කතානායකවරයාගේ ගැටලුව මතින් නිරාවරණය වන මෙරට ඊනියා උගතුන්ගේ සැබෑ-යථාර්තය කෙබඳුද ?.

Share post:

2024 මහ මැතිවරණයෙන් මෙරට ඡන්දායකයන්ගෙන් 6.868.186 ( 61 .56 /: )
පිරිසක් විසින් 2/3 ක ඉතාමත් ශක්තිමත් ආණ්ඩුබලයක් සහිත ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තෝරා පත්කර ගන්නා ලද්දේ කප්පරක් නැවුම් බලාපොරොත්තුසහගතව බව පෙනේ.

ජනතාවගේ පැත්තෙන් එසේ වන අතර ජාතික ජන බලවේගයේ පැත්තෙන් ද ඔවුහු ජනතාව හමුවේ කප්පරක් බලාපොරොත්තු තැබූහ. එහිලා මෙරට හෑත්තෑහය වසරක් (1948 – 2024 ) තිස්සේ පැවත ආ තට්ටුමාරු මජර දේශපාලනය සහමුළින්ම නැතිකර දැමීම මූලික අරමුණ වූ බව පෙනේ. ඊට සමගාමීව දිව-ආ පවුල්වාදය – හිතමිත්‍ර වරදාන හා වරප්‍රසාද – නිලධාරිවාදය , රටපුරා මුල්බැස ඇති නාස්තිය හා දූෂණ එසේම දේශපාලන පාදඩ සංස්කෘතිය යනාදියෙන් තොර ශ්‍රීලාංකාවක් නිර්මාණය කරගැනීම මූලික අරමුණ වූ බව පෙනේ. ආණ්ඩුව තේරීපත්ව පුරා දින විසිඅටක් ( 29 ) ගතවත්ම ජනතාව විසින් තැබූ ඒ සුවිසල් බලාපොරොත්තුව එලෙසින්ම නොඑසේනම් අඹමල් රේණුවක තරම්වත් වෙනසක් නොවී අදටත් එලෙසින්ම පවතී.
“කිරි කලයට ගොම බිදාවක් වැටුණා සේ” යැයි අපේ පුරාණ ජනකියමක් ඇත්තේ ය.

ආණ්ඩුව පත්වී අල්ලපනල්ලේ ඉහත ජනකියමන යථාර්තයක් බවට පත් කරමින් අභිනව ආණ්ඩුව විසින් පසුගියදා තෝරා පත්කරගන්නා ලද පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව කිසියම් වූ ගැටලුවක් ඉස්මතුව ඇතිබව පෙනේ. මේවනවිට ආණ්ඩුවට විරුද්ධ පිරිස විසින් තමුන්ගේ පරාජයේ වේදනාව යටපත් කරගැනීමට එම ප්‍රශ්නය රස බොජුනක් කරගෙන ඇත්තේ ය. එක්තරා මහාචාර්ය යැයි කියා ගත් විරුද්ධ පක්‍ෂයේ හිටපු ජනාධිපති උපදේශකවරයකු මෙම ප්‍රශ්නය කරපින්නාගෙන අතීතයේ දී තමන්ට එල්ල වූ සුනඛ- ලිංගික චෝදනා
සමාජයෙන් යටපත් කර දැමීමට බාලාංශයේ උත්සහයක නිරතවන බව පෙනේ.

යමෙකුගේ පෞද්ගලිකවය කොතරම්දයත් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ද ඒ තරමටම පෞද්ගලික වන්නේ ය. යමෙකුගේ අධ්‍යාපන හා ඊට පරිහාහිර සුදුසුකම් ඔහුගේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ ඒවා මතින් ඔහුගේ අනාගතය තීරණය වන බැවිනි.එනමුත් සමාජ නම් වූ කාරණාවට එය අදාලවන්නේ ඔහු එම තනතුරු දැරීමට පිළිගත් උගත්කමක් හෝ වෘත්තීය නිපුණත්වයක් සපුරා ඇත්ද හා ඔහු එම තනතුර දරමින් කොතරම්දුරට සමාජයට මෙහෙවරයක් ඉෂ්ට-සිද්ධ කරනවාද යන්න පමණි.

