කර්ම චාරිකාව : තම පිළිබිඹුවට බිය වූ මිනිසෙකුගේ කතාව

Share post:

2024 වර්ෂයේ ගොඩගේ අත්පිටපත් තරගාවලියේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනා ගන්නේ, සම්මානනීය ලේඛක උපනන්ද වැලිකල මහතාගේ ‘කර්ම චාරිකාව’ කෘතියයි. ‘කර්ම චාරිකාව’ දිවෙන්නේ වියපත් ව මහණ වන තිලකසිරි නම් භික්ෂුවක වටා යි.

“තිලකසිරි භික්ෂුවක් ලෙස ශාසනයට ඇතුළත් වන්නේ සැබවින්ම සංසාරයේ නිෂ්ඵල බව වටහාගෙන හෝ සසර දුකින් මිදීමේ පැහැදිලි අරමුණකින් ද?” යන පැනය නවකතාවේ පළමු පිටු කිහිපය කියවද්දීම පාඨකයාට නැගෙන පැනයකි. කොයි මොහොතේත් භික්ෂුවකට තිබිය යුතු කායික හෝ මානසික සංවරය අහිමි තිලකසිරි භික්ෂුව, නායක හාමුදුරුවන්ගේත්, වඩා තැන්පත් සහ සංගෘහිත බවක් පෙන්වන විජිත සාමනේර හිමියන්ගේත් ඇසුරේදී, ශික්ෂාකාමී වැඩිහිටි භික්ෂුවක් නොවන බව අපට පැහැදිලිව පෙන්වයි. තිලකසිරි පැවිද්දට නවකයෙකු බවත්, එහෙත් පැවිද්දට නවකවූවෙකුට පවා පහසුවෙන් හුරු වන ශික්ෂාකාමී හැසිරීම් තිලකසිරි භික්ෂුවට නුහුරු බව අපට පෙන්වන්නේ නායක හිමියන්ගේ ප්‍රකාශවලිනි.

තිලකසිරි භික්ෂුවට, සාමාන්‍ය මිනිසෙකු පැවිද්දට පැමිණෙන හේතු අභිබවා ගිය ‘එතෙක් අපට හෙළිදරව් නොවූ’ හේතුවක් ඇති බව කතුවරයා විසින් අපට පුන පුනා දන්වන්නේ පාඨක කුතුහලය දල්වමිනි. ‘යමකින්’ පළා යමින්, සැඟව සිටීම සඳහා චීවරය තෝරාගන්නා තිලකසිරිගේ, පළා යාමට හේතු වූ කාරණය, ඔහු අතහැර නොයා පසුපස පැමිණීම නිසා ඇතිවන ‘දැවුණු’ සොභාවය, ඔහු සිය ආවරණය පිනිස තෝරාගත් භික්ෂුභාවය තුළදී අපේක්ෂා කෙරෙන ‘නිවුණු’ සොභාවය හා ගැටෙයි. ඒ අභ්‍යන්තර ගැටීමේ පීඩාව, ගිනි අව්වෙන් දැවුණු, දුහුවිලි පිරි පරිසරය, ජලය සොයා තරණය කළ යුතු වූ රත් වූ ගල් තලාව, දිළිඳු ගැමියන් විසින් පිළිගන්වන දානය ආදී සියල්ලෙන් ම පිළිබිඹු වෙයි.
තිලකසිරි වටා ඇති මේ අබිරහස කුමක්දැයි, කතාවේ බොහෝ දුරක් යන තෙක් හෙළි නොකරන කතුවරයා, ඒ කුමක්දැයි සොයාගැනීමට හැකි ඉඟි, අවට රඳවා ඇති බව අපට පෙනෙන්නේ තිලකසිරි වටා වූ අබිරහස බොහෝ දුරට හෙළි වූ පසුවය. මේ එය ඇතැම් චිත්‍රපටවල ඇති ‘හෙලිදරව් කිරීම්’ සිහිගන්වන්නකි. කෘතිය වරක් කියවා අබිරහස හෙලිදරව් කරගෙන, දෙවැනි වරත් කියවන්නෙකුට, දෙවනවර කියවීම වඩාත් ප්‍රබල හැඟීම් දනවන අත්දැකීමක් වීමට මෙම ‘ඉඟි’ තුඩු දෙනු ඇත. කෘතියේ එන අනෙකුත් චරිත වන කමලාවතී, ගොළුවා, ආරියවතී, කරඬු හාමි ආදීන් කෘතියේ ප්‍රධාන චරිතයේ, ප්‍රධාන චිත්ත ගැටුමට හේතු වූ ප්‍රධාන සිදුවීමට දායක වූ ආකාරයත්, ඒ දායකත්වය දුන් වපසරියේදී ඒ ඒ චරිතවල සාමාන්‍ය සොභාවයත් අවැසි පමණට දක්වා තිබේ. එමෙන්ම තිලකසිරි භික්ෂුවගේ ‘මේ මොහොත’ මේ ආකාර වීම වෙනුවෙන් සිදු වූ සහ, එය වෙනත් ආකාර ‘මොහොතක්’ නොවීම පිණිස සිදු නොවූ දේ පාඨකයාට සංවේදනය කරන එක් ප්‍රබල චරිතයක් වන්නේ ‘ගොළුවා’ ය. ඔහු ප්‍රීතිය, ශෝකය, කෝපය ආදී කොයි චිත්ත වේගයත් හඬ ගා ප්‍රකාශ කරන ‘ගෙයි පිටුපස ඇති ටකරමට තලන’ කර්කශ හඬ ය. මේ කෘතියේ කිසිදු තැනක, කතුවරයා ඉදිරියට පැන, කිසිදු සිදුවීමක් විස්තර නො කරයි. ඔහු එය භාර දෙන්නේ කතාවේ චරිතවලට ය. සිනමා රූපී භාෂාවෙන් මවා පෙන්වන පරිසරයේ පෙනෙන දර්ශනවලට ය. ඇසෙන හඬවල්වලට ය.

