නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කාගේ ද?, ඉතිහාසයේ පාඩම් දැන, අරමුණු ජය ගමු ද?

Share post:

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට මේ රජය විසින් සැලසුම් සකස් කොට ඇතැයි අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසා සිටියේ දැනට ටික දිනකට පෙරය. ජනපති අනුර එය අද (24) පාර්ලිමේන්තුවේ දී තහවුරු කළාය.

මෙම සියළු ප්‍රකාශයන්ට අනුව හැඟී යන්නේ, මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සකස් කිරීමට වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිවරිය ලෙස හරිනි අමරසූරියත්, ඇය අයත්වන NPP ආණ්ඩුවත් පූර්ණ ලෙස මැදිහත් වී ඇති බවය.

අදාල ප්‍රතිසංස්කරණය මඟින් ඇතැම් විෂයයන් ඉවත් කිරීම වැනි කාරණා ගැන සමාජය තුළින් දැඩි විරෝධයක්, අධ්‍යාපන අමාත්‍යවරිය වූ ඇයට සහ පොදුවේ NPP ආණුඩුව වෙතට එල්ල වූයේ සමාජය තුළ පවතින එකී විශ්වාසය හේතු කොට ගෙනය.

සැබැවින්ම මෙම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජාතික ජන බලවේග ආණ්ඩු⁣ව විසින් නිර්මාණය කළ එකක් ද? මා සොයා ගත් කරුණු අනුව නම් වැටහෙන්නේ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ ආණ්ඩුවේ නිර්මාණයක් නොවන බවය.

ප්‍රතිසංස්කරණයේ ආරම්භය ඈතට දිවෙයි…

අනුර කුමාර දිසානායක ජනාධිපති බවට පත්වන්නේ 2024 සැප්තැම්බර් 23 ය. 24 වැනිදා කැබිනට්ටුව පත් කළ අතර, එහි අගමැතිණිය සහ අධ්‍යාපන ඇමැතිවරිය වූයේ හරිනි අමරසූරිය ය. පාර්ලිමේන්තු මැතිවරණය පැවැතියේ 2024 නොවැම්බර් 14 ය. දෙවන කැබිනට්ටුව පත් කළේ නොවැම්බර් 18 ය. එහිදීත් අගමැති සහ අධ්‍යාපන ඇමැති ධූරයට පත් වූයේ හරිනි අමරසූරිය ම ය. මේ අනුව ගත් විට NPP ආණුඩුව පත් වී මේ වන විට ගෙවී ඇත්තේ වසරකටත් අඩු කාලයකි. එතරම් කෙටි කාලයක් තුළ මෙවැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සකස් කොට ක්‍රියාත්මක කිරීමට හැකි ද යන්න පිළිබඳව ඇත්තේ ගැටළුවකි.
මා සොයාගත් කරුණු අනුව මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ආරම්භ කොට ඇත්තේ වර්ෂ 2018 තරම් ඈතක සිටය. මෙය සිදු කොට ඇත්තේ ජාත්‍යන්තර ආධාර මත ය. සැබවින්ම මේ සඳහා ලබා දී ඇත්තේ ආධාර නොව ණය ය. එම ණය මුදල් ප්‍රදානය කර ඇත්තේ ලෝක බැංකුව (World Bank) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) යන ආයතන දෙක ය.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා ලෝක බැංකුව ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100 කි. (USD 100 million). ඊට අමතරව තවත් ඇ. ඩො. මිලියන 50 ක් මෑතක දී ද ලබා දී ඇත. සාමාන්‍ය වශයෙන් ලෝක බැංකුව විසින් ලබා දී ඇති මෙම ණය සඳහා ගෙවිය යුතු පොලී ප්‍රතිශතය 1.5% කි.