මෙරට දේශපාලඥයන් හා දූෂිතයන් විසින් මෙරටට කරන ලද හානිය කොතරම්දයත් ඒහා සමාන නොවුනද කිසියම් ප්‍රමාණයකට හානියක් මෙරට ඊනියා උගතුන් විසින් මෙරටට ඉෂ්ට- සිද්ධ කර ඇති බවට අපට අකමැත්තෙන් හෝ පිළිගැනීමට සිදුව ඇත්තේ ය. එබැවින් මෙම සංකීර්ණ කාරණාව ඉතා පුලුල් පරාසයක් තුළ කතාබහ කිරීමට සිදුවන කාරණාවක් වන බැවින් ඒ පිළිබඳව ඌණපූර්ණයක් පමණක් මෙම සටහන මගින් ඉදිරිපත් කිරීමට මම අදහස් කරමි.
මෙරට එදාමෙදාතුර මහා උගතුන් යැයි සමාජය හමුවේ විවිධාකාරයෙන් බෝඩ් ලැල්ලි ගසාගෙන පෙනීසිටින උදවිය සැබවින්ම කව්ද යන්න තවමත් මෙරට ජනතාවට හැරිහැටි තේරුම් බේරුම් කරගැනීමට නොහැකි වී ඇත්තේ ය. ඒ අන්කිසිවක් නිසා නොව ඔවුන් විසින්

චිරාත් කාලයක් මුලුල්ලේ සිට එක්තරා බලාධිකාරියක් සමාජය වෙත රෝපණය කර හෝ ස්ථාපිත කර ඇති බැවිනි. ඒ බව ශ්‍රීලාංකේය සමාජ ඉතිහාසය
( Sri Lankan Social History ) විමර්ශනය කර බලන කල්හි මැනවින් පෙනේ . මා දන්නා තරමින් ලෝකයේ උගත්කම වඩාත්ම සමාජය විසින් සැලකිල්ලට භාජනය කරනුයේ කිසියම් පුද්ගලයකු තම විෂයය අරබයා රට හමුවේ උත්පාදනය කරන ව දැනුම හා නව චින්තනය මතබව පෙනේ. එය ඕනෑම රටක භෞතික දියුණුව හා සංවර්ධන තීරණය වන ප්‍රධාන සාධක දෙක යැයි සරලව දැක්විය හැකියි. එහිලා ඔහුගේ ඒ ඒ ක්ෂේත්‍ර අරබයා වූ ප්‍රාමාණිකත්වය, අත්දැකීම් වෙසෙසින්ම සමාජ ප්‍රගමනය කෙරෙහි අතිශයින්ම වැදගත් වන්නේ ය.

ඒ අනුව ගත් කල්හි මෙරටේ ජනතාවගේ බදුමුදල්වලින් නඩත්තුවෙන විශ්ව විද්‍යාල පද්ධතිය විසින් එදාමෙදාතුර මෙරටට ප්‍රධානය කරන ලද නව දැනුම හා බුද්ධිමය චින්තනය ඒ ඒ යුගයන්ට සාපේක්ෂව කුමන අගයක් ගන්නේ ද යන්න අප විසින් විමසා බැලිය යුතු ඉතා වැදගත් කාරණාවක් වේ. එහිදී මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය රටේ ඥාන හා බුද්ධි ප්‍රගමනය උදෙසා කොපමණ කාර්යයභාරයක් ඉෂ්ට-සිද්ධ කළාද යන්න පිළිබඳව අපට හොද අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇත.
වර්තමානයේ දී ලෝකයේ විශ්ව විද්‍යාල කොටස් තුනකින් ක්‍රියාත්මක වේ. ඒ මෙපර්දෙනි.

