එකසිය විසි හය හැවිරිදි ඉලන්දාරියා – නබොකෝ

Share post:

1899 – 1920

සාහිත්‍ය ලෝකය සදහට ම වෙනස් කළ ව්ලැදීමිර් නබොකෝ එක්දහස් අටසිය අනූනවයෙහි අප්‍රියෙල් මස විසි දෙවැනි දා උත්පත්තිය ලැබී ය. ව්ලැදීමිර් දිමිත්‍රීවිච් නබොකෝ ගේ ද යෙලේනා ඉවනොව්නා ගේ ද දරු දැරියන් පස්දෙනාගෙන් වැඩිමලා වූයේ ව්ලැදීමිර් ව්ලැදිමිරෝවිච් නබොකෝ ය. නිවහනේ දී දෙමවුපියන් නිතර නිතර දෙඩූ රුසියානු, ප්‍රංස සහ ඉංගිරිසි වචන ඇහිඳගත්තෙන් කුඩා කල සිට ම ත්‍රෛභාෂික දැනුමක් ව්ලැදීමිර් නබොකෝ තුළ ගොඩනැඟෙමින් තිබිණි. කඩාවැටෙමින් තිබූ අධිරාජ්‍යයක සෙවණෙහි හැදී වැඩි හෙතෙම, කුඩා දරුවෙකු ව සිටි අවධියෙහි සිට ම අන් කවර බසකටත් වඩා ඉංගිරිසි බස හැසිරීමට අති සූර වූයේ ය. දැඩි ජාත්‍යාලයකින් පෙලුණු ඔහුගේ පියා තුළ නබොකෝ තම මාතෲභූමියේ බස වන රුසියානු බස හැසිරවීමටත් ප්‍රථම ව ඉංගිරිසි බස හසුරවන්නට සූර වීම පිළිබඳ ව වූයේ නොපහන් හැඟීමකි. ඒ කෙ සේ වෙතත්, ලේඛනය කෙරේ උපන් ලාලසාවේ තිබාසය නම් නබොකෝ මුල් කාලයෙහි දී සංසිඳුවා ගත්තේ රනින් සැදි ජේත්තුකාර රුසියානු පෑනක් හැසිරවීම මඟිනි.

සතළොස් වියෙහි දී හෙතෙම, කවි සැට අටකින් සමන්විත වූ රුසියානු කවි එකතුවක් පළ කෙළේ ය. එවක සාන්ත පීතර්ස්බර්ග් නුවර පාසැලක ඔහු ශිෂ්‍යයෙකු ව සිටි අතර, ඒ පාසැලෙහි ඔහුගේ සාහිත්‍ය ගුරුවරයා නබොකෝ ගැටයා ගේ ජයග්‍රහණ හෑල්ලුවට ලක් කොට තිබේ. එ පමණක් නොව, මේ ගුරුතුමා ගේ ඤාති සොයුරියක මෙන් ම එවක රුසියාවෙහි නමක් දිනා සිටි රුසියානු කිවිඳියක වූ සිනයිදා ජිප්පියස් වරෙක නබොකෝ ගේ පියා හට පවසා ඇත්තේ මෙවැන්නකි: “කරුණාකරලා ඔබතුමා ඔබතුමාගෙ පුතාට කියන්න එයාට කවමදාකවත් ලියන්නෙක් වෙන්න බැරි වේවි කියලා.”

