බොහිමියානු පැවැත්මක් ඇති විෂ්ණු වාසුගේ Made in India

Share post:

සංචාරක අත්දැකීම් ආඛ්‍යානගත කිරීම වර්තමානයේ ජනප්‍රිය ව්‍යවහාරයක් බවට පත්ව ඇත. මෙම අත්දැකීම් හුදු ස්ථානීය විස්තර ලෙසද ජන සමාජය පිළිබඳ කතිකාවක් ලෙසද පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට විවිධ ලේඛකයෝ උත්සුක වනු දක්නට පුළුවන. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට දේශීය මෙන්ම දේශසීමා ඉක්මවූ සංචාරක සාහිත්‍යයක රසය විඳීමට හැකියාව ලැබී තිබේ. විෂ්ණු වාසු විසින් රචිත මෑතකදී පළවූ Made in India කෘතිය සංචාරක ආඛ්‍යාන ආකෘතියේ තවත් පැතිකඩක් අපට සමීප කිරීමට දරන ලද ප්‍රයත්නයකි.

තමන් මේ වනවිට රටවල් 62ක සංචාරය කර ඇති බවත් ඒ අතරින් ඉන්දියාව විශේෂ වන බවත් ඔහු කෘතිය ආරම්භයේදීම පවසයි. ඔහු ශ්‍රී ලංකාවේ ඉපදුණ ද තම කර්ම භූමිය ලෙස සලකනුයේ ඉන්දියාවයි. මේ නිසා ඉන්දියාව සහ ඔහු අතර ඇත්තේ හුදු සංචාරකයෙකු සතු සංචරණ ලාලසාව අභිබවා යන ආත්මීය සහ ආධ්‍යාත්මික බැඳීමකි. ඉන්දියාවේ ඔහු පය නොගැසූ තැනක් නොමැති තරමට එම බැඳීම ප්‍රබලය. ඔහු මෙම සංචාරක ආඛ්‍යානය ගොඩනංවනුයේ මෙකී ආත්මීය බැඳීම නිරූපණය වන ආකාරයටය. මේ නිසාම ඔහුට සාම්ප්‍රදායික සංචාරක සටහන් ආකෘතිය සමතික්‍රමණය කිරීමට හැකිව තිබේ. එය පාඨකයාට නවමු අත්දැකීමක් ගෙන එයි.

මෙහි කථකයා වන විෂ්ණුට ඇත්තේ බොහිමියානු පැවැත්මකි. ඔහු තමන් හඳුන්වා ගන්නේ ධනවාදී බොහිමියානුවා යනුවෙනි. බොහිමියානුවා යනු සමාජයේ සාම්ප්‍රදායික ප්‍රතිමාන සහ අපේක්ෂාවලින් බැහැර, කලාකාමී දිවිපෙවෙතක් ගත කරන නාගරිකයෙකු වේ. මෙම සංචාරක ආඛ්‍යානයේ සිද්ධි සමඟ විෂ්ණුගේ බොහිමියානු ලක්ෂණ මුසු වීමෙන් පාඨකයාට නවමු සිතිවිලි සහ අත්දැකීම් අඩවියක් වෙතට පියමං කිරීමට අවකාශ සැලසේ.

සිය ජීවිතයේ නව යොවුන් අවධියේ කේරළයේ ත්‍රිවෙන්ද්‍රම් නුවරින් ඇරඹි කර්ම භූමි සවාරියේ දශක ගණනාවක අත්දැකීම්වල කැපී පෙනෙන මතක සටහන් මෙම කෘතියේ අන්තර්ගතව තිබේ. ඉන්දියානු චිත්‍රපට ප්‍රේක්ෂකාගාරයේ විවිධත්වය , දුම්රිය ගමන්වල අසිරිය , ආශ්‍රම ජීවිතය , මහත්මා ගාන්ධි ඝාතනය කළ ගොඩ්සේ සැමරීම ,දෘපද් මේලා සංගීත මහෝත්සවය, කුලභේදය ක්‍රියාත්මක වන ආකාරය මෙන්ම දලයි ලාමා මුණගැසීම ඇතුළු තවත් චාරිකාමය අත්දැකීම් රැසක් මෙහිදී පාඨකයාට අභිමුඛ වේ. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ මේවා සිද්ධිමය විස්තරවලට ලඝු නොකර සමාජ ,සංස්කෘතික හා ආධ්‍යාත්මික සිතීමක් දක්වා රැගෙන යාමට කතුවරයා සමත්වීමය. ඇතැම් විට ඔහුගේ ඉදිරිපත් කිරීම් තුළ පවත්නා විරුද්ධාභාසී ස්වභාවය අතිශයින් උත්ප්‍රාසාත්මක වේ. ඔහු පවසන පරිදි මත්පැන් වර්ගයක (රම්) වෙළඳ නාමය Old Monk (නාකි සාධු) ය. බ්‍රාහ්මණ නොවන අය බ්‍රාහ්මණයන් සේ පෙනී සිටීමට පූන නූල ගැටගසා ගන්නේ වැසිකිළියේ දීය. සරෝජිනී නායිදු වරෙක මහත්මා ගාන්ධි ගැන විහිළුවට මෙන් කියූ අදහසක්ද මෙහි දක්වා තිබේ. එහෙත් එය විහිළුවක්ම නොවන බව පාඨකයාට නිරායාසයෙන්ම හැඟී යයි. ” මේ මනුස්සයව දුප්පත්ව තියන්න අපට විශාල මුදලක් වැය වෙනවා. එයාගෙ දුප්පත්කම හරිම මිල අධික එකක්.”

