වැටුපට සිරගතවූවෙකුගේ මතකය පහුරුගෑම හෙවත්, සිරකරුවා දෙස යතුරු හිලකින් බැලීමට බලකිරීම

Share post:

මො.ල. සෙනවිරත්නගේ “සිපීර්”

කියපන් මට
අහන්නම් මම
බැනපන් මට
අහන්නම් මම
ගහපන් මට
විඳින්නම් මම
මරපන් මම
මැරෙන්නම් මම
කොඳුරන්න එපා මට
මුමුණන්න එපා මට
ඉවසන්න බෑ මට

එක්තරා නත්තල් දිනක උදෑසන වඩු අංශය අසලදී මේ කවිය මා අත තැබුවේ අතුගාන පාටිය මෙහෙය වූ සිරකරුවා ය. මත් ද්‍රව්‍ය ළග තබා ගත් වරදට සිරගත වී සිටි ඔහුගේ අභිමානය සිඳ බිඳ දැමීමට මත් ද්‍රව්‍යයට නොහැකි වී ඇත් දැයි මට සිතේ. ඔහු පවතින යථාර්ථය ප්‍රශ්න කිරීම ඊට උදාහරණ සපයයි.

වරදකරුවෙකු ප්‍රජාවෙන් ඈත්කර තැබීමේ දඬුවම් ක්‍රමය සිරගත කිරීම ලෙස හඳුන්වනු ලැබේ. සමාජගත මිනිසාට පවුලෙන්, ඥාති, හිත මිත්‍රාදීන්ගෙන් වියුක්ත ව සිටීම පීඩාකාරී කටයුත්තක් වන නිසා ම, එය දඬුවම් දීම සඳහා භාවිතයට ගැනීමේ ක්‍රියාවලියක් අතීතයේ සිට ම පැවත එයි. සිරගත වීමත් සමග ම පුද්ගලයාගේ ශරීරය පමණක් නොව මුලු ආත්මයම සිර දුක් විඳින්නට පටන් ගනී. ඒ බව පසක් කර දෙන්නේ සිරකාර කවියා හමුවන්නේ වැලිකඩ තාප්පයේදීය

ඉන්නට කුඩා කාමරයකි මට ඇත්තේ
ගනඳුර පිරී ඇත බැලු බැලු හැම පැත්තේ
මේකයි ඉතින් සිර ගෙයි පවතින තත්තේ
බත් කන තැටිය පමණයි තනියට ඇත්තේ

නීතිය හා සමාජ සාධාරණත්වය මිනිසා ගේ රැකවරණය උදෙසා පවතින්නක් විය යුතු ය. නීතිය, නීතිය රැක ගැනීම සඳහා ම භාවිත වන තර්ක විතර්ක සමුදායක් පමණක් ම නම්, මිනිසා පිළිසරණ පතන්නේ කාගෙන් ද ? සිරකරුවා ළදරුවෙකු සේ තම මවට ඒ දුක කියයි. මේ සිරගත වීමේ අසරණභාවය යි.

නීතිය කියන එක නීතියෙ බලය රකී
මා හට තිබුණ නිදහස දැන් ගියා මැකී
කරුණක් කියන්නං අම්මේ ගසා ඉකී
මේ හිරගෙදර මට නම් දැන් අපායකී

පාලක පන්තිය විසින් රාජ්‍ය විරෝධී දේශපාලන කටයුතුවල යෙදීම නිසා යැයි අර්ථ ගන්වමින් සිරගත කර අපරාධකාරයන් ලෙස හඳුන්වන පුද්ගලයන් සිරගතව සිටියද පොදු සමාජයේ සිදු වීම් සමග සවිඥානක වන බවක් පෙනේ. යුද්ධය සහ ලාංකික දේශපාලනය පිළිබඳ එවැනි සිරකරුවන්ගේ මතවාද වැලිකඩින් අහුලාගත් පහත කවිවලින් මතු වේ.