රුසියානු විප්ලවයෙන් පසු රුසියාවෙන් පළා ගිය නබොකෝවරු මුලින් ම ක්‍රිමියාවට ද ඉක්බිති ක්‍රිමියාව තුළ ම පිහිටා ඇති ලිවාදියා පෙදෙසට ද අවසන 1919 වසරෙහි දී බටහිර යුරෝපයට ද පළා ගියහ. මඳ කලක් ඔවුන් එංගලන්තයේ විසූ අතර, එහි දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට තරුණ නබොකෝ වරම් ලැබී ය. 1920 වසරෙහි දී නබොකෝගේ පවුල බර්ලිනය බලා පිට වුව ද උසස් අධ්‍යාපන වැඩකටයුතුවල නිරත වී සිටියෙන්, නබොකෝ එංගලන්තයෙහි ම විසුවේ ය. දෙවැනි පන්තියේ සාමාර්ථයක් ලබා නබොකෝ හට ස්වකීය පවුල හා එක් වන්නට ලැබුණේ 1922 වසරෙහි දී ය. ඔහු ඒ කාල සීමාවෙහි දී ඉංගිරිසි බසිනුත්, රුසියන් බසිනුත් කවි ලීවේ ය. 1922 වසර ඔහුගේ ජීවිතයේ තීරණාත්මක වසරක් බවට පත් වූයේ ඔහුගේ පියාගේ මරණයත් සමඟිනි. මරණයේ ඇවෑමෙන් නබොකෝ ගේ සොයුරියත් මවත් ප්‍රාග් නුවර බලා පිට වූ අතර, නබොකෝ බර්ලිනයේ ඉන්නට තීරණය කළේ ය. විප්‍රවාසීහු ඔහු V. Sirin නම යටතේ ලියූ කවි ප්‍රිය කළහ. ඒ කෙ සේ වෙතත් බර්ලිනය කෙරෙහි ඔහු දැක්වූයේ දැඩි අප්‍රසාදයකි; නොකැමැත්තකි. මේ අත්දැකීම් පසුකලෙක ඔහු ලියූ මේරි කෘතියට ද පාදක වූයේ ය.

වේරා මුණගැසීම

1922 වසරේ දී නබොකෝ ස්වෙට්ලානා සීවර්ට් නම් යුවතියක් හා විවාහ ගිවිසගත් අතර, ඒ සම්බන්ධය 1923 හි මාර්තු මස සිඳී බිඳී ගියේ ස්වෙට්ලානා ගේ දෙමවුපියන් නබොකෝ ගේ ආදායම ගැන බියට පත් වූ හෙයිනි. කාලය හෙමි හෙමින් ගෙවී ගිය අතර, 1923 වසරෙහි මැයි මස එක් දිනක, බර්ලිනයේ බාල් නැටුමක දී නබොකෝ ගේ ඉරණම සදහට ම වෙනස් වී ය.

නබොකෝ – ස්වෙට්ලානා සීවර්ට්

මුණගැසීම – ව්ලැදීමිර් නබොකෝ
(මේ නුහුරු නුපුරුදු සමීපත්වයෙන් වශීකෘතව)
ලාලසාවත්, ගූඨ බවත්, සතුටත් අවදි කරමින් . . .
මන්දගාමී වෙස් මුහුණු නැටුමක් සේ
දසත රජයන අඳුරින් මිදීගෙන
මන්දාලෝකයෙන් නැහැවුණු පාලමට, නුඹ ඇවිද ආවා