නව දැනුම උත්පාදනය කිරීම
එම දැනුම සමාජගත කිරීම
එම දැනුම සංරක්ෂණය කිරීම

ඉහත කාරණාවට මැනවින් සනාථ වන එක් කාරණාවක් අපි මෙහිදී උදාහරණයක් ලෙස ගෙන බලමු. මෙරටේ වැඩිම ආචාර්ය උපාධි ( Phd’s ) සහිත ඇත්තන් පීරිසක් සිටින දෙපාර්තමේන්තුවකි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඊට අනුබද්ධ පර්යේෂණ ආයතන. එසේ වී නම්,
මෙරට අහිංසක ජනතාවගේ බදුමුදලින් විදෙස් රටවල්වලට පිටත්කර යවා ඔවුනට ජාත්‍යන්තර අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබාදී ඔවුන් වෙතින් රට හෝ ජනතාව අත්පත් කරගන්නා ලද නව-දැනුම කුමක්ද යන්න විමසා බලනු වටී. එය කොතරම්දයත් 40/: පමණ කෘෂිකර්මාන්තයෙන් දිවිසරි කරගන්නා රටක තවමත් කෘෂිකර්මය යන විෂයය ඇත්තේ අතිශයින්ම අසාර්ථක හා නවීන ලෝකයට සාපේක්ෂව අතිශයින්ම
ප්‍රාථමික තත්ත්වයක බව පෙනේ. වැඩිකතා අවශ්‍ය නැත. රටේ ජනතාවගේ දෛනික පරිභෝජන සහල් ප්‍රශ්න විසඳා ගැනීමට අපට තවම නොහැකි වී ඇත්තේ ය. ඉතින් රටේ කෘෂි උගත්තුන් පිළිබඳව කවර කතාද යන්න අප අපෙන්ම අසනු වටී.

මා තවත් උදාහරණයක් ගෙන ඔබට පෙන්වීමට කැමැත්තෙමි. මෙරට විශ්වවිද්‍යාල හා ඉන් පරිබාහිරව ආර්ථික විශේෂඥයන් හෝ ආර්ථික විශ්ලේෂකයන් කොතරම් වෙත්ද , එවන් වූ රටක් 2022 අගෝස්තු මාසය වනවිට සහමුළින්ම බංකොළොත්භාවයට පත් වනුයේ කෙසේද ? යමෙකු මෙහි පූර්ණ වගකීම රට එතෙක් පාලනය කරන ලද තට්ටුමාරු දේශපාලනයන්ට බාර කිරීමට උත්සුක වීමට පුලුවනි. එය සත්‍යයකි. එනමුත් අප නොදකින මෙහි ගැඹුරු යථාර්තයක් ඇත්තේ ය . එනම් ඒ මෙරට ඔය කියන ආර්ථික විශේෂඥයන්ට මෙරට ආර්ථික වශයෙන් එවන් වූ මහා ප්‍රපාතයකට ඇඳ වැටෙන බව වේලාපහින්ම තමුන්ගේ ආර්ථික දැනුම හෝ ඥානය තුළින් නොදැක්කෙහිද ? ඔවුනට ඒ පිළිබදව හරිහැටි අවබෝධයක් හෝ විශ්ලේෂණය කරගැනීමට හැකියාවක් වීද ? එසේ වී නම් , ඒ පිළිබදව ජනතාව දැනුවත් නොකලේ මන්ද? එසේම ඔවුන් විසින් ඒ පිළිබදව සමාජය හමුවේ තබන ලද ඒ පිළිබදව පර්යේෂණ පත්‍රකාව ( A Research Peper ) කුමක්ද ? මෙරට එකදු විශ්වවිද්‍යාලයක හෝ ආර්ථිකය අංශයක් විසින් ඒ පිළිබදව පූර්ණ අධ්‍යනයක් කර මෙම අගාධයෙන් රට ගොඩඒමට ඉදිරිපත් කර ඇති හෝ යෝජනා කර ඇති නව ආර්ථිකය වැඩපිළිවෙළ ( A new Economy Program ) කුමක්ද ? . එසේ වී නම් අපට මෙරට තවදුරටත් ආර්ථික විශේෂඥයන් සිටින බවට කටපුරා කිවහැකි ද ?. එසේම ඔවුන් පිළිබඳව තරදුරටත් විශ්වාස කළ හැකිද ?
මෙරට උගතුන්ගෙන් බහුතරයක්ම අතිශයින්ම හීනමානයකින් පෙළෙන ඇත්තෝ වෙති. මෙරට ඔය කියන උගතුන්ගෙන් බහුතරයක්ම නිර්මාණය වී ඇත්තේ මෙරට නිදහස් අධ්‍යාපනයට පින්සිදුවන්නට ය. එනමුත් ඔවුන් කෙදිනක හෝ තම ඉලක්කය සපුරාගත් කල්හි ඔවුන් විසින් ඉතා ඉක්මනින්ම තම පංතිය හෝ තමුන් පැමිණි ගමන්මග අමතක කර දමන්නේ ය. නොඑසේනම් ඔවුනට අමතකවී යන්නේ ය. එතැන් පටන් ඔවුන් අධි-හීනමානයකින් පෙළෙන්නට පටන් ගන්නේ ය. එහිලා තමුන්ට ඕනෑම දෙයක් කිරීමට හැකියාව ඇතැයි යන අධි-හීනමානයෙන් යුතුව දේශපාලන යන විෂයයට ඇතුළුව තවත් බෝහෝ විෂයය ක්ෂේත්‍රයන් වෙත අවතීර්ණය වන ඔවුන් අවසන හත්පොළකට ගා-ගන්නේ ය . නොඑසේනම් අනාගන්නේ ය. අප වියත්මග තුළින් ප්‍රායෝගිකව දුටුවේ එම සත්‍යය නොවේද ?.