මෙම ප්‍රතිසංස්කරණය සඳහා ලෝක බැංකුව අදාල ණය මුදල ලබා දී ඇත්තේ, සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP) (General Education Modernization Project) වෙනුවෙන් ය. මෙම ව්‍යාපෘතියේ අරමුණු වන්නේ ( 1 – 13 දක්වා ශ්‍රේණි ඇතුළත්) O/L සහ A/L විෂය නිර්දේශ නවීකරණය කිරීම, ICT පදනම් වූ අධ්‍යාපනය ප්‍රවර්ධනය, ගුරු පුහුණු කිරීම සහ ග්‍රාමීය පාසල් සඳහා උපාංග සහ පරිගණක ලබාදීම ය.

එසේම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් 2018 සිට 2020 දක්වා කාලය තුළ ලබා දී ඇති ණය මුදල ඇ. ඩො. මිලියන 858 කි. සාමානයෙන් ADB ලබා දී ඇති මෙම ණය සඳහා ගෙවිය යුතු ණය පොලී ප්‍රතිශතය 2-3% අතර අගයක පවතී.

ආසියානු සංවර්ධන බැංකුව ණය ලබා දී ඇත්තේ, වෘත්තීය පුහුණු ප්‍රතිසංස්කරණය TVET (TVET Reforms ) සඳහා ය. මෙහි අරමුණු වන්නේ, O/L වලින් පසු කාලයේ දරුවන්ට වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන විකල්ප ලබාදීම, දක්ෂතා මත පදනම් වූ ජීවන රැකියා උදෙසා පුහුණුව සහ නිපුණතා සංවර්ධනය සහ පද්ධති පරිවර්තන වැඩසටහන මගින් ඩිජිටල්කරණය යන කටයුතු සිදු කිරීමටය.

ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ලබා දෙන්නේ ණය පමණක් නොවේ. ඔවුන් ඒ සමඟම ප්‍රතිසංස්කරණය සඳහා උපදෙස්, නියමයන් සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ද ලබා දෙයි.

ණය ලබා දීම සඳහා ලෝක බැංකුව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පද්ධතිමය වෙනස්කම් ඉල්ලා සිටී. උදාහරණයක් ලෙස, පාසල් කළමනාකරණය විමධ්‍යගත කිරීම (decentralization), පෞද්ගලික අංශය සහ භාණ්ඩාගාර පදනම් ශිෂ්‍ය දීමනා වැඩසටහන් (voucher systems) ඇතුළත් කිරීම, STEM අධ්‍යාපනයේ යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීම, ICT භාවිතය වැඩි කිරීම වැනි වෙනස්කම් කළ යුතුය.

මෙම බැංකු, දේශීය අධ්‍යාපන ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීමේදී තාක්ෂණික උපදෙස් (technical advice), විශේෂඥ විශ්ලේෂක වාර්තා, සහ උපාය මාර්ග මොඩලයන් ලබා දෙනු ලබයි. උදාහරණයක් ලෙස School Sector Development Project (SSDP), Transforming School Education Project (TSEP) වැනි ව්‍යාපෘති තුළ දී මෙම උපදෙස් ලබා දී තිබේ.

කෙටියෙන් කිවහොත්, ලෝක බැංකුව සහ ADB ය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ණය ලබා දෙන්නේ, ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති හා නීති වෙනස්කම් ඉල්ලා සිටිමිනි. නවීන පර්යේෂණ සහ වාර්තා මඟින් අධ්‍යාපන අංශය නැවත සැලසුම් කිරීමේ ක්‍රියාවලියට දැඩි සහ මෘදු ලෙස මෙම ආයතන බලපෑම් සිදු කරන බව ඉන් පැහැදිලි ය.

රටකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වන්නේ ඇයි?

අධ්‍යාපනය යනු සමාජයෙහි මූලිකම සහ බලවත්ම ආධාරකයක් වන අතර, එය මිනිසාගේ චින්තන ශක්තිය, සමාජීය හැසිරීම, සහ ආර්ථික නිදහස පවා නිර්ණය කරයි. එබැවින් රටක සංවර්ධනය සෘජුවම සම්බන්ධ වන විෂයයක් ලෙස අධ්‍යාපනය සැලකිය යුතුය. නමුත්, සමහර අවස්ථාවලදී පවතින අධ්‍යාපන පද්ධතිය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය වේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන්නේ එබැවිනි.

