මාධ්‍යවේදීන් ඉවත් කිරීමට සිදු කළ ඉල්ලීම විනිසුරු ජනක් ද සිල්වා ඇතුළු කොමිසම පිළිගත් පසු, රනිල් වික්‍රමසිංහ සුරේෂ් සලේ ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමට කිව්වේය.
රනිල් – සලේ
සලේ අන්තවාදී කණ්ඩායම් පෝෂණය කිරීමට පෞද්ගලිකව මෙන්ම යුද හමුදා බුද්ධි අංශය මගින් මැදිහත් වූ ආකාරයත්, ඒ ගැන තමන් දන්නා අනෙකුත් තොරතුරු කිහිපයකුත් කිව්වේය. ඒවා පාස්කු කොමිෂන් වාර්තාව තුළ රහසිගත ලේබලය යටතේ තැබීය. පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් ගමන් සලෙයි ගොස් රනිල් හමු වී තිබිණි.
පිල්ලෙයාන්
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පසුගිය 08 වැනිදා ය. ඔහු අත්අඩංගුවට ගත්තේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් ශිවසුබ්‍රමනියම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙනි.
පිල්ලෙයාන් පාර්ශ්වය මගින් පවත්වාගෙන ගිය වැලිකන්ද, සෙවණපිටිය ප්‍රදේශයේ කඳවුරකට මහාචාර්යවරයා රැගෙන ගොස් ඇති බවටත්, ඔහු එහිදී ඝාතනය කර ඇති බවටත්, ඊට අදාළ ඇසින් දුටු සාක්ෂි ඇති බවටත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
පිල්ලෙයාන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ද?
2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට පිල්ලෙයාන් සිටියේ මඩකලපුව බන්ධනාගාරයේ ය. 2015 වසරේදී ඔහු අත්අඩංගුවට ගත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙනි. කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් හදිසියේ නඩුව අවසන් කරන බව අධිකරණයට දැනුම් දීම නිසා පිල්ලෙයාන් එළියට ආවේය.
මඩකලපුව සියොන් දේවස්ථානයේ ද පාස්කු බෝම්බයක් පිපිරීය. ඒ වන විට ඔහු සිටියේ මඩකලපුව බන්ධනාගාරයේ ය.
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් ජනාධිපති කොමිසමට දුන් සාක්ෂියේ මෙසේ සඳහන් වේ.
‘ඔව්. මට හොඳට මතකයි. එදා උදේ මහ සිකුරාදා. (ඔහුට එහිදී පාස්කු ඉරිදා සහ මහ සිකුරාදා පැටලී තිබිණි. පසුව එය නිවැරදි කෙරිණි.) මං අවුරුදු හතරක් බන්ධනාගාරයේ හිටපු නිසා මං දන්නවා, හැම මහ සිකුරාදා දවසක ම බිෂොප්තුමා බන්ධනාගාරයට පැමිණෙන බව. ජනවාරි පළමුවැනිදා, අප්‍රේල් 14 අවුරුදු දවසෙ, නත්තල් දවසෙ බිෂොප් තුමා එනවා. මම ඒ පූජාවට සහභාගි නොවුණත් බිෂොප් තුමා ආවහම මාත් එක්ක කතා කරලා තියෙනවා, අවස්ථා දෙකකදි.
එදත් අපි ඔහුව බලාපොරොත්තුවෙන් හිටියා. ඒත් එක්කම බෝම්බ පිපිරෙන සද්දයක් ඇහුණා. ඒක බ්‍රිතාන්‍ය කාලෙ පරණ ගොඩනැගිල්ලක්. ඒකෙ තමයි බන්ධනාගාරය තිබුණෙ. මම සාමාන්‍යයෙන් උදේ නවයට උදේ කෑම ගන්නවා. මම උදේ කෑමට ලෑස්ති වෙන අවස්ථාවේදී පිපිරීමෙන් කාමරයේ තිබුණු ලෑල්ලෙන් හුළං පාරක් ආවා වගේ මට දැනුණා. මම විමුක්ති සංවිධානයක සාමාජිකයෙකු විදිහට හිටපු නිසා මට දැනුණා, මෙතැන බෝම්බ ප්‍රහාරයක් වෙලා තියෙනවා කියලා. එතකොට මට හිතුණා අද බිෂොප්තුමා එන්නෙ නෑ කියලා.
මම බන්ධනාගාර නිලධාරියකුගෙන් ඇහුවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරලා කිව්වා. ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරුණා නම් ගින්නක් ඇතිවෙන්න ඕනෙ, විදුලිය විසන්ධි වෙන්න ඕනෙ. මං කිව්වා මේක එහෙම එකක් නෙමෙයි කියලා.’
එනම් පිපිරීමෙන් පසු මෙය බෝම්බයක් බව ඔහු නිශ්චිතව දැනගෙන තිබේ. එසේම එය කතෝලික පල්ලියක පිපිරීමක් බවත් ඔහු දැන සිටි බවක් පෙනේ. බිෂොප්වරයා නොපැමිණෙන බවටත් ඔහුට අදහසක් තිබී ඇත.
