පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව තහවුරු වී ඇති ප්‍රශ්න තුනට විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු-සිසුවියන්ට සම්පූර්ණ ලකුණු දීමට ගත් තීරණය මගින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැති මේ විභාගයට අපේක්ෂකයෝ 323,879ක් ඉදිරිපත් වූහ. විභාග මධ්‍යස්ථාන 2,849කදී විභාගය පවත්වන ලදි. විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට 10.45 දක්වා පැවැති අතර, පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්විණි.
මෙහි පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් පිටවූ බවට ආන්දෝලනයක් ඇති විය. ඒ පිළිබඳව විභාගයට පෙනීසිටි සිසු-සිසුවියන්ගේ මව්පියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ. විමර්ශන ඇරඹිණි. එහිදී අනාවරණය වූයේ ප්‍රශ්න 03ක් පිටවී ඇති බවයි. එසේම වසර ගණනාවක් තිස්සේ මෙසේ සිදුවී ඇති බව ද විමර්ශන අංශ අධිකරණයට දැනුම් දුන්නේය.
ප්‍රශ්න පිටවීමේ සිදුවීම තහවුරු වීමෙන් පසු විභාග කොමසාරිස් ජනරාල්වරයා තීරණයක් නොගෙන කාලයක් ගතකළේය. ඉන්පසු අධ්‍යාපන ඇමැති ධුරය දරන අගමැති හරිනි අමරසූරිය සමග පැවැති සාකච්ඡාවකින් පසු පිටවූ ප්‍රශ්න තුනට මේ විභාගයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට තීරණය කළේය. නොවැම්බර් 25 වැනිදා කැබිනට් මණ්ඩලය මගින් ද විභාගය නැවත නොපැවැත්වීමේ තීරණයක් ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
මේ සියල්ල අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකිරීමට විභාගයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ මව්පියෝ පිරිසක් කටයුතු කළහ. එම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම නතර කරන ලෙස නියෝගයක් නිකුත් කළේය. ඉන්පසු පෙත්සම් පිළිබඳ දීර්ඝ විභාගයක් පැවැත්වීය. එහි තීන්දුවයි, 2024 වසරේ අවසන් දිනයේ, එනම් 31 වැනිදා ලබාදුන්නේ.
තීන්දුවට අනුව පිටවූ ප්‍රශ්න තුනට සම්පූර්ණ ලකුණු දීමට ගත් තීරණයෙන් මූලික අයිතිවාසිකම් කඩවී තිබේ. එසේම ඊට අදාළ ව කැබිනට් මණ්ඩලය ගත් තීරණය බලශුන්‍ය කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් මේ නියෝගය ලබාදුන් අතර, අනාගතයේ විභාග පිළිබඳ විශ්වාසය ඇතිකිරීම සහ ඒවා නිවැරදිව පැවැත්වීම පිළිබඳ වාර්තාවක් මාස තුනක් තුළ ලබාදෙන ලෙස ද මෙහිදී අධිකරණය විභාග කොමසාරිස්වරයාට වැඩිදුරටත් නියෝග කළේය. මීට අමතරව ප්‍රශ්න පත්‍රය පිටවීම පිළිබඳ අල්ලස් කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විමර්ශන අංශවලට නියෝග කළ අධිකරණය, ඊට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුවන් රජයට වන්දි ගෙවිය යුතු බවට ද නියෝග කළේය.
