ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් රනිල්ට අධිචෝදනා ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත් නීතිපතිගෙන් අසයි !

12

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ වුල්හැම්ප්ටන් උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වීමට රජයේ මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බව කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දැනුම් දෙන ලදි.

ඒ රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනු කර ඇති නඩුව කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29) යළි කැඳවූ අවස්ථාවේදී ය.

කෙසේ වෙතත් පැහැදිලි සාක්ෂි තිබියදීත් සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීම මෙතරම් ප්‍රමාද වන්නේ ඇයිද යනුවෙන් මහෙස්ත්‍රාත්වරයා එහිදී නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබූ අතර, පවතින විමර්ශන කඩිනමින් අවසන් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීමට ද කටයුතු කරන ලදි.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයට එරෙහිව එල්ල වී ඇති මෙම රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ පැමිණිල්ලට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය ලබන ජූලි මස 08දා අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබේ.

එහිදී එළඹෙන ජූලි 08 දිනට ප්‍රථම සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට පියවර ගන්නා බවත්, මෙම සිද්ධියට අදාළව හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සැකකාරියක ලෙස නම් කරන්නේද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙහිදී කරුණු දක්වමින් සඳහන් කරනු ලැබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන ජූලි 08දා දක්වා කල් තැබීමට නියෝග කළේය.

(මූලාශ්‍රය – whatnews.lk)