ශ්‍රී ලංකාවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වී ඇත්තේ දැනට පවතින අධ්‍යාපන පද්ධතිය, තාක්ෂණික, සාමාජික සහ ආර්ථික අවශ්‍යතා සමඟ අනර්ථක වී ඇති නිසාවෙනි. එය පහත පරදි කැටි කොට දැක්විය හැකිය.

අධ්‍යාපනය තුළ දැනට පවතින්නේ විභාග පදනම් ක්‍රියාවලියකි. මෙහිදී විවේචනාත්මක චින්තනය, නිර්මාණශීලිත්වය සහ සහයෝගීතාවය වැනි 21 වන සියවසේ දක්ෂතා ඉගෙනීමට අවස්ථාව නො ලැබෙයි.

බොහෝ සිසුන් සඳහා අධ්‍යාපනය, විභාග සමත්වීමේ පද්ධතියක් ලෙස පමණක් භාවිතා වේ. විභාග අසමත්වීම් හේතුවෙන්, දරුවන්ට තම ජීවිතයේ වටිනාකම් පිළිබඳ අගයක් ද නැති වෙයි.

අනෙක් අතට Tuition ව්‍යාපෘතිය සහ අධ්‍යාපනය වාණිජීකරණය වීම බරපතළ සමාජ ගැටළුවක් බවට පත් වී තිබේ.
රාජ්‍ය පාසල් පද්ධතිය මත පැවැති විශ්වාසය පහළ යෑම නිසා, private tuition ක්‍රමය අතිශයින් ව්‍යාප්ත විය. මෙය අධ්‍යාපනය සමාජ සත්කාරයක් නොව, වෙළඳ භාණ්ඩයක් බවට පත් කර ඇත. වාණිජ පාසල් හා tuition class වලට මුදල් වැය කළ හැකි අය පමණක් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගත හැකි පිරිසක් බවට පත්වී තිබේ.

තාක්ෂණික පරිවර්තනය සහ අධ්‍යාපන පද්ධතියේ පසුබෑම කොතෙක්ද යත්, පාසල් විෂයමාලා තවමත් ක්‍රියාත්මක වන්නේ වසර 20–30 ට පෙර සකස් කළ විෂය නිර්දේශය පදනම් කරගෙන ය. දත්ත විද්‍යාව, AI, කේතනය, ඩිජිටල් සාක්ෂරතාවය වැනි අංග බොහෝ පාසල්වල නැත. COVID-19 සමයේදී ද විද්‍යුත් ඉගෙනීම් (e-learning ) ප්‍රවේශය පිළිබඳව පෙන්වූයේ ප්‍රබල විෂමතාවයකි.

අනෙක් අතට වෘත්තීය අධ්‍යාපනයේ අගය සලකන්නේ අඩු වශයෙනි. වෘත්තීය අධ්‍යාපනය තුළින් දක්ෂතා ලබා ගන්නා සිසුන්ගේ තත්ත්වය අඩු තක්සේරු කරති. එසේ කිරීමෙන් ජාතික ආර්ථිකයට අවශ්‍ය වෘත්තීය දක්ෂයන් බිහි කිරීම වැලැකී තිබේ. මෙය යොවුන් රැකියා විරහිතභාවය වැඩිවීමටට මූලික හේතුවකි.
භාෂා සහ සන්නිවේදන දක්ෂතා අඩුව තවත් ප්‍රබල ගැටළුවකි. මව් බස මත පදනම්ව ඉගෙනීම වඩා පහසු වුවත්, ඉංග්‍රීසි භාෂා දක්ෂතාවය අඩු වීම ජාත්‍යන්තර අවස්ථා වලට ප්‍රවේශය අඩු කර තිබේ. කථන කුසලතා, ඉදිරිපත් කිරීමේ හැකියාව, මාර්ග ගත සහයෝගීතාවය වැනි දක්ෂතා පාසල් වලින් වර්ධනය නොවේ.
අධ්‍යාපනය හා සමාජ විකසනය අතර පරතරය තවත් ප්‍රබල ගැටළුවක් වී තිබේ.

