මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් ලියැවුණ කවි ඇතුළත් “සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්” කෘතිය ෆේස්බුක්හි ෂෙයා වනු දැක මම මීට මාස කිහිපයකට පමණ පෙර දවසක ප්‍රින්ට් කරගෙන ආවෙමි. යාපනේ විසිර ගිය නිවෙස් නටඹුන්වල පෞරාණික බව මත ඇඳෙන කවි සිතුවම් කළු-සුදු මුද්‍රිත කඩදාසියක මවන පඨිතමය ලෝකය ගැන සිතමින් – මේ පොත ගැන සටහනක් ලියන්නට බොහෝ වර මට සිත් විය. එහෙත් සිංහල සාහිත්‍ය සමාජය හා බෙදාගන්නට මා සිතමින් සිටින අනෙක් සැලසුම් අතර මේ පොතත් කාල ගැටලුවේ පැරණි වෙමින් තිබිණි. ගිම්හාන නිවාඩුවට පෙර යෙදෙන තරමක් විවේකී මේ ඉරිදා, මා යළිත් සුන්දරම්පුරම් ජනෙල් පියන්පත් කෘතිය තැනින් තැන පෙරලා බලන-තර මේ සටහන ලියන්නට සිත් විය.
සිංහල බෞද්ධ සාලයක
ඔප දැමූ ආර් පී ජී – ආර්ටි
පිත්තල පතුරම් කොපු අතර
නූතන විසිත්ත කාමර කැටයමක් ව
සුන්දරම්පුර ජනෙල් පියන් පත
අමුතු සංහිඳියාවක..
හිනිදුම සුනිල් සෙනෙවි
(01.31.2021)
මීට වසර 05කට පමණ පෙර බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයේ -ඇන්ටික් ෂොප්- එකක විකිණීමට තබා තිබුණු උළුවහු ජනෙල් දැක කම්පා වූයෙමි. ගෘහනිර්මාණ ශිල්පීන් ඒවා කඩිමුඩියේ මිලදී ගන්නා අයුරුද දුටුවෙමි. මේ කම්පාව දිනක් මා සරත් චන්දුජීවයන් හා පැවසුවෙමි. ඔහු යාපනයට ගිය වෙලේ ගැලවූ උළුවහු ජනෙල් තිබුණු නිවෙස්වල ඡායාරූප 50ක් පමණ මට ගෙනැවිත් දුන්නේය. තවමත් මේ ලොඹු කටවල් එහි තිබෙනු ඇත.
ලාල් හෑගොඩ
යාපනේ දොර ජනෙල් විශේෂ අනන්‍යතා සහිත සංස්කෘතික ලක්ෂණ හෙවත් වාස්තු උපාංග හා හැඩතල හා වර්ණවලින් යුක්තයි. මේ පොතට “සුන්දරපුරම් ජනෙල් පියන්පත්” යනුවෙන් නම යොදා ගත්තේ පළමු කවිය ලියූ ලාල් හෑගොඩගේ කවියෙනුයි. එහි දෙමළ පාඨය ලෙස “අවතැන් වූ දොර ජනෙල්” යනුවෙන් යෝජනා කළේ සාමිනාදන් විමල්. ඉංග්‍රීසි බසින් “ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්” යනුවෙන් ඒවා විකුණන නාමයෙන්ම තිබෙන්නට හැරියා.
සරත් චන්ද්‍රජීව

යුද්ධයෙන් පසු විනාශ වී ගිය යාපනයේ නිවාසවල දොර ජනෙල් ආදිය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල “ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්” නමින් ගජරාමෙට විකිණෙන සිදුවීම වටා මෙම කෘතිය ගොඩනැගී තිබේ. එය අලුත් ආරංචියක් නොව දැන් දසක එකහමාරකටත් වඩා පැරණි බිස්නස් එකකි. අප හා එක බිමක වෙසෙන සහෝදර මිනිස් සමූහයකගේ අහිමි වූ ජීවිතවල නටඹුන්, ඒ බිමේම වසන අපේ ගෙවල් දොරවල් කළඑළි කරන – පෞරාණික බව – ශ්‍රී විභූතිය වඩවන විලාසිතා වීමේ හිංසක යථාර්ථය වෙත මෙම කෘතිය විවිධ මානවලින් එළඹෙයි. මෙය, අපේ රටේ අනාගත භූමිදර්ශනයට නිසැක ලෙස බලපාන, අපේ රට නිර්වචනය කෙරෙන කේන්ද්‍රීය සංස්දිධියක් වන ජනවාර්ගික යුද්ධය ඇති කළ සාමූහික කම්පනය “හරහා ගමන් කරන” (working through) විශිෂ්ට සාමූහික වෑයමක් ලෙස මම කියවමි. භාෂා තුනකින් ලියන ලාංකික කවි-කිවිඳියන් 86දෙනෙකුගේ කවි 108ක් සහ ඡායාරූපශිල්පීන් 14දෙනෙකුගේ පින්තූර රැසක් මෙහි අඩංගු වෙයි. ඒවායින් චිත්‍රණය කෙරෙන්නේ සිවිල් යුද්ධය මගින් අපට අහිමි කළ දේ ගැන අමිහිරි මතක, ඒ හා බැඳුණු ඛේදාන්ත, සහ ඒ වෙත අප තුළ බුරානැගෙන විරෝධයයි.
