වැටුපට සිරගතවූවෙකුගේ මතකය පහුරුගෑම හෙවත්, සිරකරුවා දෙස යතුරු හිලකින් බැලීමට බලකිරීම

Share post:

මො.ල. සෙනවිරත්නගේ “සිපීර්”

කියපන් මට
අහන්නම් මම
බැනපන් මට
අහන්නම් මම
ගහපන් මට
විඳින්නම් මම
මරපන් මම
මැරෙන්නම් මම
කොඳුරන්න එපා මට
මුමුණන්න එපා මට
ඉවසන්න බෑ මට

එක්තරා නත්තල් දිනක උදෑසන වඩු අංශය අසලදී මේ කවිය මා අත තැබුවේ අතුගාන පාටිය මෙහෙය වූ සිරකරුවා ය. මත් ද්‍රව්‍ය ළග තබා ගත් වරදට සිරගත වී සිටි ඔහුගේ අභිමානය සිඳ බිඳ දැමීමට මත් ද්‍රව්‍යයට නොහැකි වී ඇත් දැයි මට සිතේ. ඔහු පවතින යථාර්ථය ප්‍රශ්න කිරීම ඊට උදාහරණ සපයයි.

වරදකරුවෙකු ප්‍රජාවෙන් ඈත්කර තැබීමේ දඬුවම් ක්‍රමය සිරගත කිරීම ලෙස හඳුන්වනු ලැබේ. සමාජගත මිනිසාට පවුලෙන්, ඥාති, හිත මිත්‍රාදීන්ගෙන් වියුක්ත ව සිටීම පීඩාකාරී කටයුත්තක් වන නිසා ම, එය දඬුවම් දීම සඳහා භාවිතයට ගැනීමේ ක්‍රියාවලියක් අතීතයේ සිට ම පැවත එයි. සිරගත වීමත් සමග ම පුද්ගලයාගේ ශරීරය පමණක් නොව මුලු ආත්මයම සිර දුක් විඳින්නට පටන් ගනී. ඒ බව පසක් කර දෙන්නේ සිරකාර කවියා හමුවන්නේ වැලිකඩ තාප්පයේදීය

ඉන්නට කුඩා කාමරයකි මට ඇත්තේ
ගනඳුර පිරී ඇත බැලු බැලු හැම පැත්තේ
මේකයි ඉතින් සිර ගෙයි පවතින තත්තේ
බත් කන තැටිය පමණයි තනියට ඇත්තේ

නීතිය හා සමාජ සාධාරණත්වය මිනිසා ගේ රැකවරණය උදෙසා පවතින්නක් විය යුතු ය. නීතිය, නීතිය රැක ගැනීම සඳහා ම භාවිත වන තර්ක විතර්ක සමුදායක් පමණක් ම නම්, මිනිසා පිළිසරණ පතන්නේ කාගෙන් ද ? සිරකරුවා ළදරුවෙකු සේ තම මවට ඒ දුක කියයි. මේ සිරගත වීමේ අසරණභාවය යි.

නීතිය කියන එක නීතියෙ බලය රකී
මා හට තිබුණ නිදහස දැන් ගියා මැකී
කරුණක් කියන්නං අම්මේ ගසා ඉකී
මේ හිරගෙදර මට නම් දැන් අපායකී

පාලක පන්තිය විසින් රාජ්‍ය විරෝධී දේශපාලන කටයුතුවල යෙදීම නිසා යැයි අර්ථ ගන්වමින් සිරගත කර අපරාධකාරයන් ලෙස හඳුන්වන පුද්ගලයන් සිරගතව සිටියද පොදු සමාජයේ සිදු වීම් සමග සවිඥානක වන බවක් පෙනේ. යුද්ධය සහ ලාංකික දේශපාලනය පිළිබඳ එවැනි සිරකරුවන්ගේ මතවාද වැලිකඩින් අහුලාගත් පහත කවිවලින් මතු වේ.