අධ්‍යාපනය, ව්‍යාපෘතිකත්වය සහ ආර්ථික දක්ෂතා වර්ධනය සඳහා පමණක් භාවිත වන විට, මනුෂ්‍යමය හා සමාජමය වගකීම් අමතක වේ. මේ හේතුවෙන්, පුරවැසි අධ්‍යාපනය, ආචාර ධර්ම, සහකම්පනය වැනි අංග සමාජය තුළ දක්නට ලැබෙන්නේ අවම වශයෙනි.
අසමානතා සහ අසාධාරණය තවත් ගැටළුවකි. ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ අතර, අර්ථික ශක්තිය ඇති අය සහ දුප්පත් පවුල් අතර අධ්‍යාපන ගුණාත්මකභාවයේ පරතරය විශාල වී ඇත. මේ හේතුවෙන්, සමත්වීම සහ ඉහළ ප්‍රවේශය සඳහා ඇතුළුවීමට සම අවස්ථා නිර්මාණය වී නැත.

2012 සිට 2021 දක්වා ශ්‍රී ලංකාවේ පාසල් හැර ගිය ළමුන් සංඛ්‍යාව 307,318 කි. මෙම සංඛ්‍යාවට 1 සිට 10 ශ්‍රේණි දක්වා ළමුන් අයත් ය. මෙම දත්ත 2023 නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිපත් කරනු ලැබුවේ එවකට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ය.
2023 – 2024 දත්ත අනුව 9 වැනි ශ්‍රේණිය අවසන් වීමෙන් පසුව පාසල් හැර ගිය ප්‍රතිශතය 6-7% සිට 11% දක්වා වර්ධනය වී ඇත. නිල වාර්තා වලට අනුව වතුකරයේ පාසල් වල ප්‍රාථමික අංශයේ දරුවන්ගේ පාසල් හැර යාමේ ප්‍රතිශතය 4%කි. වතුකරයේ දී ද්විතීක අංශයේ පාසල් හැර යාම 20% කි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මඟින් සිදු විය යුත්තේ ඉහත දැක් වූ ගැටළු ඇතුළු අනෙකුත් බරපතළ ගැටළු විසඳන හෝ හැකිතාක් අවම කරන ගුණාත්මක, සමාන, සහ අනාගතය සඳහා සූදානම් අධ්‍යාපන පද්ධතියක් ඇති කර ගැනීමය.

ඉතිහාසයේ සිදු වූ ප්‍රතිසංස්කරණ….

ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අපේක්ෂාව සහ යථාර්ථය විමසා බැලීමෙිදී
1940 දශකයෙහි සිට මෙතෙක් විවිධ අවධිවලදී සිදු කර ඇති ප්‍රතිසංස්කරණ සැලකිය යුතු වේ. ඒවායේ අපේක්ෂිත අරමුණු සම්පූර්ණයෙන්ම ඉටු වී ඇතිද යන්න විමසීම වැදගත්ය.

1945 රාමණාදන් කොමිෂන් වාර්තාව මගින් අධ්‍යාපනය සෑම පුරවැසියෙකුටම නොමිලේ ලබා දිය යුතුය යන අදහස මෙය මඟින් තහවුරු විය. වසර 5 වියේ දරුවන්ගේ සිට වයස 14 දක්වා අධ්‍යාපන ප්‍රවේශය පුළුල් වීම මෙමඟින් සිදු වූ වාසියකි. ගුණාත්මක භේදයන්, නාගරික හා ග්‍රාමීය පාසල් අතර විශාල විෂමතාවන්, වෛද්‍ය, ඉංජිනේරු, නීති වැනි වෘත්තිමය අධ්‍යාපන කලාපික අසමානතා මෙම ප්‍රතිසංස්කරණයෙන් හටගත් දෝෂ විය.
1972 දී ඇති කළ ප්‍රතිසංස්කරණයේ අරමුණ වූයේ, ඉංග්‍රීසි පරිපාලන පද්ධතියට විකල්පයක් ලෙස මව්බසින් ඉගැන්වීම, සහ දේශීය අවශ්‍යතාවට ගැලපෙන විෂය නවීකරණය කිරීමය. එමඟින් සිංහල සහ දෙමළ භාෂාවන් භාවිතයෙන් දරුවන්ට ඉගෙනීම පහසු විය. එහි දෝෂ ලෙස මතු වූයේ ඉංග්‍රීසි භාෂා දක්ෂතාවය පහත වැටී යාම සහ ගෝලීය මට්ටමින් රැකියා වෙළඳපොලට අනුකූල නොවීම ය.