මෙරට දේශපාලන යන කාරණාවේදී එදාමෙදාතුර ඔය කියන ඊනියා උගතුන් අතිශයින්ම අසාර්ථක වී ඇතිබව පෙනේ. ඒ අන් කිසිවක් නිසා නොව තීක්ෂණ බුද්ධියක් – නව දැක්මක් ඔවුනට නොමැති බැවිනි. එසේ නව දැක්මක් ඔවුනට ඇතිකර ගැනීමට තම වෘත්තියේ හා සමාජ තත්ත්වය යන කාරණා මතින් නිර්මිත ඔවුන්ගේ අධි මනෝභාවය ඔවුන්ව එවන් වූ තැනකට පොළඹවන්නේ නැත. . උදා : ජනතාව විසින් පන්නාදමන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ “වියත් මග”ගන්න. එහි ආර්ථික විශේෂඥයන් , වෛද්‍ය විශේෂඥයන් ඇතුළුව ඊනියා උගත්හු හැටහුට-හමාරක් සිටියහ. අවසනට රටට මොකද සිදුවූයේ ? ඉතා සුලු ප්‍රශ්නයක් වන කාබනික – රසායනික පොහොර ප්‍රශ්නය ඔවුනට විසදා ගැනීමට නොහැකි විය.

තවත් උදාහරණයක් අපි ගනිමු . මෙරට විශ්වවිද්‍යාල ජේෂ්ඨ මහාචාර්යවරුහු බොහෝ වෙති. එනමුත් ලෝක විශ්ව විද්‍යාලවල සන්දර්භය තුළ මා දන්නා පරිදි “ජේෂ්ඨ මහාචාර්යවරුන්” කියා පිරිසක් නොමැත. ඇරත් .. මහා යනු – විශාල – පුලුල් යන අර්ථ වේ. එහි ජේෂ්ඨත්වයක් කියා දෙයක් නොමැත.
සැබවින්ම විදෙස් විශ්වවිද්‍යාලවල සේවය කරනුයේ මහාචාර්යවරුන් පමණි. එසේම විශ්ව විද්‍යාලයකින් කිසියම් මහාචාර්යවරයකු විශ්‍රාම ගත්තද ඔහුට එතැන් පටන් “මහචාර්ය” යන නාමය තම නමට ඉදිරියෙන් භාවිතා කළ නොහැකිය . එනමුත් එම විශ්‍රාමික මහාචාර්යවරයා තවදුරටත් ශාස්ත්‍රීය පර්යේෂණ ( Academic Researchers ) කටයුතුවල නිරත වත්ද ඔහු ඒ පිළිබදව තමා සේවය කරන ලද විශ්ව විද්‍යාලයේ සෙනට් සභාවට ලිඛිතව දන්වා සිටිය යුතුය. පසුව සෙනට් සභාව විසින් සියල්ල පරික්ෂාවට ලක්කොට ඔහුට “සම්මානිත මහාචාර්ය” ( Professor of Emirates ) වශයෙන් තම නමට ඉදිරියෙන් භාවිතා කිරීමට අවසර දෙන්නේ ය .

