රූපණවේදිනියක් වන ගයනි ගිසන්තිකාගේ දෙවන කාව්‍ය සංග්‍රහය “ගලන දියේ හංගා” නමින් රසිකයා අතට පත්වූයේ ඊයේ. ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය වන “අමුත්තා” කියවා තිබූ මට ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය ද කියවීමේ උනන්දුවක් ඇතිවූයේ, “අමුත්තා” තුලින් ඇය රසිකයෙකු වූ මා තුල දැල්වූ බලාපොරොත්තුවේ ගිනි පුළිඟුව නිසා.
ගයනි ගේ “ගලන දියේ හංගා” කාව්‍යාවලිය තනි වැකියකින් හඳුන්වන්න මම කැමතියි. එය “කාව්‍යමය කොලාජ් සිතුවමක්”. ගයනි ජීවිතය අල්ලා ගන්නේ තනි පදාසයක් හැටියට නොවෙයි. අඳුර හා එළිය අවිධිමත් ව වැතිරුණු කොටස් හැටියට. නමුත් ඒ කොලාජ් සිතුවම යටින් සියුම් ජීවන වෘතාන්තයන් දිවයනවා. ඒවා ඇය සම්මිශ්‍රණය කරන්නේ අගත අනගත ආකාරයෙන්.
ඇගේ “යශෝධරා” කවිය එයට අපූරු උදාහරණයක්.
හිස් අල්මාරිය
පොත් නැති රාක්කය
නොකියා කියවන
පාවෙන බලාපොරොත්තු
තේ කෝප්පය මග බලන්
අද හෙට හෝ ටික දවසකින්
පැළඳ වූ පාවහන්
ඇවිද ගොස්
ඇඟිලි තුඩින් ඇඳි ජීවිත
ගලන දියේ හංගා
නොඑන ගමන් ගොස්
අඩි සද්දයක් නැතිවම
නික්ම යාම දරාගන්නද?
යශෝධරා
අහිමි වීම, අත් හැරීම අපේ ජීවිත වල සුලබ දෙයක්. අත් හැර යාම දරාගැනීම ජීවිතයේ අභ්‍යාස කලයුතු දෙයක්. කවියේ අගට ඇය යශෝධරා යැයි යෙදූ සැණින් මේ අත්දැකීම කාලාත්‍රයටම පොදු බවට පත්වෙනවා.
“වලාකුළු එහෙම නැහැ” නිර්මාණයද ජීවිතයේ දරාගැනීම යන අනිවාර්ය ස්වරූපය මතු කරන්නක්.
“කඳු නැවතී බලන් උන්නට
වලාකුළු එහෙම නෑ.”
ඇය පවසන්නේ අපට කන්දක් විය හැකිනම් අපට අප පසුකර යන වලාකුළු දෙස උපේක්ෂාවෙන් බලා සිටිය හැකි බවයි.
“ඔබව දකිමි” නිර්මාණය ගැහැනියක ගේ අත් නොහරින මතකය පිළිබඳ ප්‍රකාශයක්.
බිත්ති කඩතොලු අතරද
බිඳී ගිය තේ කෝප්පයේ සියුම් තැන්වලද
ඉරිතැලුණු දුරකථනයේ මතුපිටද
කැපුම් පහරින් ඉතිරි වූ පැල්ලමෙහිද
මම අදටත්
ඔබව දකිමි.
මොනතරම් සාහසික රුදුරුකම් මතකයන් ලෙස ඉතිරිවූවද අපට ඒ අතර ලද සුන්දර මතකයන් පරාජය කළ නොහැකියි.
කලක් සිට
ඍතු පසු කරන ගසක්
නිහඬය
නිසොල්මන්ය.
ගසකට ඇති දරාගැනීමේ හැකියාව සංකේතාර්ථයෙන් ඇය මිනිස් ජීවිතයට බද්ධ කරයි. අප දරාගැනීම ජීවිතයේ අභ්‍යාස කලයුතු දෙයකි.
“මම මිෂෙල් නෙමෙයි” වැනි කවියක් මානව සම්බන්ධතා නූතනයේ මුහුණ පාන ඛේදය අපූරුවට ප්‍රතිනිර්මාණය කරන්නකි. තාක්ෂණික මෙවලම් මත යැපීම යනු ඉතා මෘදු මිනිස් සබඳතා වල සතුරු පාර්ශවයකි.
“ඔහේ ජීවිත” වර්තමානයේ අපේ ජීවිත වල ඇති දෙබිඩි ස්වරූපී ඛේදය මතු කරන්නක්. මොනතරම් පියකරු ලෙස හැඳ පැළඳ වෙස්ගන්වා සිටියත් අප තුල මිනිස් ජීවිතයට උරුම සියලු ධර්මතා සැඟවී සිටී. ඇතැම් විට ඒවායේ ශෝකී මුහුණුවර මතුවන්නේ හුදෙකලා නිම්නයකදී පමණි.
“බිඳුණු තැන්” නිර්මාණයද මිනිස් ජීවිතයේ අඳුරු පැතිකඩ මතු කරන්නක්.ඇය එක බිත්තියකට සමාන කරන ආකාරය අපූරුය.බිත්තියේ කඩතොලු, අවර්ණිත තැන් වසා දමන්නට අපි තීන්ත ආලේප කරයි. එයිනුත් බැරි තැන පින්තූර එල්වා ඒවා ආවරණ කරයි. නමුත්,
දැන් පේන්නේ නෑ
ඒත්
බිත්තිය දන්නවා
බිඳුණු තැන්.
ගයනි ගේ කාව්‍ය කෘතිය කාව්‍යමය කොලාජ් සිතුවමකැයි මා පැවසුවේ මේ නිසයි. ඇය ජීවිතය දකින්නේ සර්ව සම්පූර්ණ, පාරප්‍රාප්ත දෙයක් ලෙස නොවේ. එය විවිධ අඩුලුහුඬුකම්, හොඳ නරක, සහිත ප්‍රපංචයක්. එය අප පිළිගත යුතු සත්‍යයක්. මොනතරම් උපාය උපක්‍රම යෙදූවද අපට මේ පරම සත්‍යය මහහැර යා නොහැකියි. ඇය සිය “ගලන දියේ හංගා” කෘතියෙන් නිර්ව්‍යාජව පවසන්නේ එයයි.