මෙම කෘතියේදී කතුවරයා ස්වකීය ආඛ්‍යානයේ අඛණ්ඩ ගලායාම ඛණ්ඩනය කිරීමට විවිධ උපක්‍රම යොදා ගනී. මේ අනුව විටෙක ඔහු තමා පිළිබඳ පොදු සමාජය තුළ පැවතිය හැකි යැයි ඔහුම පරිකල්පනය කරන අදහස් ප්‍රහාරාත්මක සහ උපහාසාත්මක විලාසයෙන් ආඛ්‍යානය අතරමැදට අතහරියි. තවත් විටෙක ලාංකීය සමාජ , දේශපාලන , සංස්කෘතික තත්ත්වයන් සමග ඉන්දීය ආඛ්‍යානය තුලනාත්මකව ගලපයි.මේ අතරින් මාකටිං විෂ්ණු ද තැනින් තැන මතු නොවන්නේ නොවේ.

මෙම සංචාරක සටහන් සමඟ විෂ්ණු ලාංකීය සමාජයේ බහුතරයක් සිත් යොමු කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන කලාපයක් අපට දැක ගැනීමට සලස්වයි. මේ අනුව ලාංකීය සමාජයේ බහුතරයක් පීඩා විඳින්නේ ආර්ථික සාධක නිසාම නොව අනන්‍යතා සහ සංස්කෘතික සාධක හේතුවෙනි. මොවුහු ජාතිය, ආගම , භාෂාව , කුලය, පංතිය , ප්‍රදේශය , වෘත්තිය , පාසල යනාදී වශයෙන් වූ අනන්‍යතා සාගරයක ගිලෙමින් ස්වකීය ජීවිතයේ නිදහස සහ සැහැල්ලුව තමන් විසින් ම අහිමි කර ගනිමින් සිටිති. විෂ්ණු මෙම කෘතියෙන් පෙන්වා දෙන්නේ අප ඔසවාගෙන යන අනන්‍යතාව සහ සංස්කෘතිය නැමති අනවශ්‍ය බර බිම තැබීමෙන් අත්විඳිය හැකි අප්‍රමාණ සැහැල්ලුවයි. අනන්‍යතාව සහ සංස්කෘතිය නම් බැරි බර කරපින්නා ගෙන යන සමාජයකට ඇතැම් විට විෂ්ණුගේ ආඛ්‍යානය දරා ගැනීමට අපහසු වනු ඇත. මෙයින් කිසිවිටෙකත් අනන්‍යතාවන්ට සහ සංස්කෘතීන්ට ගැරහීමක් සිදු නොකෙරේ. සිදුවන්නේ ඔහු විසින් එම සළුපිළි උනා දැමීමයි. එවන් අයෙකුට ඕනෑම තරාතිරමක මිනිසුන් ඇසුරු කර, ආශ්‍රමයක වැඩ කටයුතුවලටද දායක වී, සකල කලාවන් රසවිඳ, ආගමික විවිධත්වයේ පහස ලැබ, වෛශ්‍යා නිවහනකටද ගොඩවී සවස්යාමය වනවිට තමන් නැවතී සිටින හෝටල් කාමරයට පැමිණ කිසිවෙකුටත් හිරිහැරයක් නොවන පරිදි විස්කි අඩියක් තොලගාමින් නිල් චිත්‍රපටයක් නැරඹීමේ ශික්ෂණය පවතී. Made in India වෙතින් විෂ්ණු අප හමුවට ගෙන එන්නේ පාඨකයාට ඊර්ෂ්‍යාව දනවන එවන් බොහිමියානු රස්තියාදුකාරයෙකුගේ ජීවන සැහැල්ලුවයි.

පැහැදිලිවම , අනන්‍යතා මුත්‍රාඅඩස්සියෙන් සහ සංස්කෘතික මලබද්ධයෙන් පෙලෙන්නන්ට Made in India තරමක් තිත්ත වුවත් ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එය සැබැවින්ම සංචාරක ආඛ්‍යානයකට වැඩි යමක් වන්නේ එහෙයිනි.

උදිත අලහකෝන්

Related articles

ටෙස්ට් ඉතිහාසයේ අපූරු අත්හැරීම

සිම්බාබ්වේට එරෙහි දෙවෙනි ටෙස්ට් මැච් එකේදී 367ක් ගහපු දකුණු අප්‍රිකාවේ වයන් මල්ඩර් (Wiaan Mulder) තීරණය කරනවා ඉණිම එතනින්...

පක්ෂ දෙක බිඳින්න එලොන් මස්ක්ගෙන් අලුත් පක්ෂයක්

පුරාණ ග්‍රීක උපාය මාර්ගයකින්, රිපබ්ලිකන්-ඩිමොක්‍රටික් පක්ෂ දෙක බිඳින්න එලොන් මස්ක්ගෙන් අලුත් පක්ෂයක් …. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ one...

කොත්මලේ ලිවිසැරිය

පුවත්පත් කලාවේදියා දිගේලි කරන ලද ගවයෙකු වැනි යයි අප රටෙහි සිටී අදීනම පුවත්පත් කලාවේදියෙකු මෙන්ම සාහිත්‍යධරයෙකුද වූ දයාසේන...

‘මද සිනා නගන විල් දිය’ – රුවන්මලී දීපිකා කොඩිකාර

හෙමි හෙමිහිට පිය තබා යන හඬක්. සියුම්ව දැනෙනා විඳුමක්. ඉවසිලිවන්ත, නිරීක්ෂිකාවකගේ වදන් එකතුවක්. රුවන්මලීගේ කවි කියවූ පළමු මොහොතේදීම...