ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාධ්‍ය හමුවකදී පළකළ අදහස් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක පැවසීය.
පොලිස් කොමිසම පොලිසියේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නිසා නාමික පොලිස්පතිවරයකු බිහි වී ඇති බවත්, පොලිසියේ පත්කිරීම්, මාරුකිරීම් සහ විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම් කොමිසමෙන් ඉවත් කර පොලිසියට පැවරිය යුතු බවත් වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කර තිබිණි. ඔහු මේ අදහස් පළකළේ අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
එහිදී පොලිස්පතිවරයා මෙසේ ද පැවසීය.
‘ලංකාවෙ දැනට තියෙන නීතියට අනුව පොලිස් කොමිසම ක්‍රියාත්මක වෙනවා. නමුත් ලෝකයේ අපි දකින්නෙ පොලිස් කොමිසම තියෙන්නෙ, පොලිසියේ අභ්‍යන්තරය පාලනය කරන්න නෙමෙයි. එක්සත් ජනපදය ගත්තත්, වෙනත් රටවල් ගත්තත් මහජන ප්‍රශ්න විසඳන්න, පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න තමයි පොලිස් කොමිසම කටයුතු කරන්නෙ. නමුත් ඒ දෙකම පැත්තකට දාලා, කොමිසම පොලිසියේ අභ්‍යන්තරයට මැදිහත් වන තැනට ඇවිත් තියෙනවා. ඒකට හේතුව වැරදි තැනක පිහිටුවලා තියෙන එක.
මේ තත්ත්වය නිසා පොලිසියේ කටයුතු අපිට පාලනය කරගන්න බැරි තත්ත්වයක තියෙන්නෙ. ඒ සම්බන්ධයෙන් මම ලිඛිතව පොලිස් කොමිසම දැනුවත් කරලා තියෙනවා. පත්කිරීම්, ස්ථාන මාරුකිරීම්, විනයානුකූලව කටයුතු කිරීම් මේ තුන නැත්නම් පොලිස්පති කියන්නෙ නාමික තනතුරක් බවට පත්වෙනවා. ඒක නිසා අපිට අවශ්‍ය සාධාරණය කරන්න බැරිවෙනවා. මේ කටයුතු පොලිසියට පවරන්න ඕනෙ කියන එකයි අපේ අදහස.’
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක අවධාරණය කළේ කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති රාජකාරි සිදු කළ යුතු ව ඇති බවයි. කොමිසම සිදුකරමින් සිටින්නේ එම වගකීම ඉටුකිරීම බවත්, මේ නිසා කොමිසම ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොකර සිටීමට පොලිස්පතිවරයාට හැකියාවක් නැති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. පොලිස්පතිවරයා කැමැති වුවත්, අකමැති වුවත්, කොමිසමට දෝෂාරෝපණය කළත් ඵලක් නැති බව වැඩිදුරටත් සඳහන් කරන සභාපතිවරයා, ආණ්ඩුව ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නම් මේ ගැටලු විසඳීය හැකි බව පැවසීය. එතෙක් කොමිසමට ව්‍යවස්ථාවෙන් පවරා ඇති රාජකාරි පැහැර හැරිය නොහැකි බව ද අප කළ විමසීමේදී සභාපතිවරයා අවධාරණය කළේය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.
‘ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්වරයාගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දක්වා පත්කිරීම්, මාරුකිරීම්, විනය ක්‍රියාමාර්ග ගැනීම් පැවරිලා තියෙන්නෙ පොලිස්පතිවරයාට. එතැනින් ඉහළ සහකාර පොලිස් අධිකාරිවරයාගේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා මේ කටයුතු සිදුකිරීමේ වගකීම ව්‍යවස්ථාවෙන් පවරලා තියෙන්නෙ ජාතික පොලිස් කොමිසමට. මේ කටයුතු දැනට සිදුකරන්නෙ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උසස් කිරීමේ, මාරු කිරීමේ කාර්යපටිපාටික රීතිවලට අනුව. ඒත් මේවා පොලිසියට ගැළපෙන ආකාරයට හදලා, පොලිස්පතිවරයාගේ අනුමැතියට දාලා මාස තුනක් වෙනවා. තවම ඒවා අපට ලැබුණෙ නෑ. දැනට තියෙන තත්ත්වයට අනුව අපි මේ කටයුතු කරන්න ඕනෙ. එහෙම නැති වුණොත්, මේ බලතල ව්‍යවස්ථාවට පිටින් පොලිස්පතිවරයාට දුන්නොත්, අපිට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස් කොමිසම ගන්න තීරණයක් අභියෝගයට ලක්කරන්න පුළුවන් වෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ කම්කරු විනිශ්චයාධිකාරයට විතරයි. අපි දැනට පවතින නීතියට අනුව වැඩ කරනවා. ඒකෙ යම් ගැටලු තිබුණත්, ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි.’
