මේ නම්, කලාතුරකින් බිහිවන්නාවූ ආකාරයේ කෘතියකි. එකම කෘතියක් තුළින් මෙතරම් පැතිරුණු පරාසයක් ආවරණය වන අවස්ථා සුලබ නොවන බවයි මාගේ අදහස. මෙම නවකතාව කියැවීම බරසාර සංචාරයක් හා සංවාදයක් සිදුකිරීම හා සමාන ය. ඉතිහාසය, පුරාවිද්‍යාව, මානව විද්‍යාව, ආධ්‍යාත්මිකත්වය, සංචාරය, විවිධ කලාවන් ආදිය ස්පර්ශ කරමින් ඒවායෙහි දැවටෙමින් කතාව ඉදිරියට ඇදෙයි. ඒ අතරෙහි ආදරය, ආත්මාභිමානය, උන්නතිකාමය, මෛත්‍රිය, නිදහස්කාමී චින්තනය, මධ්‍යම පාන්තික ජීවන රටාව, ලිංගිකත්වය, ලෝකාවබෝධය ආදිය සමඟ බැඳුණු මනෝභාවයන් ඔස්සේ පුද්ගලයන්ගේ චර්‍යාවන් පිළිබඳ කියැවීමක්ද නිතැතින්ම ගෙනහැර දැක්වේ.
පළමු වාක්‍යයේ සිටම නැවුම් අපූර්වත්වයක් මුදාහරිමින් මා සිය ග්‍රහණයට ගන්නට මේ කතාන්දරය සමත් විය. කාව්‍යාත්මක බස් වහරකින් යුතු ව වදන් ගැලපී නිමවනු ලැබ ඇති වාක්‍ය, කියවන්නා තුළ මනා ලෙස චිත්ත රූප මවමින් ගලා යයි. මූලික වශයෙන්ම උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයකින් ඉදිරිපත් වන කතාන්දරය, යම් යම් ඓතිහාසික කරුණු ගෙනහැර දැක්වීම් කිහිපයකදී හා තවත් එක් අවස්ථාවකදී (25 පරිච්ඡේදයේ දෙවන අර්ධයේදී) පමණක් ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන් ගෙනහැර දැක්වේ.
කතාන්දරය කියවාගෙන යනවිට එහි සඳහන් ස්ථානවලට අපව ද රැගෙන යන ආකාරයේ රචනයකි. එසේ සංචාරයේ යෙදිය හැකි තැන් ලෙස, දඹුල්ල, ඉබ්බන්කටුව, සීගිරිය ආදී පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානද කොළඹ පැරඩයිස් රෝඩ් හා බෙයාෆූට් වැනි ගැලරි කැෆේ පරිශ්‍ර ද, කලා භවන – මහවැලි කේන්ද්‍රයාශ්‍රිත පරිසරය, බම්බලපිටිය වෙරළ, රුවන්මැලි සෑ මළුව, දෙගල්දොරුව රජමහා විහාරය, මහනුවර නගරය, දළඳා මාළිගාව, යාපනය අර්ධද්වීපය ආදිය ගත හැකි ය. පොතෙහි අවසාන භාගය තුළදී අපට මව්බිමෙන් බැහැරට, එනම්, ඉන්දියාවට, නේපාලයට හා ටිබෙටයට සංචාරය කිරීමේ අවස්ථාව ලැබේ. එද මේ ප්‍රේමානිශංස කතුතුමා ඉමහත් දක්ෂ ලෙස ගෙනහැර දක්වන පරිසර වර්ණනා අනුව චිත්තරූප මවාගැනීමෙන් ම පමණක් යන ගමනක් නොවේ. කථා නායකයා මුහුණ දෙන විවිධ මනෝභාවයන්, හැලහැප්පීම් ආදියද ඔහුත් සමගම විඳගනිමින් ම යන ගමනකි.