අධිකරණය සිය තීන්දුව මගින් විභාග කොමසාරිස්වරයාට නියෝග කර ඇත්තේ මීට අදාළ ව විශේෂඥ මණ්ඩලයක් මගින් ලබාදී ඇති නිර්දේශ තුනෙන් එකක් ක්‍රියාත්මක කරන ලෙසයි. එම නිර්දේශ තුන වන්නේ පිටවූ ප්‍රශ්න තුන ඉවත් කොට ලකුණු සකස් කිරීම, පිටවූ ප්‍රශ්න තුනට සම්පූර්ණ ලකුණු ලබාදීම සහ විභාගය නැවත පැවැත්වීම ය. ගැටලුව ඇත්තේ මේ තුනෙන් කුමක් ක්‍රියාත්මක කළද, එක් කොටසක මූලික අයිතිවාසිකම් තවදුරටත් උල්ලංඝනය වීමයි. එහෙත් මේ අවස්ථාවේ විසඳූමක් අවශ්‍ය වේ. මෙහිදී අධිකරණය සඳහන් කර ඇත්තේ අවශ්‍යතාවය පිළිබඳ මූලධර්මය සම්බන්ධයෙනි. ඒ අනුව මෙහිදී ගැටලුව විසඳා, විභාගයට ඉදිරිපත් වූ දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතුවලට මෙමගින් ඇති කරන බාධා කඩිනමින් ඉවත් කළ යුතුය. එම නිසාය, විභාග කොමසාරිස්වරයාට එවැනි නියෝගයක් නිකුත් කර ඇත්තේ.
කෙසේ වෙතත් මේ සමස්ත ක්‍රියාදාමයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව පැහැදිලිව උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මගින් යළි-යළිත් අවධාරණය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය යනුවෙනි. එය මූලික අයිතිවාසිකම් කඩකිරීමකි.
මේ තීන්දුවේ වගන්ති ලෙස සඳහන් වන 151 වැනි කොටසේ ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් කරුණක් සඳහන් කරයි. ඒ, මේ නිදහස් ලකුණු දීමේ තීරණය, එනම් පිටවූ ප්‍රශ්න තුනට සම්පූර්ණ ලකුණු දීමේ තීරණය විභාග කොමසාරිස්වරයාගේ තනි තීරණයක් නොවන බවත්, එවැනි තීරණයක් ගැනීමට ඔහුට තිබූ අධිකාරියට යම් බලපෑමක් සිදුව ඇති බවත් ය. නීතියෙන් ඔහුට ලැබී ඇති එම අධිකාරි බලය මත ස්වාධීන තීරණයක් ගැනීමේ හැකියාව ඔහුට නැති වූයේ කුමක් නිසා ද යන්නත් එහි පැහැදිලිව දැක්වේ. මේ පිළිබඳ තීරණයක් ගැනීමේ ක්‍රියාවලියට අධ්‍යාපන ඇමැති ධුරය දරන්නා ලෙස අගමැති හරිනි අමරසූරිය මැදිහත් වන්නේ පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ය. එම මැදිහත්වීමෙන් පසු විභාග කොමසාරිස්වරයා විසින් ස්වාධීන ලෙස මීට අදාළ ව සිදුකරගෙන ආ ක්‍රියාවලිය අත්හරින ලද බව තීන්දුවේ දැක්වේ.
එහිදී අධ්‍යාපන ඇමැතිවරිය මූලික අයිතිවාසිකම් කඩ කළ බවක් හෝ ඊට ආධාර අනුබල දුන් බවක් තීන්දුවේ සඳහන් නොවේ. එහෙත් මේ තීරණය සඳහා ඇයගේ මැදිහත්වීම හේතු වූ බව එහි දක්වයි. එසේම අධිකරණ තීන්දුවලදී රජයේ නිලධාරීන්ගේ නිල ලිපිගොනු සම්බන්ධයෙන් අවධානය දැක්වීමේ වැදගත්කම ද එහිදී පැහැදිලිව අවධාරණය කරයි. එනම් විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ ලිපිගොනුවල ඔහු විසින් තමන්ට පැවරී ඇති බලතල යොදාගනිමින් තීරණයක් ගත් බවක් සඳහන් නොවේ. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සොලිසිටර් ජනරාල්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිගොනු මෙහිදී අධිකරණයේ අවධානයට යොමුවී තිබේ. තීන්දුවේ 153 වැනි කොටසේ දැක්වෙන්නේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ ප්‍රශ්න තුනට සියලු අපේක්ෂකයන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමේ දෝෂ සහගත තීරණය රජයේ අධිකාරය මගින් ගනු ලැබූවක්ද යන්න ප්‍රශ්න සහගත බවකි.
