්චම්මා
ඒකිගේ කකුලක් නෑ
තනිකඩ
ලොකු කොල්ල බැන්දා
උනුත් තාම මෙහෙ
දිනපතා කුලී වැඩ
එතකොට මමයි
ගෘහ මූලිකයයි
අපි දෙන්නයි
ඉස්කෝලෙ යන හතරයි
කිරි බොන පොඩි එකයි
එච්චරයි
කොරෝනා කාලේ මාස දෙකක් ගෙවල්වලට වෙලා ඉන්න වුණු එකොලොස් දෙනෙක්ගෙන් යුතු පවූලකට රජයෙන් දුන්න රුපියල් පන්දාහක මූල්‍ය ආධාරය ගැන තමයි කවියෙන් කියවෙන්නේ. කවිය පබැඳිලා තියෙන ආකාරයට පපුව කඩාගෙන යනවා. එකොළොස් දෙනෙක්ගෙන් යුතු පවුලක මාස දෙකක බඩගින්න නිවා දමන්න රුපියල් 5000 නෝට්ටුවකින් පුලුවන්ද ? කීයටවත් බැහැ. මේ කවිය ලියැවෙන්නේ අම්මාගේ පැත්තේ ඉඳන්. පැත්ත අරන්. නෝක්කාඩුවක ස්වරයෙන්.
මේ වගේ ව්‍යසනයකදී අසරණ වූ පවුල්වලට පිළිසරණක් වෙන්න තරම් අපේ රාජ්‍ය ආර්ථිකයන් ශක්තිමත්ද?
(රාජ්‍ය) ආදායමට වඩා වියදම වැඩි ආණ්ඩුවකට නිකං මිනිස්සුන්ට සල්ලි බෙදන්න පුළුවන්ද? මේක අපේ රටේ හැම ආණ්ඩුවක්ම මුහුණ දෙන උභතොකොටිකයක්. මේ වගේ ව්‍යසනයකදී අසරණයන්ට පිහිට වෙන්න පුළුවන් තරම් අරමුදලක් ආණ්ඩුවකට තියෙනවද?
පහුගියදා දිවයිනට කඩා පාත් වුණු දිත්වා සුළි කුණාටුව සමහර පැතිවලට කළ විනාශය කොරෝනා වලට වඩා හපන්. ජීවිත විතරක් නෙවෙයි උන් හිටි ගෙවල් දොරවල්, හම්බ කරගෙන කාපු රැකියා අවස්ථා පවා අහිමි කලා.
නැති වෙච්ච ජීවිත ආයෙ පණ පොවන්න පුළුවන් කමක් නෑ. ඒත් අහිමි වුණු රැකියා අවස්ථා, කැඩිච්ච පාලම්, බෝක්කු, පාරවල් හදලා අසරණ වුණු ජීවිතවලට නැගිටින්න උදව් කරන්න අනුර කුමාර ජනාධිපතිතුමාට උවමනා වුණත් එතුමාගේ ආණ්ඩුවේ ‘උතුරලා යන මහා භාණ්ඩාගාරය’ ප්‍රමාණවත්ද ?
කවියක් රහයි. ඒත් ඇත්ත කවියකට වඩා තිත්තයි. අමිහිරියි.
අශෝක හඳගම