උස කෙසඟ තලඑළලු දිලීපන්
කොහු බුරුසුවක් අරන් හෙමි හෙමින්
දවස් කුළියට මකුළුදැල් කඩයි – බීඩියක දඹු කඩයි.
හිල්වෙච්ච ජනෙල්’ පලු අත ගගා
බීඩි උගුරක් බිබී දවස් කුලියට මකුළු දැල් කඩයි. (පි. 128)
කුමාර හෙට්ටිආරච්චි විසින් ලියා ඇති -ජනේලෙ- නම් කවියෙහි අපට හමුවන්නේ කාටත් හුරුපුරුදු දෙමළ තරුණයෙකි. යුද්ධයෙන් අනාථයෙකු වූ දිලීපන් දැන් කොළඹ පැමිණ දවසේ කුලියක් කරමින් දිවි ගෙවයි. මේ කුලී රස්සාව අතර දිනක්;
කරන්ට් වැදුනා වගේ
දඩස් ගා ගල් ගැසී නතර වෙයි දිලීපන්
හිල් වෙච්ච රතුපාට ජනෙල් රාමුවක් ළඟ
හූල්ලන ආඬියා ළිං පපුව අත ගගා.
මේක නං
දුෂ්මන්තිලයි ගෙදර වම් පැත්තෙ ජනේලේ…
මේ ජනේලෙන් එබිල දුෂ්මන්ති හැමදාම හිනාවුණෙ
මං යද්දි මුරුක්කුත් පටෝගෙන බයිසිකලෙ.
දුෂ්මන්ති යනු මුරුක්කු විකුණමින් දිවි ගෙවූ දිලීපන්ගේ ප්‍රේමය විය හැකිය. දැන් ඇය නැතිය. මුරුක්කු පැටවූ බයිසකලයත් නැත. එහෙත් එහි අහිමියාවේ කම්පනය කොළඹ යළි ප්‍රතිකම්පන ඇති කරයි.
ක්ෂිතිමය කම්පනයක ස්වභාවය එය විසින්ම නැවත නැවත එම කම්පනය ඇති කිරීම බව අපි දනිමු. ක්ෂති කම්පන න්‍යායේ Repetition හෝ Acting Out ලෙස හඳුන්වන්නේ මෙයයි. සාමූහික කම්පන නිසා දිගුකාලීනව ඇති වෙන මෙවැනි ප්‍රතිකම්පන/ පුනරුක්ති මගින් තත් සමාජය (haunted society) ඛේදාන්තයක් වෙත තල්ලු කරයි. යාපනය නිජබිම වූ මිනිස් සමූහයකගේ ජීවිතය හා බැඳුණු මේ දොර-ජනෙල්වල මතක කොළඹදී උසස් ගෘහාලංකරණ ලෙස විකිණීම අපේ සමාජය තුළ සිවිල් යුද කම්පනය පුනරුක්ත කරවන ආකාරය පිළිබඳ විනිවිදසුළු රූපකයකි. මේ පොතේ එන පින්තූර සහ කවි විශිෂ්ට කලාත්මක නිර්මාණවලට වඩා අර කම්පන පුනරුක්තිවල – ප්‍රතිකම්පනවල ජීවමාන සාක්ෂි සේ පෙනේ. මහාචාර්ය චන්ද්‍රජීව මෙම කෘතිය මගින් කරන මැදිහත්වීම අර ක්ෂති-කම්පන යළි ඇති කරන්නට අරඅඳින්නක් නොවේ. අපව ඉන් මුදවන – මේ කම්පනය හරහා ඉදිරියට අපට කැඳවාගෙන යන්නට උත්සාහ කරන පඨිතමය අවකාශයකි. ක්ෂති කම්පන න්‍යායේ Working Through යන සංකල්පය මගින් විස්තර කෙරෙන්නේ කම්පනය හරහා ගමන් කිරීමේ ක්‍රියාවලියයි. නැවත නැවත කම්පනය ඇති කෙරෙන අතරේම ඉන් මිදීමේ වුවමනාව අප තුළ සහජයෙන්ම ඇති වෙයි. සාමූහික කම්පනවලදී මේ කම්පන හරහා යන ක්‍රියාවලිය බෙහෙවින් වගකීම් සහගත එකකි. කම්පනය ඔස්සේ යාම්ඊම් සුලබව සිදු වේ. එහෙත් කම්පන ඔස්සේ යාම සහ කම්පනය හරහා යාම එකක් නොවේ. අපේ සංවාදය බොහෝවිට අර කම්පන ඔස්සේ යන්නක් මිස කම්පන හරහා ගමන් කරන්නක් නොවේ. කම්පන සමනය වූ – ප්‍රකෘති ස්වභාවයකට පැමිණීම යනු දිගුකාලීන සංකීර්ණ ක්‍රියාවලියකි. මෙම වැදගත් කෘතිය එවැනි උදාර අරමුණින් දිවෙන ව්‍යාපෘතියක් සේ මම හඟිමි.
