විවිධ කාලීන මාතෘකා දිනපතා මතුවෙමින් තිබියදී වුවද, අප අත්නොහැරිය යුතු වගකීමක් තිබේ. ඒ ජනතාව බෙදා වෙන්කරමින් බලය ලබාගැනීමේ හෝ බලය පවත්වාගැනීමේ උත්සාහයන් පරාජයට පත්කිරීමයි. 2024දී හැර, සෑම මැතිවරණයකදීම අපේ රටේ ජනතාව ආණ්ඩුවක් බිහිකිරීමේදී ඉතාම ජනප්‍රිය සටන් පාඨයට වැඩි බරක් තබමින් කටයුතු කළ බව සත්‍යයකි. 2024දී ද එය නොවුණා නොවේ. එහෙත් එහිදී සිදුවූයේ තමන්ගේ සුඛවිහරණය වෙනුවට සාපේක්ෂව අරමුණ පොදු කරගැනීමකි. එහෙත් තවදුරටත් පරාජිත අන්තවාදී උපක්‍රමවලට මේ පොළොවේ ඉඩ ඇත. එය වරින්-වර ඉස්මතු වනු, ඉස්මතු කරනු දැකිය හැකිය.
හාල් සේරුව ලබා ගැනීමටත්, පැය 24 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවාටත්, හfඳන් හරි හාල් ගෙනත් දෙනවාටත්, ධර්මිෂ්ඨ සමාජයක් හදනවාටත්, සමෘද්ධිය දෙනවාටත්, ඒ අතර තුනයි පනහට පාන් කන්නටත්, ජාතික ආරක්ෂාවට සහ සෞභාග්‍යයටත් මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කළ අවස්ථා තිබේ. ඒ හරහා ආණ්ඩු මාරු වූ සහ ආණ්ඩු බිහි වූ අවස්ථාත් තිබේ.
සෑම මැතිවරණයකදී ම පාහේ වැඩියෙන්ම අලෙවි වූ සටන් පාඨ අතර සැඟවී තිබූ සටන් පාඨයක් වූයේ ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය, පවුල්වාදය සහ වර්ගවාදයයි. ඒ මත පිහිටා ගනු ලැබූ තීන්දුවල ඵල විපාක අපේ රට තවමත් අත්විඳිමින් සිටී. එයින් පහසුවෙන් ගැලවිය නොහැකිය. එසේ ම අළු යට ගිනි ද ඉතිරි ය.
ලෝකයේ ජනතාව දිහා බැලූ විට සාමාන්‍යයෙන් තමන් ජීවිතයේ මුහුණ දෙන අත්දැකීම් පාඩම් බවට පත් කර ගනී. ඒ පාඩම්වලින් පන්නරය ගෙන ජීවිතයේ ඉදිරි තීන්දු තීරණ ගනී. නමුත් අවාසනාවකට, අපේ රටේ ජනතාව බොහෝ විට අත්දැකීම් පාඩම් කරගන්නවා වෙනුවට අත්දැකීම් අත්වැරදීම් බවට පත් කරගනී.
ඒ විතරක් නොවේ. මුරණ්ඩු මතයක ම සිටී.
මේ අන්තවාද අස්සේ අපිට වැරදුණේ කොතැනද යන්න අපේ රටේ බහුතර ජනතාවට තවමත් තේරුම් ගන්නට නොහැකිව තිබේ. අවුරුදු තිහක යුද්ධයකින් පසුවත් අපේ රටේ ජනතාවට සියල්ලන් එක වගේ මිනිසුන් බව හිතන්නට නොහැකි විය. විවිධත්වයට ගරු කොට සියල්ලන් එකට එකතුව මේ රට ගොඩනගන්නට අවශ්‍යයි යන අවංක අදහස ක්‍රියාවට නංවන්නට නොහැකි විය.
ජාති ආගම් කුල මල භේදවලින් තොරව හැමෝම ශ්‍රී ලාංකිකයන් ලෙස සලකා වැඩ කරන්නට නොහැකි විය.
එක කොටසක් සිංහල බෞද්ධ කියා අනෙක් අය ව පීඩාවට පත්කළේය. තව කොටසක් දෙමළ කියා අනෙක් අය ගැන සැකයකින් බැලුවේය. තවත් කොටසක් මුස්ලිම් කියා බෙදා වෙන් කෙරිණි. ජාතීන් අතර, ආගම් අතර පමණක් නොව, අළු යට කුල බෙදීම් ද ඉතුරු ය. එසේ වෙන්ව එකිනෙකා භේදභින්න වන අතර ඒවා අවසාන වශයෙන් බලන විට බලය වෙනුවෙන් සිදුකරන කොන්ත්‍රාත් ය.
එක අරමුණකින්, එකට එක්ව රට ගොඩනගන අදහස මේ නිසා පසුගිය කාලය පුරාම ඈත්ව තිබිණි.
