රත්නපුර සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට වැඩ බැලීම සඳහා නිලමේවරයකු පත්කරන ලද්දේ පනතට අනුව මෙන්ම වගකීම් සහගතව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක පවසයි.
අද (06) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, ඔහුගෙන් ප්‍රශ්න විමසූ අවස්ථාවේදී කුල පදනමක් මත ඔහුගේ පත් කිරීමට එරෙහි වුණාදැයි කළ විමසීමට ප්‍රතිචාර දැක්වුවා. ඊට අමතරව, මේ වන විට සමන් දේවාලය පිළිබඳ විගණනයක්ද කර ඇතැයි ඔහු ප්‍රකාශ කරනු ලැබුවා.
සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා වන මිගාර ජයසුන්දර බණ්ඩාර මහතාගේ ධුර කාලය පසුගිය දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් මෙහිදී පෙන්වා දුන්නා.
ඔහුගේ ධුර කාලය මේ වන විටත් අවස්ථා දෙකකදී දීර්ඝ කර ඇති බවත් පනත ප්‍රකාරව ඔහුව යළි නිලමේ තනතුරට නම් කිරීමට නොහැකියි. ඒ අනුව, අදාල පත් කිරීම සඳහා එස්.වී. චන්ද්‍රසේන මහතා පත් කර තිබුණා.
මාධ්‍යවේදීන් විසින් කුලය පිළිබඳ ප්‍රශ්නයක් තිබේදැයි විමසු විට කුලය යන්න තමාට නිගමනය කළ නොහැකි කාරණයක් වන අතර බවත් තමන් කිසිදු ආකාරයකින් කුලය මත කටයුතු නොකරන බවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසා සිටියා. ඔහු එහිදී පෙන්වා දුන්නේ කුලය ගැන සොයාබැලීමට නීතිමය පදනමක් නොමැති බව.
සමන් දේවාලයේ කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්ව සිටි අතර, ඔහු පෙන්වාදුන් කරුණුවලින් හෙළි වුණේ එම කාර්ය මණ්ඩලය පෙර සිටි බස්නායක නිලමේවරයා විසින් භාරකරු ලෙස පත් කරන ලද කාර්ය මණ්ඩලය බවයි. එම කාර්ය මණ්ඩලය වෙනස් කිරීමේ හැකියාක් නව භාරකරුට ඇතත්, දැන් තාවකාලිකව පත් කර සිටින භාරකරුට වැඩ කරනනට සිදුව ඇත්තේ, හිටපු බස්නායක නිලමේවරයාගේ කාර්යමණ්ඩලය සමගයි. එම කාර්ය මණ්ඩලය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ තීරණය ප්‍රතික්ෂේප කරමින් විරෝධයේ යෙදී තිබුණා.
කෙසේ වෙතත් සමන් දේවාලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් මීට පෙර, සමන් දේවාලය විගණනයට ලක් කළ යුතු බවත් ඉල්ලා තිබුණා. ඇතැම් අදහස් පළ කරන්නන් පෙන්වා දෙන්නේ හිටපු බස්නායක නිලමේවරයා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ තීන්දුව පිළි නොගෙන විරෝධතා ඇති කිරීමට හේතුව මෙලෙස විගණනය සිදු කිරීම විය හැකි බව.්
සමන් දේවාලය සතුව විශා දේපළ ප්‍රමාණයක් පවතින අතර, එහි භාරකරුවාට එම දේපළ හැසිරවීමේ අසීමිත බලයක් ලැබී තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව වාර්ෂිකව විගණනයට ලක් කිරීමේ විධිමත් ක්‍රමවේදයක්ද සමන් දේවාලයට නැහැ.
බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා තත්වය පැහැදිලි කළේ මේ විදියට.
“සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර 2023 ජුලි මාසයෙන් අවසන් වුණා. පනතේ ප්‍රතිපාදන අනුව බස්නායක නිලමේතුමාට ඉල්ලන්න පුළුවන්. එම ඉල්ලීම සලකා බලලා, ජනාධිපතිතුමාට වසරක කාලයකට දීර්ඝ කරන්න පුළුවන්. වසරක කාලයකට දීර්ඝ කළා. 2024 ජුලි මාසය වෙනකල් දික් කරලා තිබුණා. ජනාධිපතිතුමාට තවත් එක වසරකට කාලය දික් කරන්න පුලුවන්. ඒ කාලයේ තිබුණු ඡන්ද වාතාවරණයත් එක්කලා, ගරු ජනාධිපතිතුමා තීරණය කළා මාස හයකට බස්නායක නිලමේ කාලය දීර්ඝ කරන්න. 2024 දෙසැම්බර් 31 දිනෙන් කාලය අවසාන වුණා. ජනාධිපතිතුමාට දීර්ඝ කරන්න පුළුවන් වෙන්නේ දෙවතාවක් විතරයි. උපරිම කාලය අවුරුදු දෙකයි. ඒ කාලයට තමයි දීර්ඝ කළේ. මේ ඉන්න නිලමේතුමා, මිගාර ජයසුන්තර මහත්තයා දෙවැනි කාලය අවසන් වෙනකොටත් කාලය තව තියෙනවානේ කියා ඉල්ලීමක් කළා. මට පනත ප්‍රකාරව ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න බෑ. දෙපාරයි පුළුවන් දික් කරන්න. ඒ අනුව කීවා ඡන්දය තියන්න අවශ්‍ය වෙනවා කියලා. ඡන්දය තියන්න කටයුතු කළා. එතුමා ඉල්ලීමක් කළා වැඩබලන බස්නායක නිලමේ තනතුර දෙන්න කියලා. පිටිනුත් තවත් එක්කෙනෙක් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලපු පුද්ගලයා පිළිබඳ සොයා බැලුවාම ගැටලුවක් නෑ. පනතේ ප්‍රකාරව පත් කරන්න පුලුවන්. අවුරුදු 70 සම්පූර්ණ වෙලා තිබුණ නිසා, ආයේ සැරයක් ඉල්ලන්නත් බැරි නිසා එතුමාව පත් කරන එක හොඳයි කියලා හිතුවා. ඒ අනුව තමයි එතුමාව පත් කරන්න තීරණය කළේ.
31 වැනිදා එතුමාගේ ඉල්ලීම අනුව වැඩබලන බස්නායක නිලමේවරයා විදියට එතුමාව පත් කළා. ඒක පත් කරලා මම තීරණය කළා, ඡන්දය තියනකල්නේ පත් කරන්නේ. තව කෙනෙකු ස්ථීරව පත් කරගන්නකල්. පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනෑ කියලා හිතලා. පළවැනිදා පත්වීම දීලා තුන්වැනිදා වෙනකොට අපි කළේ, පත්තරේ දැන්වීමක් දැම්මා. මාසයක්වත් ඉන්න ඕනෑ දැන්වීම දාලා. අද දිනමිණ පත්තරේ දැන්වීම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව පෙබරවාරි 11 වැනිදා තෝරාගැනීමේ රැස්වීම සමන් දේවාලයේ පවත්වන්න කටයුතු කරලා තියෙනවා. ඒ අතරතුර තමයි එක එක කතන්දර එන්නේ. ඒවායේ පදනමක් තියෙනවාද කියන එක මට කියන්න බෑ. මේ පත්කිරීම කරලා තියෙන්නේ පනත ප්‍රකාරව ඉතාමත්ව වගකීමකින් යුක්තව කොමසාරිස් ජෙනරාල්වරයා විදියට. එතුමා හැත්තෑවක් වුණාට අපට පුළුවන් පත් කරන්න තාවකාලික නිසා. ස්ථීර පත්කිරීමක් කරනවා නම් 70ට උඩින් පත් කරන්න බෑ. වඩ කරන්න පුළුවන් කියා හිතෙනවා නම් සෞඛ්‍ය සහතිකයක් ගෙනල්ලා පත් කරන්න පුළුවන්. නිලමේවරුන් ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන්. තාවකාලික නිසා. මෙතුමාට ආයේ ඉල්ලන්න බෑ. එතුමා පත් කළාට පස්සේ ආයේ ඡන්දයක් ඉල්ලන්න බෑ. ඒ නිසා මම හිතුවා ඒක ස්වාධීන එකක් කියලා.”
මීට අමතරව විගණනයට ලක් කිරීම ගැන විමසූ අවස්ථාවේදී ඔහු මෙසේ කීවා.
