ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා නම් ජැක්සන්ට අවුරුදු 68ක් වෙනවා. ජැක්සන් මැරිලා වුණත් එයා තාමත් අමරණීයයි. එයාගේ සිංදු ලෝකය පුරා ඕනම තැනක ඇහෙනවා. බිලියන ගණන් මිනිස්සු සිංදු අහනවා සහ බලනවා. 2000න් පසු ඉපදුණ පරම්පරාවට නම් ජැක්සන්ව මතක නැහැ. හැබැයි 2000ට පෙර පරම්පරාව තාම ජැක්සන්ට පණ වගේ ආදරෙයි.
මීට අවුරුද්දකට කලින් මයිකල් ජැක්සන් ගැන හොලිවුඩිවලින් ෆිල්ම් එකක් හැදෙනවා කියලා ආරංචි වුණාම එක පැත්තකින් සතුටක් ආවා වගේම අනෙක් පැත්තෙන් දුකකුත් හිතුණා. දුකක් ඇති වුණේ මයිකල් ගැන ෆිල්ම් එකක් හදනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි සහ ඔහුට අසාධාරණයක් වුණොත් ඇතිවෙන කලකිරීම ගැන හිතලා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ “ඇන්ටොයින් ෆුකුවා”. ඔහු සමිමානනීය චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්. මයිකල් ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ ජෝන් ලෝගන්. ජෝන් ලෝගන් තමයි “ග්ලැඩියේටර්”, ”ස්කයිෆෝල්”, “ද ලාස්ට් සමුරායි”, “ද ඒවියේටර්”, “රැන්ගෝ”, “හියුගෝ” වගේ සම්මාන පිට සම්මාන දිනපු චිත‍්‍රපටවල තිරපිටපත් ලියුවේ. මයිකල් ෆිල්ම් එක ගැන කියනවා මගේ අවංක අදහස අනුව පරිපූර්ණ චිත‍්‍රපටයක් නොවුනත් මයිකල් ජැක්සන්ට සාධාරණයක් කරන්න දරපු හොඳ උත්සාහයක් කියලා මට හිතෙනවා. ඇතැම් අය චෝදනා කරනවා චිත‍්‍රපටය මදි කියන එක. චිත‍්‍රපටයේ ධාවන කාලය මදි කියන එකත් චෝදනා කරනවා. මගේ පෞද්ගලික අදහස අනුව ආයේ කියනවා නමි මයිකල්ගේ කතාව තනි චිත‍්‍රපටයකින් පෙන්වන්න බැහැ. චිත‍්‍රපට දෙකකට වගේ ගේන එක හොඳයි. ෆ්‍රෙඩ් මර්කරි, බොබි ඩිලන්, එල්විස් ප්‍රෙස්ලි, එල්ටන් ජෝන් වගේ ගායකයන්ට වඩා මයිකල්ගේ ජීවිත කතාවේ පරාසය විශාලයි.
තව දෙයක් තමයි ජැක්සන් ජීවත් වෙලා ඉන්නකොට එයාට චෝදනා එල්ල වෙනවා ළමා අපචාර සම්බන්ධයෙන්. බොහෝ අය කියලා තිබුණා ඒවා චිත‍්‍රපටයේ සඳහන් වෙන්නේ නැහැ කියලා. මේ චිත‍්‍රපටය සම්පූර්ණයෙන් පාහේ ජැක්සන්ගේ ෆැම්ලි එකත් සහ එයාගේ පරම්පරාව එක්ක එකතුවෙලා කරපු නිෂ්පාදනයක්. Biography එකක් කරද්දි ජනප්‍රිය පුද්ගලයෙක්ට අගතිගාමි දේවල් සම්බන්ධයෙන් පෙන්නවා හරිම අඩුවෙන්. ඒවා ගොඩක් වෙලාවට ස්ක්‍රිප්ට් එක ලියද්දි ෆිල්ටර් වෙනවා. කොහොමවෙතත් ජැක්සන්ගේ චිත‍්‍රපටයක් වෙනම විදියකින් තව දශක ගණනාවක් ගිහින් ආයෙත් හැදෙන්න පුලුවන්.
මයිකල්ගේ පෞද්ගලික ජීවිතය සහ සංගීතමය ජීවිතයේ පරාසය විශාලයි. ඒක පැය දෙකකට සාරාංශ කරන්න තියා හිතන්නවත් බැහැ. ෆිල්ම් එක ඇත්තටම ඉවර වෙන්නේ නැහැ. ෆිල්ම් ඉවර වෙන්නේ මයිකල්ගේ ජීවිතය ඇත්තටම පටන් ගන්න තැනින්. මයිකල් ජැක්සන් කියන්නේ කවුද? ඔහු කොහොමද ගායකයෙක් දක්වා වැඩෙන්නේ? ඔහුට තිබුණ ගැටළු මොනවද? ඔහුගේ හැසිරීම මොනවගේද? ඔහුගේ අනන්‍යතාවය (Identity) බිඳ වැටෙන්නේ කොහොමද? කියන දේවල් සම්බන්ධයෙන් තිර රචනාව අවධානය යොමුවෙලා තිබුණා. ඒ සියළු දේවල් සිනමා භාෂාව (Film Language) එක්ක ලියව්ච්ච දේවල් ෆිල්ම් එක ඇතුළේ.
පොප් සංගීතයේ රජු විදියට කිරුළු පළන්නේ කොහොමද? කියලා “Michael” ෆිල්ම් එකේ යම් පමණකට සඳහන් වෙනවා. මයිකල් සිය ජීවිතය තුළ ලබාගත් ජයග්‍රහණ වගේම එයා මුහුණ දුන් ඛේදවාචක, එයාගේ තියෙන සංකීර්ණ චරිත ලක්ෂණ පේනවා. එයා ගායනා කරපු ගීත වගේම නර්තකයකු විදියට කරපු වැඩ ෆිල්ම් එකේ තියෙනවා. ෆිල්ම් එකේ කැමරාකරණයට මගේ පෞද්ගලික අවධානයට ලක් වුණා. චිත‍්‍රපටයට වැඩිපුරම භාව්තා කරලා තියෙන්නේ සමීප රූප (Close Ups). නළු නිළියන්ගේ මුහුණේ භාවයන්ට (Mood) වැඩිපුර මුල් තැනක් දීලා තියෙනවා. පසුතල නිර්මාණය, වේෂ නිරූපණය, රංග වස්ත්‍ර නිර්මාණය ආදී සියල්ලක්ම ඒ යුගය යළි ප්‍රතිනිර්මාණය කරනවා. ජැක්සන්ට පණ දෙන්නේ ඔහුගේ බෑනණුවන් කෙනෙක් වෙන “ජෆාර් ජැක්සන්”. ජැක්සන්ට යළි පණදෙන්න ජෆාර් අරන් තියෙන උත්සාහය අගයන්න ඔින. ජැක්සන්ගේ ගමන විලාසය, කතා කරන විලාසය, අත සහ ඇඟිලි හසුරුවන විදිය පවා සෑහෙන අධ්‍යයනයක් කරලා තියෙනවා ජෆාර්.
මයිකල් ජැක්සන් කියන්නේ ලෝකයට සිටි අවසාන සුපිරි ගායකයා. අපේ පරම්පරාවේ අවසාන විශ්වීය (Universal) සුපිරි තරුව ඔහු. පොප් සංගීතයේ රජු (King Of Pop). ඔහුගෙන් පස්සේ මිහිමත ගායකයෙකුට උන්මාදයෙන් පෙළුණ මයිකල් තරම් ගායකයකු තවමත් බිහි වෙලා නැහැ. මයිකල්ට ළංවන්නට හැකි ගායකයකු යළි බිහිවෙන්නෙත් නැහැ. ජැක්සන් මැරිලා නැහැ. එයා අමරණීයයි. එයා භෞතිකව මළා තමයි. හැබැයි එයාගේ සෙවණැල්ල තාම ජීවත් වෙනවා. ඒකට සාක්ෂිය තමා මේ චිත‍්‍රපටය. ඔබ මයිකල් ජැක්සන්ට ආදරය කරන්නෙකු නම් “Micheal” චිත‍්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න. මේ ඔහුගේ ජීවිතයේ එක් පෙත්තක් විතරයි.