මේ ඇණකොටා ගැනීම් නිසා, මේ බෙදී වෙන්වීම් නිසා මේ රටේ උගත්තු රට අතහැර ගියහ. මේ රට ගොඩනගන්නට සිටි නායකයෝ රටට අහිමි වූහ. මේ රට දියුණු කරන්නට සිටි වෘත්තීයවේදීහු අහිමි වූහ.
මේ පටු අපේක්ෂාවන්, වුවමනාවන් නිසා අපේ රට මේ තරම් ප්‍රපාතයට ඇද වැටී තිබේ. ඒ බව දැක දැකත් ඊට එරෙහිව අරගල කරන්නට, ඒ පටු ජාතිවාදයට එරෙහිව නැගී සිටින්නට කිසිම දේශපාලන නායකයෙක්, පක්ෂයක් හෝ වැඩපිළිවෙළක් පසුගිය කාලයේ තිබුණේ නැත. සියල්ලන් ඊට අත තිබ්බේ ඉතා ප්‍රවේශමෙන් ය.
මේ වැටුණු තැනින් රට ගොඩගන්නට ඇති විකල්පය ජාතිවාදී නායකයෙක් රැගෙන ඒම නොවන බව යළි-යළිත් අවධාරණය කෙරුණද, බල ව්‍යාපෘති ඊට වඩා බලවත් විය.
යල් පැන ගිය, පුස්කාපු, ගල් යුගයේ අදහස්වලින් මේ රට අඟලක්වත් ඉදිරියට ගෙනයා නොහැක. ඒ ඇත්ත දශක ගාණක් තිස්සේ ඔප්පු වී තිබේ.
උප්පත්තියෙන් කිසිම කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. සියලු ආගම්වල මේ පණිවුඩය ඇත. සියල්ලන් සමාන බව කියා තිබේ. බුදුරජාණන් වහන්සේගේ වටිනා පණිවිඩය ජනතාව අතරට ගෙනයන්නට හැකියාව ඇත්තේ භික්ෂූන් වහන්සේලාට ය.
අසල්වැසියාට ප්‍රේම කරන්නට යනුවෙන් ජේසුස් වහන්සේ දේශනා කර ඇත. ඒ පණිවිඩය රටටම ගෙනයෑමේ හැකියාව ඇත්තේ ක්‍රිස්තියානි පූජකතුමන්ලාට ය. නබිනායකතුමා අනෙකාට ගරු කරන්නැයි කියා ඇත. ඒ පණිවිඩය ජනතාව අතරට ගෙනයන්නට හැකියාව ඇත්තේ ඒ පූජකවරුන්ට ය. හින්දු ආගමික ශාස්තෘවරුන් අවිහිංසාව ගැන කියා ඇත. ඒ පණිවිඩය ජනතාව අතරට ගෙනයෑමේ හැකියාව ඇත්තේ හින්දු ආගමික නායකයන්ට ය.
මේ සෑම ධර්මයකින්ම කියන්නේ සෑම මනුස්සයෙක්ම එක හා සමානයි කියන එක ය. එය මතවාදයක් කරගැනීමට නොහැක්කේ ඇයි? සියල්ලන් එක සමාන නම් කිසිවකුට ආගමික හෝ ජාති වශයෙන් විශේෂ වරප්‍රසාද තිබිය නොහැකිය.
කිසියම් නායකයෙක්, පක්ෂයක් තමන්ට විරුද්ධ මතයක් දරන සියලු දෙනා සහමුලින්ම විනාශ කළ යුතුයි යන පදනමෙන් ක්‍රියා කරනවා නම් ඒ නායකයා සහ පක්ෂයට එරෙහිව රටම පෙළගැසුණේ නැත්නම් ඒ රටට අනාගතයක් නැත. අවාසනාවට, පසුගිය කාලය පුරා ම දේශපාලනය දිහා බැලූ විට අපේ රටේ ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම මතුපිට පෙනුමට සිටියේ පැති දෙකක නමුත් මේ අන්තවාදය තමන්ගේ ව්‍යාපෘතිවලට යොදාගැනීමේදී සිටියේ එක මතයක ය.
අපේ රටේ විරුද්ධ පක්ෂ තිබිණි. එහෙත් විරුද්ධ මතයක් නොතිබිණි. අපේ රටේ විකල්ප බලවේග තිබිණි. එහෙත් විකල්ප වැඩපිළිවෙළක් නොතිබිණි.
මේ රට ගොඩනගන්නට නම් මේ රට හැර ගිය, රට ගැන හැඟීමක් ඇති, රටට ආදරය කරන සෑම අයෙක් ම මේ රටට අවශ්‍ය ය. ඒ ජනතාව සිංහල ද, දෙමළ ද, බර්ගර් ද, මැලේ ද කියා වෙනසක් නැත.
එක් එක් ජනතාවට අනන්‍ය වූ ආගම් තිබේ. ඒ ඒ ආගම් ඒ ඒ මිනිසුන්ට කැමති ලෙස පෞද්ගලිකව ඇදහුවාට පිළිපැද්දාට කාටවත් ප්‍රශ්නයක් තියෙන්නට බැරි ය. එයට ඔවුන්ට අයිතියක් තිබේ. එහෙත් එය රටේ පාලනයට, සාමූහික මිනිස් ගුණධර්මවලට බාධාවක් කරගන්නට කිසිවකුට අයිතියක් නැත.
තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම, තමන්ගේ කුලය උසස්, අනෙක් සියලුදෙනා පහත් යැයි සිතන සෑම කෙනෙක්ම මානසික උමතුවකින් පෙළෙන අය ය. මේ බව ප්‍රසිද්ධියේ කියමින් දේශන පැවැත්වූයේ ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදිකාරම් ය. ඔහු මීට අදාළ ව මෙවැනි කතාවක් ද කිව්වේය. මේ කතාව ඇත්තේ ඔහු 1958 වසරේ සිළුමිණ පුවත්පතට ලියූ ලිපියක ය.
‘දියසේන රජු තමන් යැයි කියන පුද්ගලයකු මට අංගොඩ මානසික රෝහලේදී හමු විය. ඔහු ඇවිදින්නේ ද රජෙකු මෙන් මහේශාක්‍ය ලීලාවෙනි. ඔහු කතා කරන්නේ ද රජෙකු මෙන් ය. ඔහු හිනාවුණත් ඒ ආඩම්බරයෙන් ය. ඇත්තටම දියසේන කියා රජ කෙනකු නැති බවත්, එය මිත්‍යා කතාවක් බවත් කියාදෙන්නට ගියහොත් ඔහුගෙන් ඇතිපදම් කුණුහරුප අහගන්නට හැකිය.
ඒ කියන්නේ එය පිස්සුවකි. බෙහෙත් කොට සනීප කළ යුතු තදබල පිස්සුවකි. මේ ජාතිවාදය, ජාතිය බදාගැනීම කියන්නේත් ඒ වගේ ය. ඇත්තටම නැති දෙයක් ඇතැයි කියා හිතාගෙන ඒ වෙනුවෙන් මැරෙන්නට දඟලන්නේය. අනුන් මරන්නට හදන්නේය.’
විවිධ ජාතීන් විවිධ වර්ණ විවිධ ආගම් නියෝජනය කරන හැමෝම අපේ රටේ මානව සම්පත ය. මේ සරල ඇත්ත මෙතෙක් කල් තේරුම් නොගැනීම අප සෑහෙන දුරක් පසුපසට ගෙන ගියේය. රටක් ලෙස අපේ රට, ඉතිහාසයේ බරපතළ ම අගාධයට ඇදවැටුණේ මේ රටේ ගොස් ය. ආර්ථිකයෙන්, දේශපාලනයෙන්, ජාත්‍යන්තර සබඳතා අතින්, සමාජමය අතින්, මිනිස් සබඳතා අතින්, සෑම ක්ෂේත්‍රයකින්ම අපි ඉතාම ඛේදනීය තැනකට ඇද වැටිණි.
අප ගෙවමින් සිටියේ සමාජයට පිළිලයක් වූ, වැරදි කළ චූදිතයන් නිදහස් කළ කාලයකි. අප ගෙවමින් සිටියේ පිටකොන්දක් ඇතිව, හෘද සාක්ෂියට එකඟව, සාධාරණත්වය වෙනුවෙන් අවංකව කැපවූ පුරවැසියන් සිරගත කළ කාලයකි. එහෙත් ජනතාව තමන්ට අත්කරදුන් මේ ඉරණම පිළිබඳව ක්‍රමයෙන් සංවේදී වෙමින් සිටියේය.
තවදුරටත් ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය මිත්‍යාව තුළින් මේ රට විනාශ නොකරන්න යන ඉල්ලීම මේ රටේ ජනතාව දැන් කියමින් සිටී. එය ඉහළටම එසවුණේ 2022 අරගලයෙන් ය. පසුගිය කාලයේ රට පත්ව තිබුණේ විෂම තත්ත්වයකට ය. ඒ විෂම තත්ත්වයෙන් මිනිසුන් ව අවස්ථාවාදීන්ට අවශ්‍ය පරිදි සිය අරමුණු වෙනුවෙන් තල්ලු කළ හැකි ව ද තිබිණි.
කෙසේ වෙතත් ආණ්ඩු විසින් රැගෙන ආ අන්තවාද රට ඉදිරියේම මේ වන විට බොරුවක් බවට පත්ව අසමත් වී අවසන්ය. මේ මතවාද වෙනුවෙන් ඡන්දය දී ආණ්ඩු බිහි කළ සාතිශය බහුතරයක් ජනතාව සිටියේ අපේක්ෂා භංගත්වයට පත්ව ය. පසුගිය ප්‍රධාන මැතිවරණ දෙකේදී ම මේ අන්තවාද ඔසොවාගන්නට, ඒ මත යැපුණු කණ්ඩායම්වලට නොහැකි විය. එහෙත් යළිත් කිව යුත්තේ එහි අළු යට ගිනි තවමත් ඇති බවයි.
- ශාලික විමලසේන