1980-90 දශකවල ප්‍රතිසංස්කරණයෙන් සිදු වූයේ විෂය නවීකරණය, NCGE/OL/AL වෙනස්කම් ය. අධ්‍යාපන පද්ධතිය වඩා විශේෂීකෘත කරවීම, ඉගෙනීමේ ප්‍රතිඵල මත පදනම්ව පද්ධතියක් ගොඩනඟා ගැනීම මෙහි අරමුණ විය. විෂය වශයෙන් විවිධත්වය,
වෘත්තීය අධ්‍යාපන අවස්ථා සහ NVQ ක්‍රමය හඳුන්වා දීම මේ නිසා ඇති විය. විශේෂයෙන්ම ඉහල පෙළ සහ විභාග පදනම් පද්ධතිය නිසා කටපාඩම් ඉගෙනීම තාක්‌කාලිකව පමණක් වෙනස් විය. නමුත් විභාග ප්‍රවේශය ඉක්මවා යා නොහැකි වීය.

1990–2000 දශකයේ ප්‍රධානම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු වූයේ 1997 දී ය. එය ලේඛන ලෙස “General Education Reforms of 1997” ලෙස හැඳින්වේ. මෙහි අරමුණ වූයේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කිරීමය. නව විෂය නිර්දේශ මඟින් මූලික කුසලතා පිළිබඳ අවධානය යොමු කළේය.
ICT, English, Entrepreneurship වැනි නව අංග හැඳුන්වා දීමත්, ග්‍රාමීය හා වතුකරයේ පාසල්වලට වැඩි සම්පත් ලබාදීමත් මෙහි අරමුණු අතර විය.
විෂය නිර්දේශ නවීකරණය විය. කුසලතා-නැඹුරුව (ජීවන කුසලතා, සමාජ ඒකාබද්ධතාවය, පාරිසරික දැනුවත්භාවය)
වැඩි කිරීම. උසස් පෙළ විෂය නිර්දේශය සහ ගුරු පුහුණු ක්‍රමය යාවත්කාලීන කිරීම.
ICT සහ නව තාක්ෂණයට ප්‍රවේශය1990 දශක අගභාගයේදී පරිගණක විෂය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වීම.
SchoolNet වැනි ව්‍යාපෘති ආරම්භ වීම මෙමගින් සිදු විය.

නමුත් සිදු වූයේ සම්පත් පරිභෝජනයේ අසමතුලිතතාවයකි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, විද්‍යාගාර, පුහුණු ගුරුවරුන් තිබුණේ නගරයේ පාසල්වලට පමණි. ගොඩනැගිලි, පුහුණු ගුරුවරු, ලියවිලි ගැටලු නිසා ප්‍රතිපල අඩු විය. 6–11 දක්වා ශ්‍රේණිවල සෑම මට්ටමේම විෂයන් වැඩිවීමෙන් සිසුන්ට අධි පීඩනයක් ඇති විය. විශේෂයෙන් වතුකරයේ පාසල්වල විෂය මත පුහුණු ගුරුවරු නොමැතිකම දැඩි ලෙස පැවතුණි. ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය දේශපාලන චක්‍රයට වහල් විය. අධ්‍යාපනයේ අඛණ්ඩතාව අඩු විය.

ශ්‍රී ලංකාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා 1994 සිට 2025 දක්වා කාලය තුළ පමණක් ලබාගෙන ඇති ණය ප්‍රමාණය උපරිම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 දක්වා ඇති බවට සාධක ඇත. මෙයින් ඇ. ඩො. මිලියන 300 ක් ලෝක බැංකුවෙන් ලබාගෙන ඇති අතර ඉතිරි ඇ. ඩො. මි. 400 ලබාගෙන ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙනි.

