‘අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය..’ සිංහල පරිවර්තනය එළිදැක්වීම නිමිති කරගත් සංවාදයක් අද (03)

Share post:

හර්ෂණ රඹුක්වැල්ල ගේ The Politics and Poetics of authenticity හි සිංහල පරිවර්තනය (පරිවර්තක-ලියනගේ අමරකීර්ති) වන ‘අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය..’ කෘතිය අද පෙරවරුවේ කියවා අවසන් කළෙමි.

මෙම සිංහල පරිවර්තනය එළිදැක්වීම නිමිති කරගත් සංවාදයක් අද (03) සවස 3.30 ට විදර්ශන ප්‍රකාශන ආයතනයේදී පැවැත්වේ.

ජාතිකවාදය නම් වූ ලාංකේය සමාජ පරිකල්පනය තුළට කිදී පරික්ෂා කිරීමේ විචාරාත්මක ශාස්ත්‍රීය සම්ප්‍රදාය වෙත මෑත කාලීනව නැවුම් මැදිහත්වීමක් සිදුකරන මෙම කෘතිය සිය චින්තනමය ප්‍රවේශය ලෙස ඉදිරිපත් කරන්නේ ‘අව්‍යාජත්වය’ (authenticity) නම් වූ සංකල්පීය ප්‍රභේදයයි. එමගින් ඔහු ඇතුළු වන්නේ ජාතිකවාදී පරිකල්පිතයේ සමාජ මිථ්‍යා මානය දෙසට බව පෙනෙයි. එය සංකේතනය කිරීම සදහා ධර්මපාල,බණ්ඩාරනායක හා අමරසේකර යන ජාතිකවාදයේ තීරණාත්මක ප්‍රතිරූප තුනක් කේන්ද්‍රගත කරමින් ‘අව්‍යාජත්වය’ ලෙස ඔහු නම් කරන කතිකාමය ප්‍රවර්ගය ජාතිකවාදී කතිකාව හරහා විකාශනයට හා යුග පරිවර්තනයට ලක් වූ ආකාරය විමසා බලයි. ඒ සදහා විසිරී ඇති ඉතිහාසමය තත්කාලීන තොරතුරු සිය ප්‍රස්තුතයේ සාධනය වෙනුවෙන් හර්ෂණ මෙහිදී එක්තැන් කර ඇති ආකාරය සිත්ගන්නා සුළුය.

එහෙත් ඉහත කෘතියේ කේන්ද්‍රීය තේමාව වන ‘අව්‍යාජත්වය’ නම් වූ යම් භාවමය හා මානසික පරිකල්පන ව්‍යුහයක් ඉගිකරන අදහස එහි වඩාත් රැඩිකල් බුද්ධිමය පුළුල් කිරීමක් දක්වා හර්ෂණ දිගුකරන්නේ නැත. සැබවින්ම ජාතිකවාදය කියවා ගැනීම සදහා මනෝවිශ්ලේෂණය, ජර්මන් විඥානවාදය හා පශ්චාත් මාක්ස්වාදයේ කතිකාමය විශ්ලේෂණයන් අන්තර් මුහුවෙමින් ගොඩනැගෙන නව විචාරාත්මක න්‍යායික ධාරාවේ ආලෝකයට මෙම කෘතිය විවෘත වන්නේ නැත. සැබවින්ම පශ්චාත් යටත් විජිත සංස්කෘතික ජාතිකවාදය විසින් බහිෂ්කරණය කරන බහුවිධ මානයන් වෙත ප්‍රජාතන්ත්‍රවාදී ආමන්ත්‍රණයක් සිදුකරන මෙම කෘතිය පවා ඊට පරස්පරව සම්මත ශාස්ත්‍රාලීය කතිකාව අභියෝගයට ලක් කෙරෙන ඉහත න්‍යායික අන්තර් දෘෂ්ටීන් බැහැරකිරීමකට ලක් කර ඇත.
විශේෂයෙන්ම ඉහත න්‍යායික කණිකා අවශ්‍ය වන්නේ කෘතියේ මූලිකම යොමුව ලෙස දැක්වෙන යටත්විජිත නූතනකකරණ ව්‍යාපෘතිය නිසා අහිමි කරනු ලැබුවා යැයි හගින පූර්ව නූතන සාරයක් පසුආවර්තිතව අතීතයට ප්‍රක්ෂේපනය කරමින් ගොඩනගන පරිකල්පිතය හා අව්‍යාජත්වය නම් වූ එහි ප්‍රකාශනය වඩාත් ගැඹුරින් කියවාගැනීම සදහාය.පැහැදිළිව ස්ථානගත කිරීම සදහාය. ඒ අනුව ජාතිකවාදයේ අව්‍යාජත්වය කෙරෙහි ඉවසීම් සහගත බුද්ධිමය අවධානයක් දෙන හර්ෂණ අතින් ජාතිකවාදී අනන්‍යතාවය තියුණු ලෙස වටහා ගැනීමට අවශ්‍ය ‘ප්‍රමෝදය’, ‘ජාතික දෙය’ හා ‘පසමිතුරුතාවය’ යනාදී තීරණාත්මක න්‍යායික කියවීම් මගහැරී තිබීම සැලකිය යුතු තරම් අඩුපාඩුවක් ලෙස මම දකිමි.