පද්‍ය කොටස් අටකින් යුතු මුණගැසීම නම් කවියෙහි පළමු පද්‍ය කොටස මෙය ය. එවක තරුණ කිවියර නබොකෝ මෙය රචනා කළේ වේරා සඳහා ය. බාල් නැටුමක දී ඇය නෙත ගැටි නිමේෂයෙහි දී තරුණ නබොකෝ ගේ පෙම් තිබාසය සංසිඳී ගියේ ය. ව්ලැදීමිර් හට වේරා මුණගැසීම ඔහුගේ ජීවිතයේ වැදගත් ම සිදුවීම්වලින් එකක් ලෙස දැක්විය හැක්කේ ය. ඔවුන් දෙදෙනා අතර තිබී ඇති සම්බන්ධතාව හුදෙක් අඹු සැමි සබඳතාවයකටත් වඩා සුවිසෙස් වූ සම්බන්ධතාවක් බව ඔවුන්ගේ දිවිපෙවෙත වටා ගෙතී ඇති කතන්දරවලින් මනාව තහවුරු වෙයි. වරෙක වේරා ව්ලැදීමිර් ගේ පෙම්බරිය යි; වරෙක ඇය ඔහුගේ පළමු කියවන්නිය යි; වරෙක ඇය ඔහුගේ රියැදුරු තැන ලෙස කටයුතු කළා ය—ව්ලැදීමිර් නබොකෝ කවරදාක හෝ රිය එළවන්නට උගත්තෙකු නොවේ—එ පමණක් නොව, වේරා නබොකෝ ගේ ආරක්ෂකවරිය ද වූවා ය — ඔහු ආරක්ෂා කරනු වස් ඇය ඇගේ මුදල් පසුම්බියෙහි කුඩා රිවෝල්වරයක් පවා ‍රැගෙන ගොස් තිබේ.

වේරාගේත් නබොකෝගෙත් ආදර අන්දරය ජේම්ස් ජොයිස් ගේ සහ නෝරා බානකල් ගේ ආදරය සේ ම පාඨක අවධානය නොමඳ වශයෙන් ලැබූවකි; නබොකෝ වේරාට ලියූ ලිපි රැසක් අඩංගු පොතක් ලෙටර්ස් ටු වේරා නමින් පළ වූයේ ය. පහත සඳහන් වන්නේ එහි ලිපි කිහිපයක එන කොටස් කිහිපයකි:
“දන්නව ද, සමහර වෙලාවලට සුර දූතයොත් සිගරට් බොනවා – කමිස අත් අස්සෙ සිගරට් හංගගෙන. ප්‍රධාන දේවදූතයා එද්දි එයාලා ඒවා වීසි කරලා දානවා. ඔය කඩා වැටෙන තාරකා—උල්කාපාත—කියන්නෙ අන්න ඒවට.”

“මගේ සුරංගනා කතන්දරේ, ඔව්, මට ඔයා නැතුව බැහැ. මොකද ඔයත් එක්ක විතරයි මට වලාකුළක පැහැය ගැන කතාකරන්න පුළුවන්; ඔයා එක්ක විතරෝමයි මට සිතුවිල්ලකින් ඉපැද්දෙන සංගීතත්වය ගැන කතාකරන්න පුළුවන් — ඒ විතරක් ද, අද මම වැඩට යද්දි උස ම උස සූරියකාන්ත මලක් දිහා බලපුවහම, ඒ මල මගෙ දිහා බලලා සූරිය බීජ ඔක්කෝම විදහාපාලා හිනාවුණු හැටි ගැන කතාකරන්න පුළුවන්.”

නබොකෝ ගේ සෑම පොතක ම—මේරි ගේ සිට ම—පිදුම ජයග්‍රහණය කරගන්නට වේරා සමත් වූවා ය. සෑම පොතක ම පිදුම සඳහා නබොකෝ ලියන්නේ වචන දෙකකි – To Vera (වේරා ට). වේරා නොසිටින්නට ප්‍රසිද්ධිය නබොකෝ හඹා නො එන්නට ද තිබිණ. ඒ ලොලීටා ගේ දිවි බේරාගත්තේ වේරා වූ හෙයිනි. නබොකෝ ගේ ලොලීටා ලෝක ප්‍රකට කෘතියක් බව පුන පුනා කීමෙන් ඵලක් නැත; එහෙත් නබොකෝ ගේ ලේඛන ජීවිතයේ මුල් වසරවල හම්බර්ට්ලා සහ බාල වයස්කාර කෙල්ලන් රැසක් නොයෙකුත් නොයෙකුත් ස්වරූපවලින් අපට දැකගත හැක — ඉතින් මේ සියල්ලෙහි ම අවසාන ප්‍රතිඵලය නම්, ලොලීටා ය. එබඳු හම්බර්ට් ලොලීටා අන්දරවල පළමුවැන්න නම් නොවෙලා දිගකින් යුතු වූ The Enchanter නම් කතන්දරය ය. නබොකෝ ප්‍රාග්-ලොලීටා ලෙස දකින කෘතිය නම් මෙය ය. නමුත් රටින් රටට ගොස් අවසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා ඒමෙහි දී එහි අත් පිටපත තමා හට නැතිවුණැ යි සිතූ හෙතෙම, අවසන සිතුවේ තමා එය පුළුස්සා දමන්නට ඇතැ යි කියා ය.