මේ කරුණු සියල්ල පිළිබඳ අවධාරණය කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ 154 වැනි කොටසේ පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ දෝෂ සහගත තීරණය නීතියේ ආධිපත්‍යයට එකඟ නොවන්නක් වන නිසා එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය යන මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩු තීන්දුවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන විසින් පෙත්සම් විභාගයේදී අවධාරණය කරන ලද කරුණු උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ ලංකාවේ පවතින පාසල්වල තත්ත්වය අනුව අඩු පහසුකම් සහිත පාසලක සිට වැඩි පහසුකම් සහිත පාසලකට ප්‍රවේශවීමට දැනට ඇති වැදගත් මාර්ගයක් වන්නේ මේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය බවයි. පෙත්සම් විභාගයේදී ජනාධිපති නීතිඥවරුන් අවධාරණය කර තිබුණේ එවැනි විභාගයකදී සිදුවන මෙවැනි වරදක් නැවත ආපසු හැරවිය නොහැකි සහ නැවත පිළියම් යෙදිය නොහැකි හානියක් සිදු කළ හැකි බවයි. එමගින් ඒ විභාගයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට බරපතළ අගතියක් මෙන්ම මානසික කම්පනයක් ඇති විය හැකි බව ද ජනාධිපති නීතිඥවරු පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්හ.
පෙත්සම් විභාගයේදී කේ. ශ්‍යාම් කුමාර් තවත් අය එදිරිව ඉන්දීය දුම්රිය වාර්තා මණ්ඩලයේ සභාපති සහ තවත් අය නම් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ද මූලික වශයෙන් ඉදිරිපත් විය. ඊට හේතු වී තිබුණේ කාලය පිළිබඳ ගැටලුවකි. එම තීන්දුවට අනුව මිනිත්තුවක වෙනසක් පවා විභාගයක සාධාරණ තෝරාගැනීමට බලපෑමකි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ මෙහි ඇත්තේ ප්‍රශ්න තුනක් පිළිබඳ ගැටලුවකි. ඒ ආකාරයට ම පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ තවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් වූයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ මධ්‍යම මණ්ඩලය එදිරිව තන්වී සර්වාල් තීන්දුවයි. එහි දැක්වෙන්නේ යම් හේතුවක් මත යම් විභාගයක් නැවත පැවැත්වීමෙන් දැඩි අපහසුතාවක්, අමතර කාලයක්, වැයක් දැරීමට සිදුවුවත්, එහි අනාගත විශ්වසනීයත්වය ඊට වඩා වැදගත් වන බවකි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ 20 වැනි කොටසේ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අවධාරණය කළ කරුණක් ඉස්මතු කරමින් දක්වන්නේ මෙය ජීවිතය සහ මරණය අතර තත්ත්වයක් බවට පත්ව ඇති බවයි. එසේ ම එක් ලකුණක් පවා මෙහිදී කොතරම් තීරණාත්මක ද යන්න ද එහිදී විස්තර කොට දක්වයි.
කෙසේ වෙතත් මේ තීන්දුවේ ඇති වැදගත් ම කරුණක් ලෙස හැඳීන්වීමට හැක්කේ නීතියේ ආධිපත්‍යයට බාධා වන අයුරින් සිදුකරන හැසිරීම් පිළිබඳ අධිකරණය දක්වා ඇති අවධානයේ තරමයි. එය ඇතැම් විට සාධාරණ චේතනාවකින් සිදුකරන්නක් විය හැකිය. සිතාමතා බාධාකිරීමට සිදුකරන්නක් නොවිය හැකිය. එහෙත් පුළුල්ව සලකාබැලීමේදී එය අගතිදායක ය. එම නිසා සියල්ල වැදගත් ය.
- ශාලික විමලසේන