අල්ලියාර් හන්දියේ සහරාන්
2017 වසරේ මාර්තු 10 වැනිදා කාත්තන්කුඩි, අල්ලියාර් හන්දියේදී ගැටුමක් ඇති විය. මේ ගැටුම ඇති වූයේ සහරාන්ගේ කණ්ඩායමත්, රාවුෆ් මවුලවිගේ කණ්ඩායමත් අතර ය. සහරාන් එහි පැමිණ ගැටුමට සම්බන්ධ වී ඇත. පහර දී තිබේ. ඊට සාක්ෂි ලෙස ඡායාරූප ද ඇත. සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ෂයිනි මවුලවි ද එහි පැමිණ තිබේ.
මේ ගැටුමෙන් පසු සහරාන් එතැනින් පළාගොස් ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් සහරාන්ගේ පියා සහ ඔහුගේ සහෝදරයා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයෙන් ඔවුන් රක්ෂිත බන්ධානාගාරගත කිරීමෙන් පසු, ඔවුන් මාස පහක කාලයක් පිල්ලෙයාන් සමග එකට සිට ඇත. මේ අතරින් ෂයිනි මවුලවි වැඩියෙන්ම පිල්ලෙයාන් සමග සමීප ව කටයුතු කර තිබේ. පිල්ලෙයාන් මේ ගැන ජනාධිපති කොමිසම ඉදිරියේ පවසා ඇත.
පිල්ලෙයාන්ගේ ලේකම් මවුලානා
පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වූ හන්සීර් අසාද් මවුලානා යනු පිල්ලෙයාන්ගේ පක්ෂයේ විධායක කමිටුවේ සිටි අයෙකි. පිල්ලෙයාන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ය. පසුව පෞද්ගලික ලේකම්වරයා ය. පිල්ලෙයාන් බැලීමට බන්ධනාගාරයට නිතර පැමිණි අයෙකි, මේ අසාද් මවුලානා යනු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ ඉමාම් කමිටු වාර්තාවේ නව වැනි පිටුවට අනුව අසාද් මවුලානා සහ පිල්ලෙයාන් අතර අතිශය සමීප සම්බන්ධතාවක් තිබී ඇත. එසේම සහරාන් සහ අසාද් මවුලානා අතර සම්බන්ධතාවක් තිබූ බවටත්, එම නිසා මවුලානා රටින් පිටවූ බවටත් ඉමාම් කමිටු වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
රිල්වාන්ට ප්‍රතිකාර කළ ෂෆ් රාස්
මේ කමිටු වාර්තාවේ 10 වැනි පිටුවේ දැක්වෙන්නේ රිල්වාන්, එනම් සහරාන්ගේ සහෝදරයාට 2018 දී ප්‍රතිකාර කළ වෛද්‍යවරයා සහ අසාද් මවුලානා කාත්තන්කුඩි, මරදමුනේ ප්‍රදේශයේ එකට ජීවත් වූ අසල්වාසීන් ය. එසේම දෙහිවල එබනිසා පෙදෙසේ ද ඔවුහු අසල්වාසියෝ ය. එහි නිවාස දෙකක් දෙදෙනාට ම තිබී ඇත.
මේ වෛද්‍යවරයා ෂෆ්රාස් ය. ඔහුට 2018 අගෝස්තු 27 වැනිදා අලුයම දුරකතන ඇමතුමක් ලැබී තිබේ. එම ඇමතුම ලැබී ඇත්තේ විදේශ රටක සිටි මොහොමඩ් අල්ලියාර් මවුෂූද් රිලා ගෙන් ය.
දුරකතන ඇමතුම
ජනාධිපති කොමිසමේදී වෛද්‍ය ෂෆ්රාස් පවසා ඇති ආකාරයට රිලා කතා කර පවසා ඇත්තේ තුවාල ලත් පුද්ගලයකුට ප්‍රතිකාර කළ හැකිද යනුවෙනි. මේ තුවාලවලට හේතුව ලෙස දක්වා ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමයි. දුරකතන ඇමතුමෙන් පසු වෙනත් අයෙකු එහි ඡායාරූප ද වෛද්‍යවරයාට එවා ඇත. එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ වහාම තුවාලකරු කොළඹ, ජාතික රෝහලට ඇතුළු කරන ලෙසයි.
මේ තුවාල ලබා ඇත්තේ රිල්වාන් ය. එනම් සහරාන්ගේ සහෝදරයා ය. ඔහුට ප්‍රතිකාර කිරීමට ඡායාරූප එව්වේ කවුද යන්න තවමත් අනාවරණය කරගෙන නැත. දුරකතන ඇමතුම ගත් රිලා නමැත්තා සහ වෛද්‍යවරයා එකම පාසලේ ය. වෛද්‍යවරයා විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබද්දී රිලා ගණිත අංශයේ ය.