කෙ සේ නමුත් මේ අදහස—ගැටිස්සියක කෙරේ රාගයෙන් වෙලෙන මැදිවියෙහි පසුවූ මිනිසෙකුගේ අදහස—නබොකෝ ගේ සිතෙන් තුරන් වූයේ නැත; අවසන, කෝනෙල් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරයෙකු ලෙස පත් වූ පසු, නබොකෝ ගේ ආදායම ස්ථාවර විය. 1955 වසරට පෙර නබොකෝ ගේ පොත් විකිණුනේ මඳ වශයෙනි. එහෙයින් කෝනෙල් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරයෙකු ලෙස පත්වෙන්නට ප්‍රථම ව වේරා, ව්ලැදීමිර් සහ දිමිත්‍රි (නබොකෝ ගේ පුත්‍රයා) ගෙවා දැමූයේ එතරම් සැප පහසු දිවිපෙවෙතක් නොව. එ මෙන් ම ලේඛකයෙකු ලෙස ඔහු ගත කළ මේ දුගී දිවියෙහි 1937 වසරෙහි දී ඔහු ප්‍රංසයෙහි දී අයිරිනා ග්වාඩානීනී සමඟ කෙටි අනියම් සබඳතාවක් පවත්වා ඇති බවටත්, ඒ කෙටි ඇඟෑලුම අවසන් කරමින් නබොකෝ ඒ වසරෙහි දී ම නැවතත් වේරා හා එක් ව ඇති බවටත් ඔහුගේ අපදාන කෘති—වෙසෙසින් ම බ්‍රයන් බොයිඩ් ගේ අපදාන කෘතිය—සාක්ෂි සපයයි. මහාචාර්යවරයෙකු වීමෙන් අනතුරුව නබොකෝ ලා ගේ අතමිට පෙරට වඩා සරු වූයෙන් තම අසාර්ථක ලේඛක දිවියත්, කිසි දිනෙක සාර්ථක වෙතැයි දකින්නට නොතිබුණු කතන්දරයත් අතරමඟ නවතා දමන්නට නබොකෝ හට ද, එය නවත්වන්නැයි තම සැමියා පොළඹවන්නට වේරාට ද හැකියාවක් තිබිණි. එහෙත් එවැන්නක් සිදු නොවිණි. 1948 වසරේ දී කඩදාසි ගොන්නක් ගින්නෙන් අවපැහැ ව වකුටු වී මියෙන්නට මත්තෙන් වේරා එම කඩදාසිවලට පණ දුන්නා ය. නැවත කියැවීමේ දී උපන් සැක සංකා හේතුවෙන් ව්ලැදීමිර් පුළුස්සා දමන්නට තැනූ ලොලීටා නමින් යුතු කඩදාසි මිටිය ය ඒ.