කර්ම චාරිකා නවකතාව කියවීමේදී, මිනිස් චිත්ත සොභාවය විවරණය කරන දොස්තෝව්ස්කිගේ ‘අපරාධය හා දඬුවම’නවකතාවත්, පසුව එනමින් ම 1935 දී සිනෙමාවට නැඟුණු සලරුවත්, සත්‍යජිත් රායිගේ බොහෝ චිත්‍රපටවල ඇති සෙමෙන්, ගැඹුරින් කෙරෙන චරිත විදාරණයත් සිහියට එන්නේ නිතැතිනි. කොහොමටත් කර්ම චාරිකා නවකතාව බොහෝ දුරට සිනමා කෘතියක ලක්ෂණ පෙන්වයි. එහි ඇති බොහෝ දර්ශන කැමරාවක් හරහා ගොඩ නැංවීම අපහසු නොවේ.

තද පිපාසාවකින් පෙළෙමින් සිටි තිලකසිරි භික්ෂුව, රත්වූ ගල් තලාව මතින් ඇවිද ගොස් පොකුණට එබේ. පොකුණෙන් ඔහු දකින්නේ ඔහුගේ මුහුණෙහි පිළිබිඹුවයි. ඔහු කළ පාපය පිළිබඳ සිහි කැඳවීමේ ලකුණයි. තිලකසිරි භික්ෂුව, තමන් කළ පාපයේ මතකය මුහුණට මුහුණ සම්මුඛවත්ම උමතුවූවෙකු මෙන් බියපත් වේ. කර්ම චාරිකා යනු තම පිළිබිඹුවට බිය වූ මිනිසෙකුගේ කතාවයි. අතහැර නොයන පාපයේ සෙවනැල්ලෙන් පලා යන මිනිසෙකුගේ කතාවයි.

මෙම නවකතාවේ තවත් සුවිශේෂී ලක්ෂණයක් තිබේ. එනම්, මෙම කෘතියේ කිසිදු ස්ථානයක, කිසිදු චරිතයක හැසිරීමක් කෙරෙහි පාඨකයා තුළ විශේෂ වෛරයක්, හිතා මතා ඇති නොකිරීමයි. සාපේක්ෂව මෙහි සිටින ‘දුෂ්ඨම චරිතය’ ලෙස හැඳින්විය හැකි ආරියවතී පවා, එසේ හැසිරෙන්නේ ඇය ලත් – පත් අත්දැකීම්වලින් මෙහෙයවනු ලැබූ චිත්ත ආවේග මත බව පෙන්වා දී තිබේ. කුඹුරේ සිටිනේ ද මිනිසෙකි. සිවුරේ සිටින්නේ ද මිනිසෙකි. අපි කර්ම රැස් කරමින්, කර්ම විපාකවලින් පලා යාමට උත්සහ කරමින්, එයට අසමත් වෙමින් ‘කර්ම චාරිකාව’ක යෙදී සිටින්නෙමු. එවන් මිනිසුන් කෙරෙහි සානුකම්පිත දෘෂ්ටියක් හෙලීමට ශ්‍රී ලාංකික පාඨක පෙළඹවීමට ගත් සාර්ථක ව්‍යායාමයක් ලෙස කර්ම චාරිකාව හැඳින්විය හැක.
තිලකසිරි භික්ෂුව තම පිළිඹිබුවට බිය ඇයි?
එය දැනගැනීමට නම් ඔබ කර්ම චාරිකාව කියවිය යුතු ය.

සඳිනි ප්‍රර්ථනා තෙන්නකෝන

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...