පෙරලන්නයි හිතේ
එතකොට උන් අතේ
අපි ආයෙත් පුතේ
ඉඳිමුද හාමතේ

කළ වරදට වෙඩි වැදිලා මියෙන්නට
ප්‍රභාට කෑලි යන්නට වෙඩි තියන්නට
නිදහස දියව් උතුරේ යුද වදින්නට
නැත්නම් මරපියව් බෑ මෙහි ලගින්නට

උර පටි ලාංඡන ගලවා බිම දාලා
මේජර් හිරේ ඇවිදින් ජම්පර් දාලා
බ්‍රෝකර්වරුන් වී යුද්ධය විකුණාලා
මැරියව් එහෙම කළ උන් පනුවන් ගහලා

ඩී. එස්. හොඳ හින්දා
ජේ. ආර්. සැප වින්දා
සිරිමාවෝ හින්දා
චන්ද්‍රිකාත් ඒ සැප ම වින්දා

හිරගෙදර දුම්පානය කරන්නන් අතර ජනප්‍රියම දුම්වැටිය වන්නේ ‘ලෝකල් ’ ය. හොර රහසේ හිරගෙදරට ගෙන්වා ගන්නා දුම්කොළ හීනියට කපා වියලා ගෙන කඩදාසි කැලිවල ඔතා ‘ලෝකල් ’ නිපදවා ගැනේ.

සිරකරුවාට ලැබෙන සබන් කෑල්ල, බත් පිඟාන, මාලු කෑල්ල, මස් කෑල්ල වැනි භාණ්ඩ හුවමාරුවකට හෝ මුදලට හෝ ‘ලෝකල් ’ අලෙවි කරන සිරකරුවෝ සිටිති. එවැනි සිරකරුවන් සිටින මැදිරි අංකය හෝ සිරකරුවාගේ අංකය මුලට යොදා ‘කඩය ’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින් එම ඔවුහු ගනුදෙනු සිදු කර ගනිති. 98,99වලදී රුපියල් දෙකකට ලෝකල් 3ක් ලබා ගැනීමට හැකියාව තිබුණි.

‘ලෝකල් ’ දැල්වීම සඳහා සිරකරුවෝ පන්දමක් භාවිතා කරති. එය තෙල් පෙඟ වූ රෙදි කෑලිවලින් සකසා ගැනේ. පන්දමට ගිනි අවුලන්නේ බඹරයක ආධාරයෙනි. ටොනික් පියනක් තළා එය සිදුරු කර නූල් දෙකක් යවා බඹරය සකසා ගනී. කැරකෙන බඹරය කලු ගලක ගැටීමට සලස්වා මතු වන පුළිගු ආධාරයෙන් පන්දම දල්වා ගනී. ලෝකල් දල්වන්නේ එම පන්දම උපයෝගී කර ගෙන ය. මෙය කාලය ගත කිරීමට දරන ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය වස්තු විෂය කරගත් කවියකි පහත දැක් වෙන්නේ.

බඹරය ගැසූ සැණෙකින් ගින්දර එනවා
පන්දම අරන් ඒකට ගිනි අවුලනවා
ලෝකල් කියා දුම්කොළ ඔතලා බොනවා
නුපුරුදු කෙනෙක් දුටුවොත් හොල්මන් වෙනවා

තාප්ප අතර සිර වී සිටින විට තමා ද සිරකරුවෙක් වැනි යැයි සිරගෙදර නිලධාරියාට සිතෙයි. අච්චු කාමරයේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන සිරගෙදර නිලධාරීන් සඳහා තබා ඇති අත්සන් කාඩ්පත සවි කර ඇති ලෑලි පතුරේ පිටුපස ලියා තිබූ කවියක් මෙලෙස ය.

වරදට හිරේ වැටිලත් රෑට නිදි ඇති
පඩියට හිරේ ඇවිදින් උන්ව සුරකිති
ජම්පර් නිල ඇඳුම් අතර වෙනසැති
වරදක් නොවන වරදක් කරපු මිනිසෙකී

චමින්ද ක්‍රිශාන්ත

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...