ලොලීටා සහ ප්‍රසිද්ධිය

“ලොලීටා, ආලෝකය ය ජීවිතයෙහි මා; රාග ගිනි දලුව කටියෙහි මා. මා පාපය, මා ප්‍රාණය ඕ. ලෝ—ලී—ටා . . .” මෙයාකාරයෙන්, ලොලීටා ඇරඹිණ. නිශ්චිත ගමනාන්තයක් නොමැති ව ගසාගෙන යන ශකුන පියාපතක් සේ 1953 වසරේ මුල්වරට නිව් යෝක් නුවර බලා ගිය මේ අත්පිටපත ගමනාන්තයට ළඟා වූයේ 1955 වසරේ දී ය. ඒ අතරමැද දී නොයෙක් නොයෙක් ප්‍රකාශකයෝ ලොලීටා ට නොයෙක් නොයෙක් දේවල් කීහ. වයිකිං ප්‍රකාශකයන්ගේ සංස්කාරකවරයා ඔහුට පවසා ඇත්තේ මෙය කිසිදිනෙක ප්‍රකාශයට පත් නොකරන ලෙසට යි. ඩබල්ඩේ, නිව් ඩිරෙක්ෂන් වැනි අනෙක් ප්‍රකාශකවරු ද උක්ත ප්‍රකාශය සමඟින් එකඟ වූහ. කෙ සේ නමුත් කෘතියක් ලෙස ලොලීටා ඇගයිණ. පස්වැනි ප්‍රතික්ෂේප වීමත් සමඟ, ලොලීටා විදේශයක ප්‍රකාශකවරයෙකු ලව්වා ප්‍රකාශයට පත් කරගනිමු යි පැවසුවේ වේරා ය. අවසන මෙබඳු ආන්දෝලනාත්මක කෘති පළ කළ ප්‍රංශයේ ඔලිම්පියා ප්‍රෙස් බලා ලොලීටා ගමන්ගත් අතර, නබොකෝ ගේ කෘතියෙන් මහත් ලෙස සතුටට පත් වූ එහි අධිපති මෝරීස් ජිරොදියාස් මෙය ප්‍රකාශයට පත් කළේ ය.

එහෙත් මුල් කාලයේ ලොලීටා ට ද අත් වූයේ නබොකෝ ගේ අනෙකුත් කෘතීන්වලට අත් වූ ඉරණම ම ය. නමුත් ග්‍රැහැම් ග්‍රීන් ගේ එක්තරා විචාරයකින් සියල්ල වෙනස් විණි. ඒ ඔහු, ලොලීටා තමා 1955 වසරෙහි දී කියවූ හොඳ ම පොත්වලින් එකක් ලෙසට නම් කිරීමෙන් අනතුරුව, ක්‍රමික ව ලොලීටා විකිණී යාම ඇරඹීමත් සමඟ ය. කෙ සේ වෙතත් ලොලීටා ආන්දෝලනාත්මක කෘතියක් ම වූයේ ය. අදටත් ලොලීටා ආන්දෝලනාත්මක කෘතියක් මතු නොව පිළිකුල්සහගත කෘතියක් ලෙසට ද පිළිගන්නෝ බෝම ය. ඒ කෙ සේ වෙතත් බහුතරයක් දෙනා කර්තෘ කෘතියෙන් වෙන් කරගත්තෙන්, අදටත් නබොකෝ මෙ ලොව පහළ වූ විශිෂ්ටත ම ලේඛකයන්ගෙන් කෙනෙකු ලෙස පිළිගැනේ.

ලොලීටා අවසන් කිරීමෙන් අනතුරු ව නබොකෝ ලියූ කෘති පෙළ මෙ සේ ය: ප්නීන් (1957), පේල් ෆයර් (1962), ඇඩා (1969) ට්‍රාන්ස්පෙරන්ට් තින්ග්ස් (1972) සහ ලුක් ඇට් ද හාලික්වින්ස් (1974) ය. මේ අතුරින් ප්නීන්, පේල් ෆයර් සහ ඇඩා ඔහු ලියූ විශිෂ්ටත ම කෘති ලෙස විචාරක පැසසුමට ලක් ව තිබේ. උදාහරණයක් ලෙස පශ්චාත් නූතනවාදය පිළිබඳ කතිකාවල දී නබොකෝ ගේ පේල් ෆයර් මඟහැර යා නොහැක.