පොතෙහි සෑම පරිච්ඡේදයක්ම ආරම්භයේදී භගවත් ගීතාව වැනි මූලාශ්‍රයකින් උපුටාගත් පාඨයක් හෝ කෙටි ඡේදයක් යොදා ඇත. එම පාඨය තුළ, අදාළ පරිච්ඡේදයට අදාළ යම් ඉඟි කිරීමක් හෝ සම්බන්ධතාවක් දැකිය හැකි වේ. කතුවරයා පොත අවසානයේ සටහන් කරන ‘හමාර කීම’ ට අනුව මෙම පොත වියමන් කරන්නට ඔහුට වැදගත් වූ කෘතියක් වන, පූජ්‍ය පණ්ඩිත මිස්සක කමලසිරි හිමියන් විසින් විරචිත ‘ මිහිඳුගිරෙන් හිමගිරට’ නම් කෘතියෙහිද ඉහත කී අයුරේ ආකෘතියක් ඇතිබව දුට හැකිය. මෙය නැවුම් ආකෘතියක් ලෙස මා සිත් ගත්තේ ය.
තමා නැරඹූ මලයාලම් චිත්‍රපටයක් වන Six Feet High (Oraalppokkam) නම් චිත්‍රපටයද මෙම කතාව ගොඩනැගීමෙහිදී ඔහුට බලපෑ බව කතුතුමා සඳහන් කරයි. තවද මෙම නවකතාවට පාදක වන එක් අංශයක් වන ‘කුලය’ ආශ්‍රිත කරුණු විමසීමේදී ආචාර්‍ය කුමාරි ජයවර්ධනගේ ‘Nobodies to Somebodies’ කෘතිය එතුමාට ආලෝකය සපයා ඇත.
නිරූ සහ සයුරු නම් වන ප්‍රධාන චරිත ද්විත්වය, ඔවුන් අතර ඇති ප්‍රේමය සහ ඔවුන්ගේ කුල පරම්පරා පදනම් කරගනිමින් ගෙතී ඇති නවකතාව ‘සත්‍යය සහ ප්‍රබන්ධය’ අතර දෙඉවුරේ සැරිසරමින් කළ එකක් බව කතුතුමා සඳහන් කරයි. නිරූ චරිතය ගොඩනැගෙනුයේ රාජකීය ප්‍රභූ සම්භවයක් සහිත ව ශ්‍රී ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර විද්වතෙකු වන ආනන්ද කුමාරස්වාමි මහතාගේ මිණිපිරියක ලෙසයි. ‘සයුරු’ චරිතය ගොඩනැගෙන්නේ අරක්කු රේන්ද ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාරයන් මූලික කරගෙන ගොඩනැගෙමින්, පහත් යැයි සම්මත වූ කුළයක සිට පසු ව ඉහළ මධ්‍යම පන්තියට ඇතුළත් වුණු පරම්පරාවක නූතන පුරුක ලෙසයි. මේ දෙදෙනටම පොදු වන එක්තරා පරිසරයක හා සන්දර්භයකදී ඔවුන් එකිනෙක මුණගැසෙන අතර ආදරවන්තයන් බවට පත්ව ඔවුන්ගේ ගමන අරඹයි. සයුරුගේ දෙමාපියන්ගේ- විශේෂයෙන්ම පියාගේ- ආකල්පයන් අනුව මේ පෙම්වතුන් දෙදෙනාගේ චාරිකාවට ඇතිවන බලපෑම අනුව මේ දෙදෙන ඔවුනොවුන්ගෙන් ඈත් වීමත් නැවත ඔවුන් මුණගැසීමත් අතර චාරිකාව, මෙම කතාවේ අගභාගයෙහිදී විස්තර වන්නේ, පාඨකයාවද එම චාරිකාවට සම්බන්ධ කරගනිමිනි. අවසානයේදී අපට කියවාගත හැකි වන්නේ – වටහාගතහැකි වන්නේ ගැඹුරු වටිනාකමකින් යුතුවූ සත්‍ය ධර්මයකි.
මේ නවකතාව තුළ හමුවන ස්ත්‍රී චරිත හතරකි. නිරූ, නිරූගේ මව, සයුරුගේ මව සහ සොෆියා නමැති කැනේඩියානු ජාතික යුවතියයි.