පෙරලන්නයි හිතේ
එතකොට උන් අතේ
අපි ආයෙත් පුතේ
ඉඳිමුද හාමතේ

කළ වරදට වෙඩි වැදිලා මියෙන්නට
ප්‍රභාට කෑලි යන්නට වෙඩි තියන්නට
නිදහස දියව් උතුරේ යුද වදින්නට
නැත්නම් මරපියව් බෑ මෙහි ලගින්නට

උර පටි ලාංඡන ගලවා බිම දාලා
මේජර් හිරේ ඇවිදින් ජම්පර් දාලා
බ්‍රෝකර්වරුන් වී යුද්ධය විකුණාලා
මැරියව් එහෙම කළ උන් පනුවන් ගහලා

ඩී. එස්. හොඳ හින්දා
ජේ. ආර්. සැප වින්දා
සිරිමාවෝ හින්දා
චන්ද්‍රිකාත් ඒ සැප ම වින්දා

හිරගෙදර දුම්පානය කරන්නන් අතර ජනප්‍රියම දුම්වැටිය වන්නේ ‘ලෝකල් ’ ය. හොර රහසේ හිරගෙදරට ගෙන්වා ගන්නා දුම්කොළ හීනියට කපා වියලා ගෙන කඩදාසි කැලිවල ඔතා ‘ලෝකල් ’ නිපදවා ගැනේ.

සිරකරුවාට ලැබෙන සබන් කෑල්ල, බත් පිඟාන, මාලු කෑල්ල, මස් කෑල්ල වැනි භාණ්ඩ හුවමාරුවකට හෝ මුදලට හෝ ‘ලෝකල් ’ අලෙවි කරන සිරකරුවෝ සිටිති. එවැනි සිරකරුවන් සිටින මැදිරි අංකය හෝ සිරකරුවාගේ අංකය මුලට යොදා ‘කඩය ’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින් එම ඔවුහු ගනුදෙනු සිදු කර ගනිති. 98,99වලදී රුපියල් දෙකකට ලෝකල් 3ක් ලබා ගැනීමට හැකියාව තිබුණි.

‘ලෝකල් ’ දැල්වීම සඳහා සිරකරුවෝ පන්දමක් භාවිතා කරති. එය තෙල් පෙඟ වූ රෙදි කෑලිවලින් සකසා ගැනේ. පන්දමට ගිනි අවුලන්නේ බඹරයක ආධාරයෙනි. ටොනික් පියනක් තළා එය සිදුරු කර නූල් දෙකක් යවා බඹරය සකසා ගනී. කැරකෙන බඹරය කලු ගලක ගැටීමට සලස්වා මතු වන පුළිගු ආධාරයෙන් පන්දම දල්වා ගනී. ලෝකල් දල්වන්නේ එම පන්දම උපයෝගී කර ගෙන ය. මෙය කාලය ගත කිරීමට දරන ක්‍රියාවලියකි. මෙම ක්‍රියාවලිය වස්තු විෂය කරගත් කවියකි පහත දැක් වෙන්නේ.

බඹරය ගැසූ සැණෙකින් ගින්දර එනවා
පන්දම අරන් ඒකට ගිනි අවුලනවා
ලෝකල් කියා දුම්කොළ ඔතලා බොනවා
නුපුරුදු කෙනෙක් දුටුවොත් හොල්මන් වෙනවා

තාප්ප අතර සිර වී සිටින විට තමා ද සිරකරුවෙක් වැනි යැයි සිරගෙදර නිලධාරියාට සිතෙයි. අච්චු කාමරයේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන සිරගෙදර නිලධාරීන් සඳහා තබා ඇති අත්සන් කාඩ්පත සවි කර ඇති ලෑලි පතුරේ පිටුපස ලියා තිබූ කවියක් මෙලෙස ය.

වරදට හිරේ වැටිලත් රෑට නිදි ඇති
පඩියට හිරේ ඇවිදින් උන්ව සුරකිති
ජම්පර් නිල ඇඳුම් අතර වෙනසැති
වරදක් නොවන වරදක් කරපු මිනිසෙකී

චමින්ද ක්‍රිශාන්ත

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...