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි පරිච්ඡේදයේ ජාතික පොලිස් කොමිෂන් සභාව කොටසේ මෙසේ දැක්වේ.
155 (ඊ) – තමන්ගේ නීත්‍යනුකූල කාර්යය ඉටුකිරීමේදී හැර කොමිෂන් සභාවේ හෝ එහි යම් කමිටුවක හෝ යම් තීරණයකට කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් හෝ තමා විසින් ම හෝ වෙනත් යම් තැනැත්තකු මගින් හෝ වෙනත් යම් තැනැත්තකු සමග එක් වී හෝ කවර වුවද ආකාරයකින් බලපෑම් කරන හෝ බලපෑම් කිරීමට තැත්කරන හෝ අයුතු ලෙස මැදිහත් වන හෝ කොමිෂන් සභාවේ හෝ එහි යම් කමිටුවක සාමාජිකයකු වෙත එසේ බලපෑම් කරන සෑම තැනැත්තකු ම වරදකට වරදකරු වන අතර, ඔහු එසේ වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් ලක්ෂයක දඩයකට හෝ අවුරුදු හතක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කරනු ලැබීමකට හෝ ඒ දඩය සහ ඒ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ ඔහු යටත් විය යුත්තේය.
විශේෂ බහුතරය සහිත ආණ්ඩුවක වගකීම
නීතියේ ඇති තත්ත්වයට අනුව පොලිස් කොමිසම තම රාජකාරිය කරනු ලබයි. එහෙත් ප්‍රායෝගික තත්ත්වයට අනුව පොලිස්පතිවරයාගේ කටයුතු සඳහා එයින් බලපෑමක් සිදු වේ. උදාහරණයක් ලෙස පොලිසියේ තනතුරු සම්බන්ධයෙන් එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වඩාත් සාධාරණ ලෙස මැදිහත් විය හැක්කේත්, ඊට අදාළ තීරණ ගත හැක්කේත් පොලිසිය අභ්‍යන්තරයේ සිටින අවශ්‍ය බලය සහිත අයකුට ය.
එම නිසා පොලිස්පතිවරයා පවසන කරුණ සාධාරණ ය. එහෙත් ස්වාධීන කොමිසමක් මගින් මෙවැනි තීරණ ගැනීමට වඩා තනි පුද්ගලයකු ගනු ලබන තීරණ විවේචනයට ලක්වීමේ ඉඩ වැඩි ය. උදහරණයක් ආශ්‍රයෙන් පැහැදිලි කරන්නේ නම්, අත්තනෝමතික සහ නීතිවිරෝධී ලෙස කටයුතු කිරීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පති ධුරයේ බලතල ක්‍රියාත්මක කිරීම තහනම් කරන ලද දේශබන්දු තෙන්නකෝන්ට තනි භුක්තියට මේ බලතල ලැබුණහොත්, ඔහු කෙසේ ක්‍රියා කරනු ඇද්ද?
සමස්ත ජනතාවගේ යහපත වෙනුවෙන් වඩා සාධාරණ සහ යුක්තිගරුක ලෙස කටයුතු කිරීම ෂඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මෙවැනි අඩුපාඩු සකස් විය යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ 159ක විශේෂ බහුතරයක් සහිත වර්තමාන ආණ්ඩුවට හැකියාව ඇත. එහෙත් එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. එසේ නොවුණහොත් එය බරපතළ අනතුරකි.
- ශාලික විමලසේන