මෙම චරිත හතරම කතාන්දරය තුළ සුවිශේෂී භූමිකාවන් ඉටුකරයි. සයුරුගේ මව සාම්ප්‍රදායික පුරුෂ මූලික කුටුම්භයක යටහත් පහත් සිංහල මවකගේ චරිතය දැක්වූවත් එක් අවස්ථාවකදී එකී ගුණාංග වෙනස් කරගනිමින් කටයුතු කරනු දක්නට ලැබේ. අනෙක් චරිත තුනම නිදහස්කාමී ලිබරල් ස්ත්‍රී චරිත වේ. සොෆියා ද කතාවේ අවසාන පරිච්ඡේදවලදී හමුවී කතාවට විශේෂ ආලෝකයක් සපයයි. (සොෆියා – Sophia / Sofia යන නමෙහි ප්‍රඥාව (wisdom) යන අර්ථය ඇත.) නිරූ ගේ චරිතයද සෑමවිටම සයුරුට ඉදිරියෙන් තිබෙයි. සයුරුද නිරූගෙන් ලැබෙන එම ආලෝකය ඔස්සේ ඉදිරියට යාම සිදුවෙයි. ඉතින් මෙලෙස ස්ත්‍රී චරිත වෙත මූලිකත්වයක් ලබාදීම මෙම නවකතාවෙහි වැදගත් ලක්ෂණයක් ලෙස දකිමි.
තවද, කෙවින් නමැති සංක්‍රාන්ති ලිංගික තරුණයාද අපට හමුවේ. ඔහුගේ විසල් හදවත හඳුනාගැනීමට අපට ඉඩ හසර ලැබේ.
සයුරුගේ පියාගේ චරිතය කියවාගැනීමටද අපට හැකියාව ලැබේ. මීට අමතරව ශ්‍රී ලාංකීය මෑත ඉතිහාසය තුළ හා වර්තමානය තුළ ජීවමාන සැබෑ චරිත කිහිපයක්ද මේ කෘතිය තුළින් අපට මුණගැසේ.
මා සිතන පරිදි මෙවන් කෘතියක් යම් කතුවරයෙකු අතින් පහසුවෙන් ලියැවෙන්නේ නැත. මේ කෘතිය සුවිශිෂ්ට එකකි.
මම මෙය කියවා අවසන් කරන්නට පෙර සිතාමතාම මාස කිහිපයක් කල් ගත්තෙමි. සෙමින් රසවිඳිමින් සිත් සේ ඒ තුළ ජීවත්වුණෙමි. අපමණ වින්දනයක් ලැබුවෙමි.
පුදුමයක් නැත. මේ කෘතිය ප්‍රධාන පෙළේ සම්මාන කිහිපයකින්ම බුහුමන් ලබා ඇත. ඒවා නම්, 2022 වසරේ හොඳම නවකතාවට හිමි ‘ස්වර්ණ පුස්තක’ සම්මානය, විද්‍යෝදය ජාතික සම්මානය, ගොඩගේ ජාතික සම්මානයයි. තවද රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතා ත්‍රිත්වයටද ඇතුළත් වී ඇත.
පොතට විශිෂ්ට අනන්‍යතාවයක් සහ අලංකාරයක් ලබාදෙන එහි පිටකවරය දිනිඳු සිරිවර්ධන මහතාගේ තවත් සුවිශිෂ්ට කාර්‍ය සාධනයකි. එ මෙන්ම, මේ කෘතිය නිමාණය කිරීමේදී කතෘ තුමාට සහය වූ සියලු දෙනා හට ද පාඨකයන් වශයෙන් අපගේ ස්තුතිය හිමිවිය යුතු ය.
අවසන් වශයෙන්, මේ ග්‍රන්ථ රත්නය රචනාකරන ලද චන්ද්‍රරත්න බණ්ඩාර ලේඛකයාණන්ට ගෞරව පූර්වක ස්තුතිය පුදකරමි. සතුට හා ප්‍රශංසාව පුද කර සිටිමි. ප්‍රේමානිශංස නවකතාව ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට හා වැදගත් සාහිත්‍ය නිර්මාණයක් ලෙස වැජඹෙනු ඇත. එය රචනා කිරීමෙන් එතුමා තබා ඇති සලකුණ සුවිශිෂ්ට ය.
සනිඳු නිලංග කරුණාරත්න (fb)
2024.12. 30
[‘ප්‍රේමානිශංස’ නවකතාව සම්බන්ධව කොලාජ් පින්තූරයක්(පහත පින්තුරය) සකස් කළේ එය පිළිබඳව ඇති අසීමත බැඳීම හා ආදරය නිසාය. ඒ සඳහා යොදාගත් සියලු පින්තූර අන්තර්ජාලයෙන් ලබාගතිමි. ඒවායේ මුල් හිමිකරුවන්ට ගෞරවය හිමි වේවා! ]