කෘතිය තුළ සංවාදයට හා විවාදයට විවෘත විය යුතු තවත් කරුණු කාරණා ද ඇත.

කෙසේ වුවද ජාතිකවාදය සිය බුද්ධිමය-දේශපාලන විමර්ශකයක් කරගන්නා අය මෙම කෘතිය පරිශීලනය කිරීම මගනොහැරිය යුතු වේ. එසේම මෙම කෘතිය එළි දක්වන අවස්ථාවේ මූලික අදහස් දක්වන ජයදේව උයන්ගොඩ, සුනිල් විජේසිරිවර්ධන හා රමිදු පෙරේරා යන අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබද ප්‍රාමාණික
බුද්ධිමතුන් විසින් එම අවස්ථාව ආලෝචනාපූර්ණ කරනු ඇත.
හමුවෙමු !

විදර්ශන කන්නංගර

Related articles

පවුලේ ආර්ථික බර කරට ගත් ඇය!

Mahanagar යනු සත්‍යජිත් රායිගේ තවත් සුවිශේෂී නිර්මාණයක්. රායිගේ නිර්මාණකරණය අප සලකා බැලුවොත්, ඔහුට සමාජය සම්බන්දව ඉතා ඉදිරිගාමී දැක්මක්...

ලාංකික ගැහැනියගේ ජීවිතයෙන් බිදක් සොයා යන …”ජෙරුසලමේ දූවරුනි”

උතුරු නැගෙනහිර වැන්දඹුවනගේ හුදකලා පීඩනයෙහි සංක්ෂිප්ත සංවාදයක් ඔස්සේ ආරම්භව ක්‍රිස්තියානි ආගමික ස්ත්‍රීත්වයේ විමුක්තිය පිළිබද සංකල්පනාව හා සමීපව යා...

මෙතන නැත්තේ කවුද?

ඉස්සරහ පේළියේ ඉන්න මේ සෙට් එක පාස්කු ප්‍රහාරය නම් සිද්ධිය එක තැනකින් පස්සේ නවත්වනවා. ඒ තමයි සහරාන් හෂීම්...

එක්සත් ජාතීන්ගේ සංවිධානය තවමත් වැදගත් වේ : එහෙත් බල දේශපාලනය එහි ශක්තිය හීන කරයි !

දෙවන ලෝක යුද්ධය අවසන් වූ දා සිට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රිකභාවය සඳහා වූ වේදිකාව ලෙසත්, ජාතීන් කතා...