රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ – කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී. එම නඩුවේ තුන්වැනි සැකකරු ලෙස සුරේෂ් සලේ නම් කර ඇත.
චැනල් 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කරන ලද වැඩසටහනකදී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ ලේකම් වූ අසාද් මවුලානා විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳ ආන්දෝලනයක් ඇති විය. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ අතර, එම විමර්ශනයට අදාළව 150කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
එම විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාදුන් තීරණාත්මක පුද්ගලයන් කිහිපදෙනකුට යුද හමුදා බුද්ධි අංශයෙන් තර්ජන සහ බලපෑම් එල්ල වී ඇති බව පසුගියදා මේ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට දැනුම් දෙන ලදි. කටුවාපිටිය, එරාවුර්, වාලච්චේන සහ ආරියම්පදි යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට මෙසේ තර්ජන එල්ල වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට වාර්තා කර ඇත. මේ අතරින් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට කටුවාපිටිය දේවස්ථානය පිළිබඳ තොරතුරු ලබාදුන් පුද්ගලයාට යුද හමුදා බුද්ධි අංශයෙන් මෙසේ තර්ජනය කර ඇති බවත්, ඒ පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. තවුහිද් ජමාද් සංවිධානයට ගිනිඅවි ලබාදුන් බවට 2025 දෙසැම්බර් 18 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාට නැගනෙහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු සහ යුද හමුදාවේ ඉහළ නිලධාරියකුගේ පාර්ශ්වයෙන් තර්ජනය කර ඇත.
මෙසේ තර්ජන එල්ල වී ඇති තවත් පුද්ගලයකු වන්නේ යුද හමුදා බුද්ධි අංශයේ සේවය කළ සැරයන්වරයකුගේ පුත්‍රයෙකි. එම සැරයන්වරයා දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිට ඇත. ලේඛක රොහාන් ගුණරත්න පිල්ලෙයාන් හමුවීමට අවස්ථා 03කදී බන්ධනාගාරයට පැමිණි බව පවසා තිබුණේ මේ සැරයන්වරයා ය. ඔහුගේ පුත්‍රයා විසින් ද මේ පිළිබඳ තොරතුරු ලබාදී තිබූ අතර, මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනාවක් එල්ල කර ඔහුට පහරදීමක් සිදු කර ඇත. සෘජුවම තර්ජන එල්ල වී ඇති ආරියම්පදි ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අනෙක් සාක්ෂිකරුට බලපෑම් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදුන්නේ ඇයි යන්න ප්‍රශ්න කරමිනි. නැවත එවැනි ප්‍රකාශ ලබානොදෙන ලෙසට ද ඔහුට තර්ජනය කර ඇත.