පශ්චාත් ලොලීටා සමය සහ මරණය

පෙර කී ලෙස ම, පශ්චාත් ලොලීටා සමය නබොකෝ ගේ පූර්ව ලොලීටා සමයට වඩා සැලකිය හැකි මට්ටමින් ඉහළ එකක් වී ය. ලේඛකයෙකු හැරුණුකොට නබොකෝ සමනලවේදියෙකු ද වූ බැවින්, ලොලීටාට පසු තම සමනළ දඩයමෙහි යෙදෙන්නට නබොකෝට පෙරට වඩා මානසික නිදහසක් ලැබිණි. 1959 වසරෙහි දී නබොකෝ තම කාලය සමනළ දඩයමටත් ලේඛනකරණයටත් පෙරට වඩා යොමු කළේ ය. වේරා ද ඔහුගේ වැඩකටයුතු සඳහා සහය දුන්නා ය. ඔහු Ada or Ardor: A Family Chronicle ලිවීම අරඹන්නේ ද මේ වසරෙහි දී ම ය.

ලෝ පරසිඳු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ ස්ටැන්ලි කුබ්රික් තුළ ලොලීටා චිත්‍රපටයට නඟන්නට අදහසක් පහළ වන්නේ ද මේ සමයේ දී ය. එහෙයින්, මෙහි තිර පිටපතක් රචනා කරන ලෙසට කුබ්රික් නබොකෝ හට පැවසූවේ ය. අවසන නබොකෝ, සමනළ හඹායාම් මඳකට නවතා ලොස් ඇන්ජලීස් නුවර බලා ගමන්ගත්ත ද එම කතාබහේ දී කුබ්රික් සහ ජේම්ස් හැරිස් කතාවට වෙනස්කම් එක්කාසු කරන ලෙසට බලපෑම් කළෙන්, ඔහු ඔවුන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කර දැමුවේ ය. කෙ සේ නමුත් 1959 වසරේ සැප්තැම්බරයෙහි දී නබොකෝ තමාට තවදුරටත් කෝනෙල් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීමට වුවමනා නැති බව වටහාගත්තෙන්, ඔහු තම ඉල්ලා අස්වීම භාර දී යුරෝපය බලා ගමන්ගත්තේ ය. ඒ වසරෙහි ම දෙසැම්බර් මස කුබ්රික් නබොකෝ නැවත වරක් අමතා ඔහුට පෙරට වඩා නිදහසක් ලබා දුන් හෙයින්, නබොකෝ එහි තිර පිටපත රචනා කළේ ය.

1960 වසරෙහි දී යුරෝපයෙහිත් ඇමෙරිකා එක්සත් ජනපදයෙහිත් ජීවත් වූ වේරා සහ ව්ලැදීමිර් 1961 වසරෙහි දී ස්විට්සර්ලන්තයේ වාසය කිරීම ඇරඹූහ. 1962 වසරෙහි දී ලොලීටා චිත්‍රපටිය දුටු ව්ලැදිමීර් නබොකෝ කුබ්රික් සහ හැරිස් තම පිටපත වෙනස් කර ඇතැයි දැක කලකිරුණ ද ඒ බව වචනයෙන් නොපවසා සිට ඇත. පේල් ෆයර් පළවෙන්නේ ද මේ වසරෙහි දී ම ය. ඉන්පසු නබොකෝ නිරත වන කාර්යයන් ප්‍රධාන වශයෙන් තුනකි: එකක් නම් පරිවර්තනය සහ පරිවර්තන ප්‍රතිශෝධනය කිරීම ය; තවෙකක් නම් ඇඩා ලිවීම ය; අනෙක සමනලුන් හඹා යෑම ය. 1965 වසරෙහි දී සිදුවන විශේෂත ම සිදුවීම නම් නබොකෝ ගේ මිතුරෙකු වූ එඩ්මන්ඩ් විල්සන් නබොකෝ ගේ ඉයුජින් ඔනෙගින් පරිවර්තනය දැඩි ලෙස විවේචනයට ලක් වීම ය. අවසන 1969 වසරෙහි දී ඇඩා ප්‍රකාශයට පත් වූයේ ය. වර්ෂ 1926 දී රුසියානු බසින් පළ වුව ද මේරි—රුසියන් බසින් මාෂෙන්කා—ඉංගිරිසියෙන් පුනරුත්පත්තියක් ලබන්නේ 1970 වසරෙහි දී ය – එ ද නබොකෝ ගෙ ප්‍රතිශෝධනවලට ලක් වීමෙන් අනතුරුව ය.