සහරාන් සමග ගිය තිදෙනා
රිලා නමැත්තා ලංකාවට පැමිණ 2018 දෙසැම්බර් මාසයේදී මේ වෛද්‍යවරයා මුණගැසීමට ගොස් තිබේ. ඔහු වෛද්‍යවරයා හමුවීමට ගොස් ඇත්තේ සහරාන් සහ තවත් තිදෙනකු සමග ය. සහරාන් සමග එහි ගියේ කවුද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් අනාවරණය වී නැත. මේ වෛද්‍යවරයා 2019 මාර්තු 06 වැනිදා විදේශ ගත වී ඇත. නැවත මාර්තු 16 ඔහු ලංකාවට පැමිණ තිබේ. ඔහුට එවූ අදාළ තුවාල ලත් පුද්ගලයාගේ ඡායාරූප මකා දමා ඇති බව ද වෛද්‍යවරයා ජනාධිපති කොමිසමේදී පිළිගෙන ඇත. ඊට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ දුරකතනයේ ඉඩ මදිවීම ය.
වෛද්‍යවරයාගේ කොළඹ නිවසේදී ය, සහරාන් ඇතුළු පිරිස 2018 දෙසැම්බර් මාසයේදී ඔහු හමුවී ඇත්තේ. ඔහුගේ කොළඹ නිවස යනු දෙහිවල, එබනිසා පෙදෙසේ පිහිටි අසාද් මවුලානාගේ නිවස ආසන්නයේ පිහිටි නිවසයි. ඉමාම් කමිටු වාර්තාවේ ද මේ නිවාස කතාව ගැන ඇත.
සැඟවීමේ වුවමනාව තිබුණේ කාටද?
පාස්කු කොමිෂන් සභා වාර්තාවට අනුව ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ වූ චූලා කොඩිතුවක්කු පවසා ඇත්තේ මේ කාලයේදී සහරාන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගොස් සිටි බවකි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන වාර්තා අනුව සහරාන් මේ කාලයේදී ඉන්දියාවට ගොස් නැත. එසේ නම් චූලා කොඩිතුවක්කු ජනාධිපති කොම්සමට එසේ කීවේ ඇයි? නැතහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසත්‍ය කරුණු ඔස්සේ විමර්ශන කරන්නේද? එසේත් නැත්නම් සහරාන් 2018 දෙසැම්බර් මාසයේදී කොළඹට පැමිණ සිදු කළ සාකච්ඡා හෝ හමුවීම් වසන් කිරීමේ අවශ්‍යතාවක් කාට හෝ තිබිණි ද?
විනිසුරු ඉමාම් කමිටු වාර්තාවට අනුව ෂෆ්රාස් නම් වෛද්‍යවරයාට විදේශගත වීමට සහාය ලබාදී ඇත්තේ ද අසාද් මවුලානා ය. එනම් පිල්ලෙයාන්ගේ ලේකම්වරයා ය.
මෙසේ උදය ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන, රනිල් වික්‍රමසිංහට හදිසියේ කතා කරන්නට අවශ්‍ය වූ ‘හිත හොඳ පිල්ලෙයාන්’ ගැන තවත් බොහෝ කරුණු එකිනෙක ලිවිය හැකිය. ඒ සම්බන්ධතා එකිනෙක පිළිවෙළට ලිහාගත යුතුය. එවිට බොහෝ දේ නිරාකරණය කරගැනීමට හැකි වනු ඇත.
ආණ්ඩුවේ ජනතා විශ්වාසය
දැනට පෙනෙන්නට ඇති පරිදි මෙහි විමර්ශන සාපේක්ෂව සාර්ථකව ඉදිරියට යමින් තිබේ. එහෙත් ආණ්ඩුව සහ විමර්ශන අංශ, විමර්ශන පිළිබඳ අනාවරණය කළ හැකි කරුණු මාස 02කට වරක්වත් ජනතාවට කිව යුතුය. එසේ නොවන විට, අනෙකුත් පැතිවල මෙහෙයුම් ජනතාවගේ ඔළු කුරුවල් කරන්නේය.
කොමිෂන් වාර්තාවට මොකද වෙන්නෙ ?
පාස්කු කොමිසමේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදුන් බවට මාධ්‍ය වාර්තා පළ විය. ජනාධිපතිවරයා ද එය පොළොන්නරුවේදී කිව්වේය. එහි ඇති විශාල පිටු සංඛ්‍යාව, නිලධාරීන් විශාල සංඛ්‍යාවක් අතරේ බෙදුවද එය මුළුමනින් අධ්‍යයනය කිරීමට සැලකිය යුතු කාලයක් ගත වේ. එය කියවීමෙන් ඵලක් නැත. අධ්‍යයනය කොට වාර්තා සකස් කළ යුතුය. ඒ අතර සීඅයිඩියට තවත් වැඩ ද තිබේ.
මේ නිසා වැඩ කළ යුතුය. වැඩ කරන බව පෙන්විය යුතුය. එසේ ම රූකඩ නටවන්නට ඉඩ නොදිය යුතුය. තවත් කතා රැසකි. ඒ සියල්ල ජනතාව ලෙස අප ක්‍රමයෙන් දැනගත යුතුය.
- ශාලික විමලසේන