මෙරට නීතිය පිළිබඳව මහා වියතකු යැයි කියැවෙන එක්තරා මහාචාර්යවරයකු විසින් පසුගිය පාර්ලිමේන්තුව දක්වාම කිසිදු හිරිකිතයකින් තොරව “මහාචාර්ය”යැයි කියා භාවිතා කළ බව නොරහසකි. වර්තමානයේ කතානායකවරයාට හමුවේ උද්ගතව ඇති ප්‍රශ්නය හමුවේ කටපත්ත අඳින විරුද්ධ පක්‍ෂයේ උදවිය එකී කාරණාවද සැලකිල්ලට ගනුවටී. මොකද .. කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ඇති බැවීනි.

මෙරට ජේෂ්ඨ මහාචාර්ය කියන කාරණාව කොතරම්දුරට සමාජය තුළ ඔවුන් විසින්ම සියල්ලර කාරණාවක් කරගෙන ඇත්ද කිවහොත් මෙරට චිත්‍රපට නාමාවලියටත් ජේෂ්ඨ මහාචාර්ය යන පට්ටම ඇතුළුත් කරගෙන ඇත්තේ ය . මා දන්නා තරමින් ලෝකයේ කිසිදු චිත්‍රපට නාමාවලියකට මහාචාර්ය හෝ ජේෂ්ඨ මහාචාර්ය පදවි ඇතුළත් කරන්නේ නැත. 2024 මහ මැතිවරණයෙන් සුනාමියක් සේ මෙරට උගතුන් යැයි සම්මත පිරිසක් පාර්ලිමේන්තුවට ගසාගෙන ආවේ ය. එය එක පැත්තකින් පෙරට වඩා සුන්දර කතාන්දරයක් වුවද එම කතාන්දරයේ යථාර්තය හෝ පැවැත්ම රඳාපවතින්නේ ඔවුන්ගේ තීක්ෂණ බුද්ධිය ඒ ඒ විෂයයන් අරබයා වූ ඔවුන්ගේ ප්‍රමාණිකත්වය හා දැක්ම මතය බව පෙනේ. එසේ නොවෙත්ද අපට තවත් වියත්මගක දෙවැනි කොටස ඉතා නුදුරේදීම දැකබලා ගැනීමට හැකිවනු ඇත. මෙරට නව ආණ්ඩුවේ සීටින ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ වර්තමානයේ ඇමතිකම් හෝ නියෝජ්‍ය ඇමතිකම් දරණ වියතුන් පිළිබඳව මට තවමත් එතරම්ම විශ්වාසයක් නොමැති බව කිවයුතුය. ඔවුන් විසින් මතුයම් දිනෙක මෙරට අප පතන අනාගත හැඩලත ( Sri Lankan Fucher progress or Model )වෙනස් කිරීමට කරන ඔවුන් වීසින් කරන තීරණාත්මක බලපෑම මත මගේ විශ්වාසය ඔවුන් කෙරෙහි තැබෙනු ඇත. එසේ නොවන තාක් මා ඔවුන් දෙස බලන්නේ එතරම්ම සුබවාදීව නොවේ.

නිදහසින් ඉක්බිතිව මෙරට පාලනය කළ ආණ්ඩුවල බහුතර සාමාජිකයන් වූයේ නිකම්ම නිකන් පුද්ගලයන් නොවන අතර ඔවුන් ඔක්ස්ෆර්ඩ්කාරයන් , මහා ආර්ථික විශේෂඥයන්, නීතිවිශාරදයන් හා පරිපාලන ක්ෂේත්‍රයේ හිටපු කෙලිකාරයන් වූයේ ය . එවන් වූ උගතුන් පුරා හැත්තෑහය වසරක් පාලනය කළ රටක් ද මේ කියා ඔබ මොහොතකට සිතන්න. එසො වී නම් අපට කොතැනද වැරදුණේ ?

පසුගිය මහ මැතිවරණය වේදිකාවේ ජාතික ජන බලවේගය විසින් ජනතාව හමුවේ කෑමොර දී කියාසිටින ලද්දේ “අභිනව පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පිරවිය යුතුය යන්නයි”. එය මහ මැතිවරණයෙන් සැලකිය යුතු සංඛ්‍යාවකින් ජනතාව විසින් අනුමත කළ බව පෙනේ. එසේ අනුමත කරන ලද්දේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යුගයේ දේශපාලන පෞරුෂය ජනතාව විසින් දැඩිසේ විශ්වාසය කළ නිසා මිස මෙරට ඔය කියන උගතුන් පිළිබඳව පූර්ණ විශ්වාසයකින් නොවන බව මට ඉරහඳ සේ විශ්වාස යි.