‘විහාර දේවාලගම්, සිද්ධස්ථාන විගණනය කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට බාර කටයුත්තක්. විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා විගණනයක් කෙරෙන්නෑ. එහෙම කෙරෙනවා නම් මම ඉල්ලීමක් කරන්න ඕනෑ. විශේෂ කටයුත්තක් තිබේ නම් විගණනය කරලා දෙන්න කියා ඉල්ලන්න ඕනෑ. කොහොමත් මෙතුමාගේ කාලය ඉවර වෙනකොට අභ්‍යන්තර විගණක විසින් ගිහින් විගණනයක් කරනවා. මේ සැරේ විගණනය කරනකොට අපේ විගණකවරයෙක් හිටියේ නැහැ. සුදුසුකම් ලත් විගණන නිලධාරියෙක් හිටියේ නැහැ. ගිය සතියේ තමයි විගණකවරයෙක් ආවේ. එම නිලධාරීන් යොදලා විගණනයක් කළා. ගිය මාසේ දවස් දෙකක්, තුනක් ගිහින් විගණනය කළා. අපි සාමාන්‍යයෙන් මේවායේ වාර්තාවක් ගන්නවා. හිටපු භාරකරුවන්ගෙන් තැන්පතු අරන් තියෙනවා. වත්කම් පරිහරණය සම්බන්ධයෙන්, පනතේ තියෙන ප්‍රධානම ප්රතිපාදනය තමයි වර්ෂයක් වියදම් කරන්න අනුමාන අයවැයක් සකස් කරලා ඉදිරිපත් කරන්න ඕනෑ. ඒක බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා අනුමත කරලා තමයි වියදම් කරන්නේ. මාස හයකට සැරයක් වියදම් වාර්තාව දෙන්න ඕනෑ. දුන්න වියදම් වාර්තා අනුව සාධාරණ කටයුතු වුණාද කියලා බැලුවා. එම විගණනය සම්පූර්ණ විගණනයක් නෙවෙයි සුදුසුකම් සහිත නිලධාරියෙක් නොසිටි නිසා. මට ලැබිලා තියෙන විගණන වාර්තාව අනුව විගණන විමසුමක් දේවාලයට යැව්වා. සමන් දේවාලයට. එතුමා නැති වුණත් කාර්ය මණ්ඩලය තවම ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය පොත්පත් අනුව විගණනයට පිළිතුරක් දෙන්න පුළුවන්. තාවකාලික කාර්ය මණ්ඩලයක් පත් කළාම වෙනස් වෙන්නේ නෑ. ස්ථීර භාරකරුවෙක් ආවාම තමයි කාර්ය මණ්ඩලය පත් කරන්නේ.‘
සංස්කාරක සටහන – සමන් දේවාලය ආදී ආගමික ආයතනවල භාරකාරත්වයට පත් වන්නේ දෙවිවරුන් නොව මනුෂ්‍යන්ය. මෙම මනුෂ්‍යයන් මෙරට දේශපාලන බලය, ව්‍යාපාරික බලය, නිලධාරී බලය යනාදී බලයන් දැරූ අනෙකුත් පුද්ගලයන් සේම දූෂිතය. රට පිරිසිදු කරන විට, වෙනස් කරන විට ආගමික සංස්ථාද වෙනස් කරගත යුතු අතර, ඒවා වෙනස් කිරීම ‘සම්පාදායට විරුද්ධ වීමක්‘ ලෙස හුවා දැක්වීම අනිවාර්යයෙන්ම බලයේ සිටි අය කිරීමට ඉඩ ඇත. රජය එහිදී වඩාත් විධිමත් ක්‍රමවේද පාවිච්චි කරමින්, මේ ආගමික සංස්ථාව තුළ තියෙන අක්‍රමිකතා වෙනස් කිරීම යහපත් කරුණකි. රජය ආගමට යට විය යුතු නැති අතර, ආගම පුද්ගලික කාරණයක් විය යුතුය. එහෙත්, පොදු දේපළ වූ ආගමික සංස්ථාවන්ට අදාලව මැදිහත්වීමේ නෛතික බලයක්ද රජයට ඇත.
(www.whatnews.lk)