සමහර පුවත් තියෙනවා එය ඇසූ සැණින් හදවත ගැස්සෙන, අද අපේ අසල්වැසි බංග්ලාදේශයෙන් ඇසෙන්නේ එවැනිම ඉතාමත් කණගාටුදායක සහ බියකරු පුවතකි. දකුණු ආසියාවේ “ආර්ථික හෙට දවස” ලෙස විරුදාවලිය ලත් ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ලෝකයම දිනාගත් බංග්ලාදේශයේ, මුදල් ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය මුළු කලාපයම කම්පනයට පත් කර ඇත.
ඔහු පවසන පරිදි, එරට බොහෝ බැංකු දැනටමත් “ප්‍රායෝගිකව බංකොලොත්” වී හමාරය. “මේ තත්ත්වය දිගටම පැවතුනහොත්, අවසානයේ කුමක් වෙයිද කියා මා දන්නේ නැහැ…” ඔහුගේ මේ වචන පෙළ පිටුපස සැඟවී ඇත්තේ බියකරු අනාගතයක සේයාවක් නේද?
ගෝලීය බලශක්ති මිල ඉහළ යාම නිසා පමණක්, බංග්ලාදේශයට අහිමි වූ මුදල ඇමරිකානු ඩොලර් බිලියන 02 කි! මේවා අපට සංඛ්‍යා ලෙස පෙනුනත්, මෙහි සැබෑ බරපතලකම තේරුම් ගත යුත්තේ සාමාන්‍ය ජනතාවගේ දෘෂ්ටිකෝණයෙනි.
‘ඩොලර් බිලියන දෙකක්’ යනු රටක සංචිත වලින් ඇදී යන විශාල “රුධිර ගංගාවකි”. බලශක්ති ස්වාධීනත්වයක් නොමැති සෑම රටක්ම භූ-දේශපාලනික කඹ ඇදීම් හමුවේ, අන්ත අසරණ වන බවට මෙය කදිම නිදසුනකි.
කෘතිමව මැවූ ස්වර්ගයක බිඳ වැටීම!
බංග්ලාදේශ මූල්‍ය අර්බුදය ගැඹුරින් විග්‍රහ කිරීමේදී පෙනී යන මූලිකම කරුණ නම්, රජය සහ මධ්‍යම බැංකු වෙළඳපොළ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීමයි. රජයක් විසින් තමන් සතුව පවතින සැබෑ වත්කම් වලට වඩා වැඩියෙන් කෘතිමව මුදල් මුද්‍රණය කරන විට, මුදලේ අගය වේගයෙන් පහත වැටේ.
අද බංග්ලාදේශයේ සිදුව ඇත්තේ මෙයයි. මිනිසුන් තමන් දහඩිය හෙළා ඉතිරි කළ මුදල් ආපසු ලබා ගැනීමට බැංකුවට ගියද, ඒවා ලබා දීමට බැංකු සතුව ප්‍රමාණවත් මුදල් නොමැත. ඕනෑම රටක හදවත එහි බැංකු පද්ධතියයි. එය බිඳ වැටුණු තැන මුළු ශරීරයම හෙවත් මුළු රටම අඩපණ වේ.
“බියෙන් තොර මනසක් ඇති, හිස කෙළින් තබාගෙන සිටිය හැකි දේශයක්…” මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් එදා බංග්ලාදේශය ගැන එසේ පැතුවද, අද බැංකු බංකොලොත් වී තමන්ගේම මුදල් ලබා ගැනීමට නොහැකිව අසරණ වූ ජනතාවකට හිස කෙළින් තබාගෙන සිටිය හැකිද?
බංග්ලාදේශ ඇමතිවරයාගේ ප්‍රකාශය ඇල්බෙයා කැමූගේ ‘The Plague’ කෘතියේ එන වසංගත අනතුරු ඇඟවීම වැනිය. බොහෝ දෙනා පෙරනිමිති නොසලකා හැරියද, වසංගතය පැමිණි පසු සියල්ල විනාශ විය. ආර්ථික වසංගතය ද එසේය. එය දැන් බංග්ලාදේශයට පැමිණ ඇත. ඊළගට?
වික්ටර් හියුගෝගේ ‘Les Misérables’ කෘතියේ ජීන් වල්ජීන් සිරගත වූයේ “පාන් පෙත්තක්” සොරකම් කිරීම නිසාය. අද බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවෙකුට දැනෙන බිය, ජීන් වල්ජීන් එදා අත්විඳි, ඒ දරුණු අසරණභාවයට දෙවැනි නොවේ.
2008 ලෝක මූල්‍ය අර්බුදය ඇසුරින් නිර්මාණය වූ ‘The Big Short’ චිත්‍රපටය මතකද? එහි එන එක් දෙබසක, “අප ජීවත් වන්නේ වංචාව මත පදනම් වූ ලෝකයකයි. හැමෝම හිතන්නේ පද්ධතිය ශක්තිමත් කියලා, නමුත් ඇතුළතින් එය කුණු වෙලයි තියෙන්නේ..”
අපේ බැංකු පද්ධතිය සහ මූල්‍ය කළමනාකරණය ගැන මෑතකදී ඇසුණු පුවත් සමඟ මේ චිත්‍රපටයේ කියන හා බංග්ලාදේශයෙන් ඇසෙන විලාපය ගළපා බැලීම අද දවසේ අප සැමගේ වගකීමකි. මන්ද අපේ අසල්වැසියාගේ ගෙය ගිනි ගන්නා විට, ඒ ගින්න අපේ වහලයටත් පැමිණිය හැකිය. බලශක්ති ස්වාධීනත්වය, මූල්‍ය විනය සහ ස්ථාවර බැංකු පද්ධතියක් නොමැති ඕනෑම මොහොතක, අපේ ජීවිත “Horror Film” එකක් බවට පත් විය හැකි බව අප අමතක නොකළ යුතුය.