එනමුත් ඉහත කාරණාවේ විශ්වාශනීයත්වය හෝ ඉන් රට හමුවේ තබන නැවුම් වෙනස පිළිබඳව අභිනව ජනාධිපතිවරයා හා ඔහුගේ ආණ්ඩුව රටේ පක්ෂ – විපක්ෂ ජනතාවට අනිවාර්යයෙන්ම වගකිව යුතුය. ඒ පිළිබදව කිසිදු තර්කයක් නොමැත.

එවන් වාතාවරණයක් හමුවේ අභිනව ආණ්ඩුවේ මූලාරම්භයේ දී සත්‍යය හෝ අසත්‍ය හෝ වේවා කතානායකවරයා සම්බන්ධව පැනනැගී ඇති කාරණාව එතරම්ම සුබදායක නොවන බව පෙනේ.
එහෙයින් කතානායකවරයා නිවැරදි විය යුතු අතර එසේ නොවෙත්ද ජනාධිපතිවරයා රටේ ජනතාවගේ විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි තීන්දු තීරණ ගතයුත්තේ ය .

පාර්ලිමේන්තුවේ කතානායකවරයා සම්බන්ධව පැනනැගී ඇති කාරණාව මතින් පසුගිය පාර්ලිමේන්තුව මහ මැතිවරණයෙන් ජනතාව විසින් පිටුපසට පයින්ගසා ගෙදර යවන ලද දේශපාලඥයන් හා ඇතැම් පක්ෂ නැවත පණගසා සුපුරුදු කටපත්ත ඇඳීම්වල නිරතවන බව මාධ්‍ය පුවත්වලින් පෙනේ.

ඔවුන්ගේ පාදඩත්වය හෝ නොහැකියාව මෙම කාරණාව මතින් කිසියම්දුරකට වසා ගැනීමට ඔවුන් මේ අවස්ථාවේදී මානබලනු පෙනේ. ජනතාව නැවත ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ හෝ පුද්ගලයන්ට බලය ලබාදීමට පෙළඹෙනු ඇතැයි කියා මම හීනයකින්වත් නොසිතමි. මොකද .. ඒ රෑ වැටුණු වලේ – දවල් වැටීමට බුද්ධිමත් මෙරට ජනතාව අකමැති නිසා ය.

කතානායකවරයා වූ කලී රටේ තෙවැනි ගෞරවනීය පුරවැසියා ය. ඔහුගේ විශ්වාසය හා ගෞරවය පාර්ලිමේන්තුව තුළද ඉන් පිටතද ආරක්ෂා විය යුතුය .
එබැවින් මෙම පැනනැගී ඇති කාරණාව මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ද එක්තරා ප්‍රශ්නයක් වී ඇත්තේ ය . එය ද අප අමතක කළ යුතු නොවේ.
කතානායකවරයා පිළිබඳව පැනනැගී ඇති කාරණාව හමුවේ ජනාධිපතිවරයා එක්තරා අභියෝගයකට හෝ එක්තරා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණදී ඇතිබව පෙනේ. එනම් ඒ කතානායකවරයා වැරදි නම් ඔහු නොපමාව එම තනතුරෙන් ඉවත්කර ජනතා විශ්වාසය තවදුරටත් තහවුරු කරගන්නවාද ? එසේ නොමැතිනම් ඔහුව කෙසේ හෝ ආරක්ෂා කර ජනතා විශ්වාසය නැතිකර ගන්නවාද යන්නයි . මීට පෙර පැවති ආණ්ඩුව විසින් කරන ලද්දේ පුද්ගලා ආරක්ෂා කොට ජනතා විශ්වාසයට පයින් ගැසීමයි . එයම ජනාධිපතිවරයා හා ආණ්ඩුව විසින් ඉෂ්ට-සිද්ධ කරනවාද යන්න පිළිබඳව අපි අවධානයෙන් සිටිමු.