මේ අනුව බැලූ විට මෙතෙක් ලංකාවේ සිදු කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලබා ගෙන ඇති ණය කන්දරාව හා ඊට ගෙවන ලද පොලී මුදල් කොපමණ දැයි ඔබට සිතා ගත හැකි වනු ඇත. මේ මුදල් වලට සාපේක්ෂව අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් අපේ රට අත්පත් කර ගෙන ඇති ආර්ථික, සමාජීය සහ සංස්කෘතික දියුණුව කුමක්ද යන්න මහත් ප්‍රහේලිකාවකි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ලැබුණු ජාත්‍යන්තර ආධාර හා ණය මුදල විශාල වුවද, අඩුම තරමින් 1994 සිට 2025 දක්වා සිදු කළ ව්‍යාපෘති, සාර්ථක ප්‍රතිඵල ලබාදිය හැකි ලෙස ක්‍රියාත්මක වුණාද යන්න සැලකිය යුතුය. අදටත් ගුණාත්මක අධ්‍යාපනය ගැටළුවකි. අධ්‍යාපන විෂමතා තත්ත්වය එසේම පවතී. එම නිසා, ප්‍රතිසංස්කරණයන්හි මුලික අරමුණු වන ගුණාත්මකභාවය, සහ ජනතා ප්‍රයෝජනය ප්‍රායෝගිකව ලැබී නැති බව ඉතා පැහැදිලිය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියා ඉතිහාසයේ සිට මේ දක්වාම සිදු කොට ඇත්තේ, ජාත්‍යන්තර බැංකු දෙකකින් පොලියට ණය ගෙන ඔවුන් ලබා දෙන උපදෙස් සහ පනවන නීති රීති වලට අනුව ඔවුන්ට අවැසි ව්‍යාපෘති අපේ රටේ අධ්‍යාපන ආයතනවල ඉහළ නිළධාරීන් ලවා හදවාගෙන කලඑළි දැක්වා අවසානයේ ණය හා පොලිය ගෙවීම පමණ ය.

⁣යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් මීට වඩා වැඩි යමක් සිදු කිරීමට මේ රජය අපේක්ෂා කරන්නේ නම්, මෙම ප්‍රතිසංස්කරණයේ ඇති ව්‍යුහාත්මක පරිවර්තනයට සෘජු සහ දැඩි මැදිහත්වීම ගුණාත්මකව සිදු කළ යුතුය.

සුනිල් ගාමිණී ජයලත්ගේ

Related articles

‘මන්දාකිණී තිබේ හැන්දෑවකදි හමුවන’ – චම්පිකා විජේසිංහ

කවියක සියුම්බව නිසි මාත්‍රාවෙන් සංතෘප්ත කරන්නට හැකිවීම යනු නිර්මාණකරුවෙකුගේ මෙන්ම පාඨකයකුගේද ලෝකය විචිත්‍රවත් කරන්නට හේතුවන්නකි. එවන් කවියක් කියවන...

ට්‍රම්ප් දිගට හරහට නෙලයි…

යුරෝපා සංගමයට, මෙක්සිකෝවට, 30% යි. කැනේඩියානු භාණ්ඩ වලට 35% යි.. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනෙකු...

ටෙස්ට් ඉතිහාසයේ අපූරු අත්හැරීම

සිම්බාබ්වේට එරෙහි දෙවෙනි ටෙස්ට් මැච් එකේදී 367ක් ගහපු දකුණු අප්‍රිකාවේ වයන් මල්ඩර් (Wiaan Mulder) තීරණය කරනවා ඉණිම එතනින්...

පක්ෂ දෙක බිඳින්න එලොන් මස්ක්ගෙන් අලුත් පක්ෂයක්

පුරාණ ග්‍රීක උපාය මාර්ගයකින්, රිපබ්ලිකන්-ඩිමොක්‍රටික් පක්ෂ දෙක බිඳින්න එලොන් මස්ක්ගෙන් අලුත් පක්ෂයක් …. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ one...