මෙම කෘතිය කියවීම හා එය අර්ථකථනය කිරීම, එය රචනා කෙරී ඇති ආකාරය සමග බැඳී තිබේ . මහාචාර්ය චන්ද්‍රජීව මෙසේ ලියයි;
-මෙම සංග්‍රහයේ පළමු කවිය ලියූවේ ලාල් හෑගොඩයි. දිනය 2021 ජනවාරි 31වන දා. එය විද්‍යුත් තැපෑලෙන් කිහිපදෙනෙකුටම යවා තිබුණා. මිනිත්තු 45කට පමණ පසු පිළිතුරු කවියක් ලියා සුනිල් සෙනෙවි විසින් එය ලාල්ට එවා තිබුණා. ලාල් විසින් අප කිහිපදෙනෙකුටම සුනිල් සෙනෙවිගේ කවියත් ඊමේල් මගින් බෙදාහැරියා. -ඡායාරූපයක් එවනා ඒ සඳහා කවියක් පබැඳ එවන්නැ-යි ආරාධනා කරමින් ඒ වනවිට එකතුකර තිබූ ඡායාරූප එකතුවෙන් එකින් එක මවිසින් කවියන්ට හා කිවිඳියන්ට යැවීම මෙම සංග්‍රහයේ ආරම්භයයි.- (පි. 13)
එසේ ආරම්භ වූ ඡායාරූප-කවි හුවමාරුව මෙසේ පොතක් සේ එළිදැක්වීම සාමූහිකව අප අර කම්පනය හරහා ඉදිරියට කැඳවාගෙන යන ගමනකි. එය අපට ශෝක වන්නට, වැළපෙන්නට, ආයාචනා කරන්නට, පලිගසන්නට, අයුක්තියට එරෙහිව හඬ නගන්නට සැදෙන අවකාශයකි (a mourning space). සමාජය සුවපත් කිරීමේ (healing) මාවතක් ඒ ඔස්සේ විවර වෙයි.
අපි කවි කිහිපයක් කියවමු.

දොර ජනෙල්
පියන් පත්
නිහඬ දරා හිඳී
මහ රහස් (පි. 66)
එය අපරැක්කේ සිරිසුධම්ම හිමි ලියූ කවියකි. මේ උන්වහන්සේ ලියූ තවත් කවියකි.
හිමින් අත ගා බලන්න
මේ දොර ජනෙල්වල
ඈතට නොපෙනෙන
කඩතොලු (පි. 67)
අසංක ඉලම්පෙරුම සිය කවියෙන් මෙසේ අසයි;
උදුරා නහර බිඳ තැන තැන ඉස්ස
නල්ලූර් මහ ගෙදර උරුමයෙ බිස්ස
අගනුවර මල් කඩේ දොරකඩ බැස්ස
ඇන්ටික්ද ලේ සුවඳ අපෙ උළු වස්ස (පි. 69)
උදුරලා දමන්නේ ඇයි බිඳුණු අත්තටු – ඉන්ද්‍රා ලියනගේ ලියයි;
ඛේදාන්තයේ අවසන් පැයත් අත්දුටු
මේ හඬන බිතු පුරා වේදනාවේ කටු
ලේ වලින් පොඟවලා ඉතිහාසයේ පිටු
ගලවන්නෙ පරවියෙකු සතු බිඳුණු අත්තටු (පි. 77)
ඔව්, මේවා දුක් අඳෝනා තමයි. මේවා කියවන අසා සිටින කෙනෙකුට එය කංකරච්චලයක් සේ දැනෙන්නට පුළුවන. ඒත් එසේ කංකරච්චලයක් වූ පලියට කම්පිතයන්ගේ වේදනාව මුදාහැරීමේ අවසරය අකැපද? අප හා එක බිමක වසන අනෙකා හා සංහිඳියාවෙන් දිවිගෙවන්නෙකුට මේ වේදනා නාසා සිටියැකිද?
දිලිනි ආරියවංශ ලියන මේ කවියත් කියවන්න;
උදෙන් නික්මී සැඳෑ කල එන යතුර යළි නොපැමිණි දිනේ
පටන් දරු කැල රැකිමි විඳ – මවු උරිස්සේ රැඳි පති සෙනේ
වහන් කළ වරදට ද උන් – මට උන්න හිටි තැන් නැති වුණේ
ගිහින් බැලුවොත් තාම බිම ඇති අන්තිමට ගැලවුණු ඇනේ (පි. 90)
දිලිනිගේ කවිය ඔස්සේ යමින් එහි පැනෙන දුක්ඛදායක ආඛ්‍යාන විස්තර කිරීම නොවේ මගේ අරමුණ. යුද්ධයේ ප්‍රතිඵල ලෙස එවැනි තව කතා සියදහස් ගණනින් බිහිව ඇති බව අපි සක්සුදක් සේ දනිමු. කෙසේවෙතත් මෙහි ඇති වැදගත්ම ප්‍රවේශය නම් සිංහල තරුණියක් තමා හා සම දෙමළ ගැහැණියකගේ ලෝකයට ඇතුළු වීමයි. ඇගේ ඇස් දෙකෙන් මේ පින්තූර දෙස බැලීමයි. එවිට කිවිඳිය තුළ උපන් සහනුකම්පික පරිකල්පනය ඔස්සේ ඇය දෙමළ ලෝකයේ සැරිසරයි. මේවා අතිවිශිෂ්ට කවි නොවිය හැකියි; නමුත් බලන්න එවැනි කවි මොහොතක් අවුළුවන සහකම්පනය. කම්පාවෙන් මිදීමේ මග තමයි; සහකම්පනය. සාහිත්‍ය කලාවලට සමාජයක සාමූහික සහකම්පනය වගා කිරීමේ විශේෂ ශක්‍යතා තිබේ.
කිසියම් පුද්ගලයෙක් තනිව මුහුණදෙන කම්පනයකින් මිදෙන්නට ඔහුට/ඇයට අවශ්‍යයෙන්ම සහනුකම්පාව අවශ්‍ය වේ. නොයෙක් කම්පාකාරී සිදුවීම්වලට මුහුණ දුන් අයට සායනික ප්‍රතිකාර කෙරෙන ආකාරය විමසන විට මේ සහනුකම්පාවේ අගය මැනවින් පෙනේ. කම්පනයෙන් මිදීමේදී මූලික කාර්යයක් වන්නේ අදාළ කම්පක කතාව තවකෙකු හා කීමයි. කවුන්සිලින් ක්ලාස් සහ කෝස් රැල්ලක් පවා ඇති අපේ සමාජයට මේ ස්ටෝරිටෙලින්වල අගය කීමට න්‍යායික ප්‍රවේශ මොකටදැයි ඔබට සිතෙන්නට පුළුවන. සායනික ප්‍රතිකර්මවලට අමතරව ක්ෂතිමය කම්පන හරහා ගොස් (work through) ඒවායෙන් මිදෙන්නට අපි තව නොයෙක් දේ කරමු. තනිව හැඬීම මෙන්ම ගීතයක් ඇසීමේ සිට තවත් කලාසංස්කෘතික කටයුතු-දානමාන පින්කම් ආදී නොයෙක් දේ අපි අනුගමනය කරමු. නොයෙක් චාරිත්‍ර වාරිත්‍ර, ශාන්තිකර්ම, බෝධි පූජා(mourning and healing practices) ආදී නොයෙක් දේ මේ කම්පනවලින් මිදීමේ මං ලෙස අපි අත්හදා බලමු. පාසල්වල, රජයේ කාර්යාලවල පවත්වන තෛපොංගල්, දීපවාලි වැනි උත්සව අර කම්පනය හරහා යන්නට අප කරන සැලසුම්ය. ඒ බොහෝ සංස්කෘතික කටයුතුවල වැදගත් මානයන් ඇති බව පිළිගනිමින් වුවත් – මේ බොහෝ සංසිද්ධි අත්දකින විට මා වටහාගෙන ඇති දෙයක් නම්, ඒවා යුද කම්පනයෙන් මිදෙන හා වාර්ගික ආතතිය සමනය කෙරෙන, සිංහල-දෙමළ සහෝදරත්වය යා කෙරෙන මානව ප්‍රයත්නවලට වඩා, ඉතා යාන්ත්‍රික ලෙස අටවාගන්නාරා ජතාන්ත්‍රික සංදර්ශන බවට පත්වීමයි.
එවැනි උත්සවාකාරයක් පෙනෙන තරම් වෛර්ණවත් බවක් මේ කවි පොතෙහිද තිබේ. මා මුල් වරට කියවූ දෙමළ, ඉංග්‍රීසි මෙන්ම සිංහල කවි විඳියන් අතර ලාල් හෑගොඩ, රත්න ශ්‍රී විජේසිංහ, ලූෂන් බුලත්සිංහල, අශෝක හඳගම, ලියනගේ අමරකීර්ති, සිරිනිමල් ලක්දුසිංහ, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, කුමාර හෙට්ටිආරච්චි, චූලානන්ද සමරනායක, සරත් විජේසූරිය, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, සුහර්ෂණී ධර්මරත්න, නිලාර් එන්. කාසිම්, කපිල එම්. ගමගේ, රවී සිරිවර්ධන ඇතුළු තව බොහෝ ප්‍රකට නම් ඇති අයගේ කවිද හමුවේ. මා දැනටමත් දන්නා මහාචාර්ය නුහුමාන්, චේරන්, අහිලන් ඇතුලු දෙමළ කවිකිවිඳියන්ද හමුවෙයි.
දැන් අපි, ඔබ දැනටමත් කියවා ඇති රාජිණී තිරාණගමගේ “යාපනයෙන් ලියුමක්” නම් කවියෙහි කොටසක් කියවමු.

මට කියන්න
මිනිස්සු තොග ගණන් මැරෙන විට
කොහොමද ලියන්නෙ
නිකම්ම නිකම් සරල ව?
එකෙකු දෙදෙනෙකු නොවේ
මැස්සන් මෙන් මැරී ගිය මිනිස්සු
දකින විට
පාරවල් අද්දර
කෝපායිවල, නගරයේ,
කොකුවිල්, රාසවීදි, උරුම්පිරායි
අතන – මෙතන
අංශුවලට වෙන් වී
රෝහල් කොරිඩෝවල දමා ඇති
කුරුල්ලන්ට බල්ලන්ට කෑම වී ඇති?
මළපහ පිටවෙද්දි මිනිසුන්ගෙන් වෛද්‍යවරු
එළිමහනේ
උණ්ඩ ඉවත් කරනු දකින විට?
අසල්වැසියන්ගේ මරණ
ඔබම සහතික කොට
ඔවුන්ගේ ගෙවතුවල ඔබම වළලන විට?
මාසයක් තිස්සේ දහස් ගණනක්
දස දහස් ගණනක් මිනිසුන්
කෝවිල්වල, පල්ලිවල, පාසල්වල
ගාල් කර ඇති විට..
සෙනඟ පොදි කන අපායක්!
කෝවිලේ සොඳුරු වැලි මළුව
කසල ගොඩක් බවට පත්වන විට (පි. 9)
මහාචාර්ය චන්ද්‍රජීවගේ මෙම කෘතිය මගින් රාජිනී තිරාණගම -යාපනෙන් ලියමනක්- නමින් ලියන හිංහක යථාර්ථයට, ඒ මතක ලෝකයට අපව විවිධ පර්යාලෝකවලින් කැඳවාගෙන යයි. එය යටගිය මතක ඇවිස්සීමක් පමණක් නොවේ. අප ඒ කම්පනය හරහා ගොස් පසු කළ යුතු අදියරකි. නොයෙක් පැලැස්තර සහ වෛර්ණ පාටින් පින්තාරු කොට – විසිතුරු නිමාවකින් තිබුණද -ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්- අපේ සමාජය ගැන අඳින හිංසක සිතුවම ඔබට නොපෙනේද?
සුන්දරම්පුරම් ජනෙල් පියන්පත් කෘතියෙහි පින්තූර සහ කවි අතර එහෙ මෙහෙ කියවමින් සිටන අතර මට, මහාචාර්ග ගණනාථ ඔබසේකර විසින් “වාර්ගික අර්බුදය තේරුම්ගැනීම සඳහා ලියැවී ඇති වැදගත්ම මැදිහත්වීම” ලෙස හඳුන්වාදුන් සාරිකා තිරාණගමගේ In My Mother’s House: Civil War in Sri Lanka (2011) කෘතියෙහි ඇය නිවස (Ur-home) හා දෙමළ සමාජයේ ඇති සම්බන්ධය විස්තර කරන සැටි සිහිවෙයි. උදේ සවස මුණ ගැසෙන එක බිමෙක වාසය කළද – යුද්ධයේ කම්පාවට හසු වූ දෙමළ වැසියෙකුට “නිවස” පිළිබඳ ඇති අදහස හා හැඟීම අප “නිවස” ලෙස දකින සුවපහසු- නිදහස් අවකාශයට වඩා වැඩි යමකි. ඔවුන්ට නිවස යනු තවදුරටත් භෞතිකව පවතින දෙයක් නොව අහිමියාවක මතකයක් පමණකි. එවැනි මිනිස් සමූහයකට නිවස පිළිබඳ ඇති මතකය සහ නිවස ගැන බලාපොරොත්තුව යනු සිහිනමය අවකාශයකි. එහෙත් එය සැබෑ වන සිහිනයක් නොවේ (a dream-space that can never be fully recovered). එහෙත් එය හුදු නින්දේ දකින සිහිනයක් හෝ මායාවක් නොව ඔවුන් සතුව තිබී දැන් නැති, සිය පැවැත්මෙහි අතවශ්‍ය කොටසකි. “නිවස” යනු නිවස පමණක් නොව නෑ-සිය පරම්පරාව සහ අනන්‍යතාවේ සංකේතයයි. දැන් තමාට අහිමි වූ, යළි පිළිසකර කළ නොහෙන “නිවස” ගැන කම්පාවෙන් අනාථ වී,a ජීවිතේ අයාලේ ගිය අයටම සිය සිහිනමය නිවෙස්වල තතු – ජැෆ්නා ඩෝස් වින්ඩෝස් – ලෙස මුණගැසීම කෙතරම් නම් බයංකර – ප්‍රතිකම්පක යථාර්ථයක්ද? තිරාණගමගේ පර්යාලෝකයෙන් බලන විට මේ දොර ජනෙල් යනු හුදු ලී කැබලි නොව – අහිමි වූ මූල-නිවහනක (Ur- home) ශේෂ පත්‍රයන්ය. ඒවා කොළඹ සාලයක ප්‍රදර්ශනය වන විට සිදුවන්නේ මේ අහිමියාවේ කම්පනය අපේ සමාජය තුළ නැවත නැවත රඟදැක්වීමයි (acting out). මහාචාර්ය චන්ද්‍රජීව දිවයිනේ විසිර සිටින සිංහල-දෙමළ-ඉංග්‍රීසි කවියන් පිරිසක් එකතු කරගෙන විවිධ පර්යාලෝකවලින් මේ දෙස බලමින් කරන කලාත්මක ව්‍යායාමය විශිෂ්ට කලාකෘතියක් නිම කරන ව්‍යාපෘතියක් සේ නොව මිනිස් හදවත් යා කරන මිනිස්කමේ සුහද අවකාශයක් ලෙස වටහාගනිමු.
එක් සිංහල කවියෙකු උද්වේගකර ලෙස දෙමළ කථක චරිතයකට ඇතුළු වී හෝ නාභිගතව මේ යුද්ධයේ කුරිරු මතක පින්තූර ඔස්සේ වේදනා පිටකරන අතර තවත් කවියෙකු මෙහි අධිපති දේශපාලනික යථාර්ථය – සමාජය වැසී ඇති ව්‍යුහාත්මක දෘෂ්ටිවාද විචාරාත්මකව විමසයි. ඒවායෙහි උක්ප්‍රාසවත් බව විනිවිඳියි. හිනිදුම සුනිල් සෙනෙවිගේ සම්පූර්ණ කවිය කියවා බලන්න. (පි. 104-105) ඔහු කොළඹ සමාජයේ මධ්‍යමපාන්තික නිවෙස්වල ආඩම්බරයට තබා ඇති – යුද්ධයේ ජය සංකේත, ආර් පී ජී ආර්ටි ආදිය පිරි ආලින්දයේ යාපනේ දොර ජනෙල් සවි කර මවන සාඩම්බරකාර සිංහලකම උපහාසයෙන් පෙන්වයි. නිවසේ -වැඩකාරිය- සේ සිටින්නේද දෙමළ තරුණියකි. කෝකිලා. මේ කවියේ අග කොටස;
“එම්ප්ටි ආර්ටි දෙකකට
පිළිමතලා පිත්තල පහන් එකයි”
මධුසාද රැයේ යුනිෆෝම් සිනා හඬ අතරේ
පශ්චාත් යුධ පැතුම් ඉතිරේ
සුන්දරම්පුර අපේ ගම් කොරටුව
විසිණු කළ එම්ප්ටි ආර්ටියද මේ
දෙසවන් වසා ගති කෝකිලා දෑතින්ම
මිග් මිගිදු ගෝරනාඩුව සිහි වී
සිංහල බෞද්ධ සාලයක
ඔප දැමූ ආර් පී ජී – ආර්ටි
පිත්තල පතුරම් කොපු අතර
නූතන විසිත්ත කාමර කැටයමක්ව
සුන්දරම්පුර ජනෙල් පියන් පත්
අමුතු සංහිඳියාවක (පි. 105)
සුනිල් සෙනෙවි කවියා මෙහි මතුකරන “අමුතු සංහිඳියාව” කදිම යෙදුමකි.
අමුතු සංහිඳියාව
-ජැෆ්නා ඩෝස් වින්ඩෝස්- ඇසුරින් උපදින අන්තර්දෘෂ්ටිකවත් රූපකය මගින් ඉඟි කරන තවත් අර්ථ තල ගණනාවක් මේ කෘතිය සමීපව කියවන කෙනෙකුට හසුවිය හැකිය. මේ කෘතියෙහි එන ඇතැම් කවි කියවන කෙනෙකු මේවා මිනිස් ඛේදය, කම්පාව මාකට් කිරීමක්දෝයි සැක පහළ කරන්නටත් පුළුවන. විශේෂයෙන්ම ඇතැම් කවි මෙවැනි කම්පනයක් හරහා ගමන් කරන (working through) කෘතියක් තුළ හමු වුණද කම්පනය යළි යළි ප්‍රතිරාව කරනු (acting out) විනා කම්පිත ආත්මය ඉන් මුදවාගැනීමේ කිසිදු ආවේදනාවක් නූපදවන කවි බවට තර්ක කරන්නටත් පුළුවන. එවැනි දේ ගැන න්‍යාය-නිදර්ශනාත්මක සාකච්ඡා කරන්නට දැනටමත් සෑහෙන තරම් දික්ගැසී ඇති මේ රචනයෙහි ඉඩ නැත. කෙසේවෙතත් මේ අගනා අර්ථ තල ඉඟි කෙරෙන -ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්- රූපකයේ තවත් තලයක් වෙත දැන් අපි එමු. ආචාර්ය සුනිල් සෙනෙවිගේ කවියෙහි -අමුතු සංහිඳියාව- පිළිබඳ එළඹුම ඒ සඳහා කදිම ප්‍රවේශයක් සපයයි. එනම්; මෙවැනි කම්පන හරහා ගමන් කරන්නාක් මෙන් පෙනෙන සාමූහික ප්‍රයත්නයන් පවා යළි ප්‍රතිකම්පනය ඇති කරවන සංසිද්ධි බවට පත්වීමේ අනතුරයි.
සාමූහික මිනිස් කම්පන යනු බොහෝ මුහුණු ඇති සරුසාර වෙළඳ අවකාශයකි. එහි එක් පැතිකඩක් විකල්ප දේශපාලනය සහ ඇකඩමියාව ඇසුරින් වටහාගන්නට පුළුවන. සාමාන්‍යයෙන් පසුගිය දසක පහකට කිට්ටු කාලය තුළ ලංකාවේ බිහි වූ ඇකඩමික් බුද්ධිමතුන් හා කලාකරුවන් (වර්තමානයේ ආණ්ඩුකරණය හා විවිධාකාරයෙන් මේ අය සම්බන්ධතා ගොඩනගාගෙන තිබීමද ආකර්ෂණීය වේ) බොහෝ පිරිසක් සිවිල් යුද්ධය සහ ඒ ආශ්‍රිත කම්පනය පිළිබඳ නොයෙක් ප්‍රගතිශීලී මත පළ කරමින් සහ යුද්ධය පිළිබඳ ප්‍රධාන දහරාවේ සිතීම එනම්, සිංහල බෞද්ධ අධිපතිවාදයට විරුද්ධව නොයෙක් රැඩිකල් ලියකියවිලි ඉදිරිපත් කොට තිබේ. මේ කෘතියෙහි එවැනි නම් ඇති බොහෝ අයත් ඒ අධිපති සිංහල බෞද්ධ මතවාදයට විකල්ප සිතීමක් යෝජනා කළ අය අතර වේ.
දැන් අපි සහෝදර දෙමළ ලේඛක දීපචෙල්වන්ගේ පොත් සම්බන්ධ ගැටලුව වෙත එමු. එය මහාචාර්ය චන්ද්‍රජීවගේ මේ කෘතියෙහි එන අර ‘ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්’ රූපකය තවත් තලයකට ඔසවයි. එනම් විප්ලවීය කලාකරුවන්, විකල්ප බුද්ධිමතුන් සේ පෙනී සිටින අය සහ ඇකඩමික් ක්ෂේත්‍රයේ බොහෝ නම ලිය අය, සිය ක්ෂේත්‍රවල ඉහළ යාමට සිංහල-දෙමළ වාර්ගික යුද්ධය කදිම “දොරක්” හෝ “ජනේලයක්” බවට පත්කරගෙන තිබීමේ ඛේදවාචකයයි. දැන් ඇමති- ආචාර්ය සුනිල් සෙනෙවි ඇතුළු කලා මණ්ඩල සාමාජිකයන් අතරත් ඒ අය වටා පවුරක් සේ සිටන ප්‍රබුද්ධ චරිත බොහොමයකගේත් සීවී පරීක්ෂා කර බලන්න. ඔවුන්ගේ සීවී ශක්තිමත් කරන්නට යුද්ධයේ කම්පනය දායක වී ඇති අන්දම අතරින් ඔබට ‘ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්’වල බොඳවුණු පින්තූර හමුවේවි. මේ ප්‍රශ්නය මගහැර නිහඬව සිටින අයත් මෙහි කොටස්කරුවෝ බව අප අමතක නොකළ යුතුය. නිහඬතාවටත් කටහඬක් තිබේ. එහි දේශපාලනය දෙස විමසිල්ලෙන් බලා සිටින්න. කැකිල්ලේ රජ කතා දාර්ශනික ස්වරයෙන් ඇසෙන විට එහි යටි පෙළෙහි ඇසෙන බුද්ධිමය පරාජය ඔබට නොපෙනේද?
මෙහි මා මතුකරන දීපචෙල්වන් ප්‍රශ්නය යනු ඔහුගේ පොත් ‘රේගුවේ භාරයට ගැනීම හා මේ වනතෙක් ඒවා නිදහස් නොකිරීම’ට වඩා ඒ ආශ්‍රිතව ඇති වූ සාමූහික සංවාදයයි. රේගුවේ සහ ඒ ආශ්‍රිත රාජ්‍ය යාන්ත්‍රණයේ ගැටලුව ඉතා දිගුකාලීන අරුබ්දයකි. මා මෙහි වඩාත් උනන්දු -දීචෙල්වන්- සංවාදයේ සිටින, මෙම කෘතියටත් කවි ලියා ඇති ඇතැම් අය සහ පොදුවේ “දීපචෙල්වන්ගේ පොත් වෙනුවෙන් පෙනීසිටීම ආණ්ඩුව පෙරළීමේ උත්සාහයක්” ලෙස අර්ථකථනය කරමින්, රාජ්‍ය යාන්ත්‍රණයේ සිදුවන බරපතල ව්‍යුහාත්මක හිංසනයක් සාධාරණය කරන මහජන බුද්ධිමතුන් පිරිස මට පෙනෙන්නේ තම නිවෙස්වල අලංකාරය, ප්‍රෞඪත්වය හා ශ්‍රී විභූතිය වෙනුවෙන් ‘ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්’ ප්‍රදර්ශනය කරන නරුම මිනිසුන් හා සමානයන් ලෙසයි.
