පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන විසින් සිදු කළ බව එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ හේමසිරි ප්‍රනාන්දු පැවසීය.

මේ ප්‍රහාරයට එවකට පොලිස්පති ධුරය දැරූ පූජිත් ජයසුන්දර සහ තමන් වගකිවයුතුය යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පැවසූ බවයි, ඔහු සඳහන් කළේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ඊයේ (29) කැඳවන ලදි. ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලඉදිරියේ මේ නඩුව කැඳවනු ලබන්නේ හේමසිරි ප්‍රනාන්දුගේ විත්තිවාචකය ලබාගැනීම සඳහා ය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකරන ලද නඩුවෙන් විත්තිවාචක කැඳවීමකින් තොරව ඔහු නිදහස් කරන ලදි. ඉන්පසු නීතිපතිවරයා විසින් විත්තිවාචක කැඳවන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව මේ නඩුව යළිත් කැඳවීමට තීරණය කෙරිණි.

ඊයේ (29) විත්ති කූඩුවේ සිට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි ලබාදෙමින් හේමසිරි ප්‍රනාන්දු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට බරපතළ චෝදනා කිහිපයක් එල්ල කළේය. එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි වීමට හිටපු ජනාධිපතිවරයා ඉඩ නොදුන් බවත්, හිටපු ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට නොහැකි නිසා අවස්ථා දෙකකදී තමන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයෙන් ඉවත්වීමට උත්සාහ කළද, රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිවරයා ඊට ඉඩනොදුන් බවත් මෙහිදී හේමසිරි ප්‍රනාන්දු පැවසීය.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 04දා ලැබුණු බුද්ධි තොරතුර තමන්ට නිසිපරිදි සන්නිවේදනය නොකළ බවත්, ඒ පිළිබඳ තවදුරටත් සොයාබලන බව එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන පැවසූ බවත් ඔහු පැවසීය. ඉන්පසු අප්‍රේල් 09දා පැවැති බුද්ධි සමාලෝචන රැස්වීමේදී නිලන්ත ජයවර්ධන මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නොකළ බවත්, ඊට පසුව තිබූ ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදීද නිලන්ත ජයවර්ධන මේ සම්බන්ධයෙන් කිසිවක් නොපැවසූ බවත් හේමසිරි ප්‍රනාන්දු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවසීය.

බොහෝදෙනෙක් සඳහන් කළ ආකාරයට නිලන්ත ජයවර්ධන සහ මෛත්‍රිපාල සිරිසේන අතර පැවතියේ පිය – පුතු සම්බන්ධයකටත් වඩා, ඊට එහා ගිය සම්බන්ධයක් බවත්, මෛත්‍රිපාල සිරිසේන වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයකු පත්නොකොට 2019 අප්‍රේල් 17දා ලංකාවෙන් පිටවීම නිසා තමන් බරපතළ අසීරුතාවකට පත්වූ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ප්‍රහාරයෙන් පසු එවකට අගමැති රනිල් වික්‍රමසිංහ කැඳවූ සාකච්ඡාවට නොයන ලෙස ද මෛත්‍රිපාල සිරිසේන තමන්ට උපදෙස් දුන් බවත්, එම උපදෙස එවකට ජනාධිපති ලේකම්වරයාට ද ලබාදී තිබූ බවත් හේමසිරි ප්‍රනාන්දු මෙහිදී සඳහන් කළේය.

Related articles

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...

ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් රනිල්ට අධිචෝදනා ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත් නීතිපතිගෙන් අසයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ වුල්හැම්ප්ටන් උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වීමට රජයේ මුදල් යොදාගැනීම...

බොහෝ බැංකු දැනටමත් “ප්‍රායෝගිකව බංකොලොත්” – බියකරු අනාගතයක සේයාවක් ද?

සමහර පුවත් තියෙනවා එය ඇසූ සැණින් හදවත ගැස්සෙන, අද අපේ අසල්වැසි බංග්ලාදේශයෙන් ඇසෙන්නේ එවැනිම ඉතාමත් කණගාටුදායක සහ බියකරු...