එ තැන් පටන් ඔහුගේ මරණය සිදුවන 1978 වසර දක්වා ම වයස්ගත නබොකෝ ගත කරන දිවිය සමනලුන්ටත්, සිය පුත් දිමිත්‍රි ගේ පරිවර්තනවලටත්, සිය ලියවිලිවලටත් පමණක් වෙන්වූවකි. ඒ සමය තුළ ඔහු පොත් දෙකක්—Transparent Things සහ Look at the Harlequins!—ප්‍රකාශයට පත් කරන අතර, ඒ අතරවාරයේ වේරා ද ව්ලැදීමිර් ද නිතර නිතර රෝගවලට ගොදුරු වූහ. වේරා සැලකිය යුතු කාලයක් රෝහලේ ම ගත කළා ය. අවසන 1977 වසරෙහි දී නබොකෝ හට ශ්වාසනාලිකා ප්‍රදාහය වැළඳී ඔහු මිය යන්නේ ය.

ඉදින්, මෙයාකාරයෙන් ව්ලැදීමිර් නබොකෝ—පොහොසත් පවුලක ඉපිද, බර්ලිනයේ තරමක් දුගී ජීවිතයක් ගත කොට, මෙ ලොව විසූ විශිෂ්ටත ම ලේඛකයෙකු බවට ක්‍රමයෙන් පත් වූ ජේත්තුකාර පෑනකින් ලියූ ව්ලැදීමිර් නබොකෝ—මීට වසර පනහකට පමණ උඩ දී මිය ගිය ද, අදටත් නබොකෝ ගේ වචනවල තැවර තිබූ දිලිසෙන කුඩුවල දිස්නය, සමනල තටු සැලුම්වල ඇසෙන නෑසෙන හඬ, තව දුරටත් ඇසෙනු, පෙනෙනු නොඅනුමාන ය.

කාව්‍ය තත්සර

2025 – 04 – 22

Related articles

පාස්කු වාර්තාව අධ්‍යයනයට ශානි පත්කිරීම ගැන නාමල්ගේ කනස්සල්ල – බරපතළ තත්ත්වයක් බවත් කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද පොලිස් කමිටුවට මධ්‍යම අපරාධ...

විල්පත්තු පාර අරින්නට පෙර මේ තීන්දුව කියවගත්තොත් හොඳයි !

විල්පත්තුව මැදින් පාරක් හැදීමේ කතාවක් ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ කියන්නේ අලුත් පාරක් ගැන ද, තිබුණු පාරක් පුළුල්...

දේශබන්දු ඉවත් කිරීමේ කමිටුව පත්කරයි : ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු සූරසේනත් සාමාජිකයෙක් !

පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුවට සාමාජිකයන් පත්කරයි. 2002 ඉහළ රාජ්‍ය නිලධරයන්...

“හෙවණැල්ල වී පවතිමි “මහාචාර්ය ලියනගේ අමරකීර්ති

මේ, ගද්‍යයත් පද්‍යයත් අතර මිහිරිතම නැවතුම් සොයා ගිය අමරකීර්තිමය කාව්‍යානුභූතීන්හි අසිරිමත් පෙළහරකි. ස්වයංවරයක් සඳහා එක සමාන වටිනාකම් සහිත...