දීපචෙල්වන් හෝ වෙනත් ඕනෑම අයෙක් මේ යුගයේ පොත් මුද්‍රණය කොට ඒවා බෙදාහරිමින් විප්ලවයක් හෝ කැරැල්ලක් සංවිධානය කරන්නට ඉඩ ඇති බව සිතීම ඉතා පසුගාමී දේශපාලන චින්තනයකි. ජාතික සංහිඳියාවට තර්ජනය වන අදහස් ඇති පොත් ලියා මුද්‍රණය කර බෙදාහැරීම යනු දෙමළ සමාජයට කාලීන වශයෙන් ප්‍රායෝගික ප්‍රයෝජනයක් ඇති දෙයක් නොවේ. රේගුවේ ඔය පොත් ටික සුරැකිව තිබියදී දෙමළ සමාජයේ අයට අවශ්‍ය නම් ඒ අදහස් කිසිදු බාධාවකින් තොරව බෙදාගත හැකි නිදහස් අවකාශ ඕනෑතරම් තිබේ. මායා රංගනාදන් ලියූ Eelam Online: The Tamil Diaspora and War in Sri Lanka (2010) වැනි කෘතියක් නිකමට කියවා බලන්න. ඊළාම් රාජ්‍යයක් ගැන අදහස් දෙමළ සමාජයේ බෙදාගන්නට පොත් ලියා අච්චුගසමින් රස්තියාදු වන්නට අවශ්‍ය නැත. පොළොවක් නැතිව වසර ගණනක් සංවිධානය වූ ඔවුන්ට ඔබ සිතනවාට වඩා විශාල තොරතුරු ජාලයක් තිබේ. ඇත්තෙන්ම මේ ආණ්ඩුව සහ එහි රැකවලුන් කරමින් සිටින්නේ දීපචෙල්වන්ගේ පොත් ‘’ජාතික සංහිඳියාවට තර්ජනයක්’’ බව කියමින් අපේ සමාජයට ඒ තර්ජනය ඔවුන් විසින්ම එල්ලකිරීමයි. අනික් අතට ඔය කියන ජාතික සංහිඳියාවට තර්ජනයක් විය හැකි අදහස් අඩංගු පොත් කීයක් නම් සිංහල පොත් අතර පවා කොතෙක් නම් ඇද්ද? පොත් පමණක් නොවේ මේ අන්තර්ජාල අවකාශයේ පවා එවැනි අදහස් කෙතරම් හුවමාරු වනු නොපෙනේද? පශ්චාත් ව්‍යුහවාදයෙන් පසුව වර්ධනය වූ බොහෝ න්‍යායන් හදාරා ඇති ඇකඩමික් මිනිසුන්, කලාකරුවන් පිරිසක් “ජාතික සංහිඳියාව” තේමා කරගෙන, මේ තරම් වගකීම් විරහිත ලෙස, හෘදසාක්ෂියක් නැති – අබුද්ධික මිනිසුන් ලෙස හැසිරෙන මහජන බුද්ධිමතුන් පිරිසක් සේ එළිදරව් වීම මා දකින්නේ අප ඓතිහාසික වශයෙන් ලද තීරණාත්මක බුද්ධිමය පරාජයක් ලෙසයි.
රේගුවේ තීරණය හා ඒ පසුපස ඇති අනර්ථකාරී ව්‍යුහාත්මක අගතීන් පරීක්ෂා කරමින් ඒවා නිවැරදි කරගෙන මේ යුද කම්පනය හරහා සමාජය සමග සාමූහිකව ඉදිරියට ඇවිදයාමට තිබූ ඉතා වැදගත් අවකාශය, මේ අය ආණ්ඩුවේ නාමයෙන් සටකපට ලෙස අපට අහිමි කළහ. එහි වරදකාරීත්වයේ වගකීම මේ අයට ඉතිහාසය විසින් පවරනු ඇත.
අද මේ ආණ්ඩුව වටා එක් වී සිටින බොහෝ අය මීට පෙර රාජපක්ෂවාදයේ ඇති නරුමත්වයක් සහ සීමාවක් ලෙස එරෙහි වූ ප්‍රධාන සංසිද්ධියක් වූයේ බුද්ධිමතුන්, කලාකරුවන් ලැජ්ජාසහගත ලෙස ආණ්ඩුවාදීන් බවට පත්වීමයි. රාජ්‍යය ආණ්ඩුව බවට ඌණනය වීමේ සීමාන්තිකතා බොහෝමයක්, දැන් ආණ්ඩුව නියෝජනය කරන බොහෝ ‘විකල්ප’ බුද්ධිමතුන් එකල පෙන්වා දුන්හ. දැන්, මේ ඒ අයමදැයි සිතන්නට බැරි තරමට ඒ බොහෝදෙනා ආණ්ඩුකරණය වීම අප ලද සාමූහික පරාජයක් බව මම බිඳුණු හඬින් යළිත් කියමි.
කිසිදු මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් කිසි කලෙක කිසි පක්ෂයක් සමග කිසි සම්බන්ධයක් පවත්වා නැති (ඡන්දය හෝ ප්‍රකාශ කොට නැති) මා පවා මේ ආණ්ඩුවට එරෙහි කුරුමාණම් අල්ලන හතුරෙකු සේ දකින්නට ඔබට ඉඩ තබා මම මේ රචනය අවසන් කරමි. ක්ෂති-කම්පන න්‍යාය (trauma theory) ඇසුරින් විස්තර කළ හැකි, මේ දිනවල අපේ සමාජයේ ඔඩුදුවන සංවාදයේ ඇති ආකර්ෂණීය (එහෙත් ඛේදාන්තමය) සංසිද්ධි බොහෝ තිබුණද මේ රචනය ලියැවුණේ එවැනි සිද්ධි විචාරය වෙනුවෙන් නොවේ. මහාචාර්ය සරත් චන්ද්‍රජීව සංස්කරණය කළ ‘’සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්’’ කෘතියෙහි ඇති ‘කම්පනය හරහා ගමන්කිරීමේ’ හෙවත් working through වෑයම වෙනුවෙන් කෘතඥතාපූර්වක විමසීක යෙදීමයි. එහෙත් එවැනි අවකාශයක පවා ‘ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස්’ අපවම කියවන කලාත්මක රූපකයක් සේ මාද පරයා නැගී සිටියි.
සුදර්ශන සමරවීර
sudarsanasamaraweera.com