මගේ විශ්වාසයට අනුව ජනාධිපතිවරයා සුදුසුම තීරණය ගනු ඇත. මොකද .. එක් පුද්ගලයෙකුට වඩා එතුමාට රටේ හා එහි ජනතාවගේ අනාගතය අතිශයින්ම වැදගත් හෝ වටිනා බැවිනි.

ජනාධිපතිවරය හොද දේශපාලන කියවීමක් සහිත ප්‍රයෝගික සේම ජනතාවාදී ජනාධිපතිවරයෙක් යන්න මම පෞද්ගලිකව විශ්වාස කරමි. එතුමා අතීතයේ දී මා හමුවී කළ දේශපාලන කතාබහෙන්ම මට ඒ පිළිබදව මැනවින් අවබෝධ වූයේ ය. එනමුත් අපගේ විශ්වාසය හෝ බලාපොරොත්තු කිනම් මොහොතක කිනම් කාරණාවක් මත කඩාබිඳ වැටෙයි දැයි කියා අපි නොදනිමු. මෙරට හැත්තෑහය වසරක දේශපාලන තුළ මෙරට සුවහසක් ජනතාවට දකින්නට හෝ අත්විදින්නට සිදුවූ යථාර්තය නම් තමුන් විසින් ඒ ඒ ආණ්ඩු සම්බන්ධ තබා තිබුණු කප්පරක් බලාපොරොත්තු සුන්නද්ධූලි වී ඉච්ඡාභංගත්වයට පත්වීමයි . අතීතයේ එසේ වුවද ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් ජනතා විශ්වාසය කිසිවිටෙකින්වත් පළුදු නොකරයි කියා අපි තරයේ විශ්වාස කරන්නෙමු. මොකද .. මෙය ජනතා ආණ්ඩුවක් කියා අප තරයේ විශ්වාස කරන බැවිනි.

එනමුත් බැරිවේලාවත් ආණ්ඩුවට ඔවුන් රටට හෝ ජනතාවට පිළිගත හැකි වෙනසක් ඉෂ්ට-සිද්ධ කිරීමට නොහැකි වුවහොත් රටේ අනාගත යන කාරණාව සම්බන්ධයෙන් වූ ගැටලුව ජනතාවට විසඳා ගැනීමට සිදුවනුයේ ජනතා අරගලයකින් මිස වෙනත් කිසිදු ප්‍රාජතාන්ත්‍රවාදී ක්‍රමයකින් නොවන බවද මෙරට සුවහසක් ජනතාවගේ පැත්තෙන් හිඳ කියනු කැමැත්තෙමි. මොකද .. ඒ ජනතාව විසින් මේ අත්හදා බලා ඇත්තේ ඔවුන්ගේ තෙවැනි හා අවසාන අත්හදා බැලීම වන බැවිනි.

“අපි බත් පිඟානේ කළු බත්-ඇටයක් තිබූ පමණින් බත් පිඟානම කිසිවිටෙක විසි නොකරන්නෙමු. එසේ වී නම් අපි ඉදිරියේ දී කුමක් සිදුවේදැයි කියා බලන් හිඳිමු “.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

කච්චතිව් නඩුව සහ මෝදිගේ ලංකාගමනය !

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන 05 වැනිදා ලංකාවට පැමිණීමට නියමිත ය. එහිදී ඔහු සාම්පූර් ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර...

කැන්ගරු කැබ්ස් Genie Business සමග එක් වී Tap to pay ගෙවීම් ක්‍රමය හඳුන්වා දෙයි !

වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්‍රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි...

“නාඔටුන්නගෙ කවි බහුතරය ගේන්නෙ වළ දාපු දුකක්” – ‘කළු පැහැති කුඩා පොත’

කළු පැහැති කුඩා පොත - සචින්ත ප්‍රමෝද් නාඔටුන්න මම වැඩිපුරම ආස පෙම් කවි කියවන්න. දැන් මං ආස පෙම් කවි...

මහාධිකරණ විනිසුරුවරුන්ට අධිකරණ සේවා කොමිසමෙන් වත්කම් ගැන ලිඛිත දැනුම්දීමක් !

විනිසුරුවරුන් නොවන අධිකරණ නිලධාරීන් 2024 සඳහා වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන...